ගෝලීය ආධාර කප්පාදුවේ අතුරුඵල ලෙස කාන්තාවන් සහ දැරියන් මිලියනයකට අත්‍යවශ්‍ය සහන අහිමි වන ලකුණු

    0
    5

    ලෝකයේ බලවතුන් අයවැය ලේඛන සංශෝධනය කරද්දී, රාජ්‍ය තාන්ත්‍රිකයන් ආරක්ෂක වියදම් ඉහළ නංවද්දී, ඒ තීරණවල සැබෑ වන්දිය ගෙවීමට සිදුව ඇත්තේ ලොව කටුකම අර්බුදවලට මැදිවී සිටින අහිංසක කාන්තාවන්ට සහ දැරියන්ටය.

    එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය (UN Women) මගින් නිකුත් කළ අලුත්ම වාර්තාවකට අනුව, ගෝලීය වශයෙන් සිදුවූ දැවැන්ත විදේශ ආධාර කප්පාදුව හේතුවෙන් පසුගිය වසර තුළ පමණක් අවම වශයෙන් කාන්තාවන් සහ දැරියන් මිලියනයකට අධික සංඛ්‍යාවකට හිමිවීමට තිබූ අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක සහන අහිමි වී ගොස් තිබේ. ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය හමුවේ කොටුවූ කාන්තාවන්ගේ සිට, කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ සහ හයිටි දේශයේ හිංසනයට සහ ව්‍යසනයන්ට මැදිවූ කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටි ප්‍රජා මූලික සංවිධාන 855ක් ඇසුරෙන් මෙම සමීක්ෂණය පවත්වා ඇත.

    එහිදී අනාවරණය වූ අමිහිරි යථාර්ථය වන්නේ, අරමුදල් නොමැති වීම නිසා එම සංවිධානවලින් 40%ක්ම ඉදිරි වසර ඇතුළත තාවකාලිකව හෝ සම්පූර්ණයෙන්ම වසා දැමීමේ අවදානමකට මුහුණ පා සිටීමයි. ආහාර, වෛද්‍ය පහසුකම්, නීතිමය උපදෙස් සහ ගෘහස්ථ හිංසනයෙන් ආරක්ෂාව සැපයූ මේ බිම් මට්ටමේ කාන්තා සංවිධාන එකින් එක වැසී යාම යනු අසරණ වූ ගැහැණියකට තිබූ අන්තිම බලාපොරොත්තුවත් අළු වී යාමයි.

    ගෝලීය ආර්ථික අර්බුද, උද්ධමනය සහ යුධමය වියදම් වෙනුවෙන් වැඩි වැඩියෙන් මුදල් වෙන් කිරීම නිසා ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව ප්‍රධාන දායක රටවල් තමන් ලබාදුන් විදේශ ආධාර බිලියන ගණනින් කපා හැරියේය.

    නමුත් ඛේදනීය තත්ත්වය වන්නේ, ලොව පුරා මානුෂීය සහන සහ ආරක්ෂාව අවශ්‍ය කාන්තාවන් හා දැරියන් සංඛ්‍යාව මිලියන 120 දක්වා ඉහළ ගොස් තිබීමයි. සේවාවන් ලබා ගැනීමට පැමිණෙන පිරිස දිනෙන් දින වැඩි වුවද, පවතින උග්‍ර මුදල් හිඟය නිසා එම අසරණ කාන්තාවන් හරවා යැවීමට තමන්ට සිදුව ඇති බව සමීක්ෂණයට ලක්වූ සංවිධානවලින් 90%කට ආසන්න ප්‍රමාණයක් හඬ අවදි කරමින් ප්‍රකාශ කර සිටී.

    මෙය, සංඛ්‍යාලේඛනමය යථාර්ථය ඉක්මවාලමින් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ තීන්දුවක් හමුවේ හෙට දිනයේ ජීවත් වීමට අරගල කරන, තමන්ගේ සහ දරුවන්ගේ පැවැත්ම වෙනුවෙන් හඬනඟන දහස් ගණන් අසරණ කාන්තාවන්ගේ ජීවිත සම්බන්ධ මහපොළොවේ යථාර්ථයක් ලෙසින් දැකිය හැකිය.

    දේශපාලනික හෝ ආර්ථික තීන්දු කුමක් වුවත්, මානුෂීය සේවාවන් අඩපණ වීමට ඉඩ නොදී අරමුදල් නැවත ලබාදීමට ජාත්‍යන්තරය කටයුතු නොකළහොත්, එහි අවදානම් සහගත වූ බරපතල අතුරුඵල විඳීමට මුළු මහත් ලෝකයටම සිදුවනු ඇත.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here