මූදු පුත්තු සත්‍ය සිදුවීම් ඇසුරින් ලියැවුණු නවකතාවක් – ලේඛිකා, වෛද්‍ය ක්‍රිෂා විමලසේන

    0
    14

    නවකතා, කෙටි කතා, කවි ආදී සාහිත්‍ය ශානරයන් ඇසුරින් කෘති රචනා කරමින් නූතන සාහිත්‍ය ක්ෂේත්‍රයේ පාඨක අවධානයක් දි නා ගන්නා ⁣⁣වෛද්‍යවරියක වන ක්‍රිෂා විමලසේන ලියූ “මූදු පුත්තු” නවකතාව බොහෝ ප්‍රවීණයන්ගේ ඇගයුමට ලක් විය. ඉන් පසුව ඇය “සඩාකෝ හා කොකුන් දහස” නමින් ජපාන නවකතාවක් පරිවර්තනය කළේය. නුදුරේදීම ඇය රචනා කළ රෝබරි විල මත රඟමි – Detective Gothic story සහ ගිරිසල්මාලිකා කෘති ද්විත්වය දොරට වැඩීමට නියමිතයි. මෙවර සරසවිය ක ලාපය හරහා ලේඛිකා, වෛද්‍ය ක්‍රිෂා විමලසේන සමඟ සිදු කළ සාහිත්‍යයමය කතාබහ සමඟ ඉඩහසර වෙන්විය.

    ඔබට ලිවීමෙි උන්මාදය ඇති වුණේ කොහොමද? මොකක්ද ඒ පසුබිම?

    මම පාසලේ එක වසරේ සිටම පොත් කියවූ කෙනෙක්. මේ කියවීමේ පුරුද්ද මට ඇති කළේ මගේ අම්මා. එතුමිය මට මුලින්ම ගෙනත් දුන්නේ ඕ.ටී ප්‍රනාන්දු මහත්මයාගේ අපූරු ළමා කතා පොත්. පෙර පාසල් වියේ ඉඳන්ම අම්මා ඒ පොත් මට කියා දුන්නා. කියැවීමේ පුරුද්ද ඉදිරියටම ගෙන යනකොට, මට ලිවීමේ හැකියාව ඉබේම ඇති වුණා. මම වැඩිපුර ලියුවේ කවි. ඉංග්‍රිසි හා සිංහල භාෂා දෙකෙන්ම. මගේ කවි බොහෝමයක් Sunday Observer පත්‍රයේ පළ වුණා. එතකොට මම සාමාන්‍ය පෙළ ඉගෙනගන්නා සමය. මම උසස් පෙළ කරන කාලේ තමා මගේ මුල්ම නවකතාව ලියන්නේ. ඒ උසස්පෙළ ව්‍යාපෘතිය සඳහා. එය ‘ ‘අර්ක්ලියම් ‘ නම් වූ විද්‍යා ප්‍රබන්ධයක්. ඉන්පස්සේ මම ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ගිය පසු ලිවීම මගෙන් සමුගන්නවා. මගේ ජිවිතයේ ලිවීමේ පුනුරුදය නැවත ඇරඹෙන්නේ පසුගිය කොරෝනා සමයෙයි.

    “මුදු පුත්තු” කෘතිය ලියන්න පසුබිම මොකක්ද? ලැබෙන ප්‍රතිචාර කොහොමද?

    මූදු පුත්තු කෘතිය සත්‍ය කතාවක් ඇසුරින් ලියැවුණ කතාවක්. මගේ කිරි අම්මා දෙවිනුවර නම් වූ වැල්ලබඩපත්තුවේ ගමක කොහු කර්මාන්තයේ යෙදුන දිරිය කාන්තාවක්. මගේ කිරි අම්මාගේ වීර්‍ය හා දාන පාරමිතාවන් මා පොතක් ලෙස කෙදිනක හෝ ලියන බවට මගේ යටි හිතේ දැඩි අධිෂ්ඨානයක් තිබ්බා. ඒ කටයුත්ත සඵල කරගන්න පුළුවන් වුණේ 2025 කියන සුබ වසරේ. ඇත්තෙන්ම එය මට සුබ වසරක්. මගේ මූදු පුත්තු නවකතාවත්, ඊට වසර පහකට පෙර මා පරිවර්තනය කළ සඩාකෝ හා කො කුන් දහස නම් වූ පරිවර්තනයත් අත්වැල් බැඳගෙනම මුද්‍රණ ද්වාරයෙන් පිටතට එනවා, මගේම ප්‍රකාශන ආයතනයක් වන ස්වාරා ප්‍රකාශන සමාගමෙන්.

    මූදු පුත්තු කෘතිය ප්‍රධාන තේමාව කොහු කර්මාන්තය. ඒ වගේම මෙහි පාරම්පරික ධීවර කර්මාන්තය හා භිනෝන්මාදය යන අනු තේමාවලින් සමන්විතයි. එම තේමා හා සංකේත පැහැදිලි කිරීමට මා රූපසටහන් සහිත විස්තරාත්මක පසු ග්‍රන්ථයක්ද මූදු පුත්තු කෘතියට ඇතුළු කළා. මා ලියන සෑම ග්‍රන්ථයකම, පරිවර්තනයකම පසු ග්‍රන්ථයක් ඇතුළත් වෙනවා. එමඟින් පාඨකයන්ට අමතර දැනුමක් හා සාහිත්‍යයමය පිරිපුන් බවක් ලබාදීමට මම උත්සහ කරනවා.

    මූදු පුත්තු නවකතාව මතුපිටින් සරල කතාවක් සේ දිස් වුවත් එය ගැඹුරු කතාවක්. මට හිතෙනවා බොහෝ දෙනා එයට ඇලුම් කරන්නේ, එම ග්‍රන්ථය සමඟ ජීවත් වන්නේ එබැවින්. පාසැල් යන දරුවෙක්ට උණත් ඒ පොතේ ඇති කරුණු ඉතා ප්‍රයෝජනවත්. මා නවකයෙකු වුවත් එම කෘතිය පිළිබඳ මා ලැබූ ප්‍රති චාර ඉතා ඉහළයි. ශාන්ති දිසානායක, චන්දි කොඩිකාර, භද්‍රජි මහින්ද ජයතිලක, චාරුණ්‍යා දෙහිගම, සම්මානි විජේසිංහ යන ප්‍රවීණ කතුවරු පවා මගේ පොත විචාරයට ලක්කරලා තිබුණා සහ ඔවුන් මාව නැවත ග්‍රන්ථකරණයට දිරිමත් කළා. ඇත්ත වශයෙන්ම ඔවුන්ගෙන් ලැබුණ ඒ දිරිමත් කිරීම මගේ සාහිත්‍යයමය ජීවතයට ආශිර්වාදයක් වුනා.

    “සඩාකෝ හා කොකුන් දහස” පරිවර්තනය කෘතිය හරහා ගෙනඑන්නේ වෙනස්ම විදියේ කතා පුවතක් නේද? කෘතිය ගැන කියමු…

    සඩාකෝ හා කොකුන් දහස මගේ මුල්ම පරිවර්තනය , Elenor Coerr නම් වූ කතුවරියගේ Sadako and Thousand paper cranes නම් වූ යොවුන් නවකතාවේ අසංක්ෂිප්ත පරිවර්තනයක්. එය ජපානයේ විසූ සඩාකෝ සසාකි යන දැරියගේ ජිවිතය පිළිබඳව ලියැවුණ සත්‍ය කතාවක්. 1945 දී ජපානය  අපූරු කතාවක් තමා සඩාකෝ හා කොකුන් දවස. ඇත්තෙන්ම ලෝකයට යුද්ධයක් අවශ්‍යද? නැහැ. ලෝකයේ කොහේ යුද්ධයක් ඇති වුණත් එයින් වැඩිපුර ගොදුරු වෙන්නේ ළමුන්. ගුණවත් නිරෝගීමත් ළමා පරපුරයක් මේ ලෝකයේ පැවත්ම සඳහා ඉතා වැදගත්. පහුගිය කාලයේදිත් අපට දරුණු ලෝක යුද්ධය සමයක් විපාක දකින්නට සහ අසන්නට ලැබුණා. සඩාකෝ හා කොකුන් දහස පොත එම නිසා අපිට හැමදාම වැදගත්. එය දරුවකුගේ කතාවක් වුවත් ඉන් ලබා දෙන පණිවුඩය යන්නේ වැඩිහිටි හදවතට, මොළයට. මගේ පරිවර්තනය වැඩිපුරම වැඩිහිටියන් අතරයි ජනප්‍රිය වුණේ. දරුවන් සඳහා පොත් ලිවීම මට ඉතාමත් ප්‍රීතිමක් කර්තව්‍යක්. සඩාකෝ හා කොකුන් දහස වැනි අපූරු යොවුන් නවකතා හා ළමා කතා ඉදිරියේදිත් මගෙ අතින් ලියැවේවි සහ පරිවර්තනය වේවි.

    ඔබේ කෘතිවලට පාඨකයක්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

    මගේ මූදු පුත්තු නවකතාව ගොඩක් දෙනා ආදරයෙන් වැලඳගත් නවකතාවක් වුණා. කොහු කර්මාන්තය පිළිබඳ අතීතකාමයන් ඇති බොහෝ දෙනා මා සමඟ ඒ පිළිබඳ කතා කළා. කොහු කර්මාන්තයේ නියැළුණ අය. ඒ අයගේ දරුවෝ, පවුලේ අය, පිටරට ජීවත් වන අය වගේම කොහු කර්මාන්තය වැනි දේශීය කර්මාන්තවලට ආදරය කරන පාඨකයන් පවා මට දුරකතන ඇමතුම් ලබා දුන්නා, වට්ස්ඇප් පණිවිඩ එවා තිබුණා. මා සොයාගෙන මගේ නිවසට පැමිණි රසික රසිකාවනුත් ඒ අතර වුණා. මේ සියලුදෙනාගේ අදහස් හා විචාර මා පුදුමයට පත් කළා. සමහර අය කිව්වා අපි මේ කතාවෙ ජීවත් වෙනවා කියලා. සමහර අය පැවසුවා එක හුස්මට කියවා යා හැකි මේ මූදු කරේ කතාව එයාලට වෙනස්ම අත්දැකීමක් කියලා.

    රත්නපුරය, නුවර වාසය කරන සමහර පාඨකයන් පැවසූ ආකාරයට ඔවුන්ට, මුහුද ආශ්‍රිත ජීවිතය ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ. ඒ අඩුව මගේ මූදු පුත්තු කෘතිය නිසා පිරවුණා කියලා, ඒ ගැන ඔවුන් සතුටින් කතා කළා. මූදු පුත්තු පොත වගේම සඩාකෝ පරිවර්තනය කියවූ සමාජ මාධ්‍ය භාවිතා කරන පාඨකයින් ඔවුන්ගේ විචාර පොතත් සමඟ ලබාගත් නිර්මාණාත්මක ජායාරූප සමඟින්, හරි අපූරුවට Swaraa Publication පිටුවේත් මගේ ම්පඪඵඩච එඪථචතචඵඥදච නමින් තිබෙන පෞද්ගලික පිටුවෙත් හරි අපූරුවට පළ කරලා තිබ්බා. ඒ හැම විචාරයක්ම ගුණ දොසක්ම මා එකතු කරගෙන තිබෙනවා මගේ රසවින්දනයට. ඒවා මගේ සාහිත්‍යයමය ජීවිතයේ සක්‍රියන ශක්තියයි. දැන් සමාජ මාධ්‍ය අතුරින් වඩාත්ම ප්‍රචලිත ටික්ටොක් ජාලයේ පවා, පොත් ලෝලීන් අපූරු විචාර සහිත විඩියෝ එක්කර තිබුණා. මේ සියලු ප්‍රතිචාරවලින් මට දැනුණේ සාහිත්‍යට මිනිසුන් පිළිබඳ ඇති ගෞරවය සහ ආදරය. අපි නිවැරදි දෙයක් මේ සමාජයට ලබා දුන්නොත් ජනප්‍රියත්වය හා ආදරය අපිව සොයා එන්නේ නිතැතින්.

    ඔබ සාමාන්‍යයෙන් කෘතියක් ලියන්න පටන් ගන්නේ කොහොමද? ලියන්න කලින් එදිනෙදා ලියන්න යන දේ ගැන සැලසුම් කරනව ද? ලියන කාලෙට ඔබේ හැසිරීම මොනවගේ ද?

    මගේ ලිවීම එක රාමුවකට කොටු වෙන්නේ නැහැ. වෙලාවකට මම නිසදැස් හෝ ජනකවි ලියනවා. නැත්තම් හයිකු කවි ලියනවා. තවත් වෙලාවක කෙටි කතා ලියනවා. මේ බොහෝමයකට පාදක වෙන්නේ ඉතා කුඩා වස්තු බීජයක් වෙන්න පුළුවන්. නැත්තම් මගේ ජීවිත අත්දැකීමක් වෙන්න පුළුවන් .ඉතා වේගයෙන් වැඩ කරන මොළයක් හා දියුණු කළ මනසක් සමඟ තමා මම ගනුදෙනු කරන්නේ. මගේ හිස කවදත් එවැනි නිර්මාණවලින් පිරී තිබෙනවා. ඒවා පොතක හෝ පරිගණකයේ අකුරු කළ විට මට මහත් වූ සහනයක් දැනෙනවා. මට වේගයෙන් ලිවීමේ හැකියාවක් තියෙනවා. සමහර විට එය වෛද්‍ය විද්‍යාව හදාරණ විට මා පුරුදු පුහුණු කළ දෙයක් වන්නට ඇති.

    මම, මගේ කුඩා කාලය පිළිබඳ අසාමාන්‍ය මතකයක් තිබෙන කෙනෙක්. කුඩා කාලයේ සිටම ලිවීම කියවීම පුරුදු පුහුණු කළ කෙනෙක්. මම දැන් වැඩිපුර ලියන්නේ සමාජ මාධ්‍යවල. ඒ ලියැවිලිවලට ලොබ බඳීන රසික පිරිසක් සිටිනවා.

    කියවීම මගේ තවමත් හොඳම විනෝදංශය. මා ළමා පොත්, යොවුන් නවකතා, සංස්කෘත පොත්, ඉංග්‍රිසි පොත්, ශාස්ත්‍රීය ග්‍රන්ථ, පත්තර ආදී විසල් පරාසයක කෘති නිරන්තරයෙන් කියවනවා. ඒ වගේම ලෝක සාහිත්‍යයේ නාට්‍ය හා කවි, චිත්‍රපට රසවිඳ ඒවා පිළිබඳ විචාරයත් ලියනවා. මේ සියල්ලෙන්ම මගේ ලිවීමේ ශක්තිය මා දියුණු කරගන්නවා. කතාවක් ලියන්න හිතුණොත් මම ඒ මොහොතේම එය පටන් ගන්නවා. සමහර විට එය මා වාහනයක ගමනක් යනකොට. විභාගයකට පාඩම් කරන වෙලාවක නැත්තම් විනෝද චාරිකාවක් ගිහින් ඉන්න වෙලාවක හෝ පීඩාකාරී සමයක, මනස සැහල්ලු කරගැනීමට වෙන්නත් පුළුවන්.

    වෛද්‍යවරියක් හා පොත් ප්‍රකාශිකාවක් විදියට මා ගෙවන්නේ ඉතාම කාර්‍ය්බහුල ජිවිතයක්. ඒ වගේ දින චර්යාවක ලිවීමට නිස්කලංක වෙලාවක් සෙවීම ඇත්තවශයෙන් ඉතාම අපහසු කටයුත්තක්. ඒත් පාඨකයන් අහනකොට ඊළඟ පොත කවද්ද එන්නේ කියලා, මට නිතැතින්ම පොත ලිවීමට ධෛර්යය ලබෙනවා.

    මා නවකතාවක් ලියන විට එහි පරිච්ඡේද කෙටියෙන් සැලසුම් කරනවා. ඒ කියන්නේ Plot structure  ‘එක. නැත්තම් කතා වස්තුව අපි නියමාකාරයෙන් සකස් කරගත යුතුයි. එවිට කතාව ගලාගෙන යන පරිදි නිවැරදිව ලිවීම පහසුයි. ඒ වගේම කතාවේ කුතුහලය සුරැකෙන පරිදි කතාව ගෙතීමට මා පරිස්සමි වෙනවා. විවිධ චරිත ගොඩනැගීම හා ඒ චරිත වල මනෝභාවයන් ඉදිරිපත් කිරීම ගැන බොහෝ සෙයින් සැලකිලිමත් වෙනවා.

    මා කතාවක් හෝ කවියක් ලියන විට මා ඒ කාලය තුළ ජීවත් වන්නේ ඒ කතාවට හෝ කවියට අදාළ ලෝකය තුළ. උදාහරණයක් විදියට මා ජපානය ආශිතව නවකතාවක් ලියනවා නම් මුලින්ම, මා ජපන් සංගීතය, සංස්කෘතිය හා ඔවුන්ගේ ආචාර විධි, ආහාරපාන පිළිබඳ සියලු තොරතුරු සොයනවා. එසේ සොයාගත් තොරතුරු මනසින් නැවත පරිශීලනය කරනවා. දැනුමෙන් සන්නද්ධවීම ගුණාත්මක ලියැවිල්ලකට අවශ්‍යයි. ඒ වගේම පරිකල්පන ශක්තියත් ඒ වගේම අත්‍යවශ්‍යයි. මගේ ලිවීම මුලින්ම මට වින්දනයක් ගෙන දිය යුතුයි.

    ලිවීම මට භාවනාවක්. මාගේ මනස සන්සුන් කරන හොඳම මනෝචිකිත්සක ප්‍රතිකාරය එයයි.

    මා ලියන පොත අනුව මගේ හැසිරීම වෙනස් වන අවස්ථා තිබෙනවා. උදාහරණයක් විදියට මම රසවත් ප්‍රේම කතාවක් ලියන විට හා ශෝකාන්තයක් ලියනවිට මගේ මනෝභාවයන් වෙනස් වෙනවා. ඇත්තවශයෙන්ම සංවේදී මට ශෝකාන්තයන් ලිවීම ඉතා අපහසුයි. නමුත් එය සිදු කිරිමට අවශ්‍ය වූ විට මා ගිනි කන්දක් මෙන් සියල්ල දරාගෙන අදාළ කටයුත්ත නිසියාකාරව සිදුකරනවා.

    ඔ⁣බේ නවකතා ලිවීමේ ආඛ්‍යාන රටාව, ආකෘතිය, භාෂාව ඔබටම අනන්‍ය වුණ එකක්. මේ පිළිබඳ ඔබේ අදහස මොකක්ද?

    මටම අනන්‍ය වූ ලිවීමේ ශෛලියක් තනා ගැනීමට මා උත්සාහ කරන කෙනෙක්. මම ලියන පොත් වල ශානර පවා විවිධයි.. විවිධ ශානරවලින් පොත් ලියන්න මම ප්‍රිය කරනවා.එකම ශානරයකට කොටු වී සිටීම මට නම් නීරසයි. පාඨකයින් පවා විවිධ වූ ශානරවල පොත් කියැවීමට ආශාකරාවි යැයි මා සිතනවා.

    යම් කිසි කෘතියක් ලියනවිට මා ඒ පිළිබඳ බොහෝ සෙයින් වෙහෙසෙනවා. එහි තේමාව පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. සංකේත, උපමා, රූපක භාවිතය මට අත්‍යවශ්‍ය රසකාරකයන්. තේමාවන් රහිත හරසුන් කෘතිනම් මගේ අතින් බිහිකරන්නේ නෑ යන දැඩි මතයේ මා සිටිනවා. මට අනන්‍ය වූ ශෛලිය ගොඩනඟා ගැනීමේදී මා බොහෝදුරට භාවිතා කරන්නේ ඉංග්‍රීසි සාහිත්‍යය. මා ඉංග්‍රිසි සාහිත්‍යය පිළිබඳ උසස් අධ්‍යාපනයක් ලබාගෙන තිබෙනවා සහ ලෝකයේ සුප්‍රකට ලේඛයන්ගේ ශෛලීන් පිලිබඳ මා නිරන්තර අධ්‍යයනය කරනවා. ස්වතන්ත්‍ර නිර්මාණයදී පවා, මට ඒ සාහිත්‍යයමය පන්නරය අව්ශ්‍යයි . පරිවර්තනයක් සිදු කිරිමේදී නම්, අදාළ කෘතියේ කතුවරයාගේ වෙනත් කෘති හා ඔහුගේ රචනා ශෛලිය සියුම් ලෙස අධ්‍යයනය කරනවා. ඒ වගේම විශ්ව සම්භාවනාවට පත් වූ කෘති තෝරාගැනීමට මා ඉතා කැමතියි. ඒ වගේම තෝරාගත් කෘතිය කීපවරක් කියවනවා. කෘතිය පිළිබද ලියැවුණ ලිපි, විචාර කියවා ඒවා එකතුකර තබාගන්නවා. කෘතිය අවසන් වර ඉතා සෙමින් සියුම්ව කියවනවා, එහි නිවැරදි පරිවර්තනය ලබාගනීමට එය වඩාත් වැදගත් වෙනවා. එබැවින් පොතක් ලිවීම හා පරිවර්තනය මා සුළුපටු කාර්‍යක් ලෙස සලකන්නේ නැහැ. සැබැවින්ම එය භාරදූර කාර්යයක්, නමුත් අවසන් නිමැයුම ආශ්වාදජනකයි.

    ඉදිරියේ දී නිකුත් වීමට නියමිත රෝබරි විල මත රඟමි – Detective Gothic story  සහ ගිරිසල්මාලිකා ද්විත්වය ගැන කියමු…

    අලුතෙන්ම නිකුත්වීමට ඇති කෘති පිලිබඳ කතාකරොත්, ඒවා කලින් බිහිවූ කෘති වලට වඩා සපුරාම වෙනස් කෘති. රෝබරි විල මත රඟමි (The Mystery of the Roeberry Lake) කියන නවකතාව රහස් පරීක්ෂක හා ගොතික් සාහිත්‍යයමය ග්‍රන්ථයක්. එය කුතුහලයෙන් පිරුණු ඇතුළත චිත්‍ර සහිත අපූරු කෘතියක්. වෙනස්ම කතාවස්තුවක් තමා එහි ඇතුළත් වී තිබෙන්නේ. මා ඉතා විනෝදයෙන් ලිවූ කෘතියක්. ඒ වගේම මේක ගොතික් කතාවක් නිසා බියක් දැණුනු තැන් නොතිබුණාම නෙමෙයි. මේ කෘතිය කියවන ඔබ සැමට විවිධ වූ රසයන් දැනේවි යැයි මා සිතනවා.

    මේ පොතත් එක්ක සමගාමීව එන මගේ සතරවැනි දරුවා., ඒ කියන්නෙ සතර වැනි පොත යථාර්ථවාදී නවකතාවක්. එයට අපූරු නමක් තියෙනවා.’ ගිරිසල්මාලිකා ‘..ඔබ කල්පනා කරාවි ඒ වචනයේ තේරුම කුමක්දැයි කියා. එය සංස්කෘත වචනයක්. කෘතිය කියවන ඔබට ඒ නම පිළිබඳ ස්වයං අවබෝධයක් ගන්න පුළුවන්, කෘතිය අවසානයේදි. මේ කෘතියට පාදක වන්නේ ළමා අපචාරයක්. ඒ වගේම මගේ අනෙකුත් කෘති වල වගේම උපමා, රූපක, සංකේත අඩංගුයි. සංවේදී කෘතියක් උණත් සමාජයට පණිවිඩයක් දෙන ඉතා වැදගත් කෘතියක් වේවි කියලා මම විශ්වාස කරනවා.

    මේ අපූරු ග්‍රන්ථ ඔබට ඉතා ඉක්මනින්ම ඔබ අතට පත්කරන්න මා බලාපොරොත්තුවෙන් සිටිනවා. මා සමඟ රැඳී සිටින ඔබ සැමට තුති මල් පුදමි.මලින්ත විතානගේ

    sarasaviya

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here