තුරුණු දිවියට සිසිලක් ගෙනෙන ගෝතමී තෙරණිය

    0
    17

    අප මේ පසු කරමින් සිටින්නේ යුද ගැටුම් නොසන්සුන්තාවන්ගෙන් පිරි බටහිර ලෝකය පුරා සාමයේ පණිවිඩය රැගෙන සදහම් සුවඳ හමා යන කාල වකවානුවකි. මේ දිනවල ශ්‍රී ලංකාවේ බොදුනුවන් අතර මහත් උනන්දුවක් හටගෙන තිබෙන්නේ සදහම් පණිවිඩය රැගෙන ඉතාලියේ සිට මෙහි පැමිණ සිටින ගෝතමී මෙහෙණින් වහන්සේ පිළිබඳවය.

    භද්‍ර යෞවනයේ ගිහි ජීවිතය අත්හැර මහණදම් පිරූ මෙහෙණින් වහන්සේගේ ජීවන ප්‍රවෘත්තිය දහසක් ප්‍රශ්න මැද ගිනි ගෙන දැවෙන තරුණ ජීවිතවලට නිවනක්ම වන්නේය. ඉතාලි, චීන, ඉංග්‍රීසි, ස්පාඤ්ඤ භාෂා කතා කරන උන් වහන්සේ මේ දිනවල දහම ගැඹුරින් හැදෑරීම සඳහා සිංහල උගනිමින් සිටිති. අන්තර්ජාතික කාන්තා දින එළඹෙන මස ආරම්භයේ අපි මෙසේ එතුමියගේ ජීවන තොරතුරු විමසා බැලුවෙමු.

    උපන් බිමෙන් ඔබ්බට

    ඈත යුරෝපයේ ඉතාලි රටෙහි සිසිලි දූපත්වල සාමාන්‍ය පවුලක උපත ලැබ හැදී වැඩුණු ඇය ජීවිතයේ කුඩා කල සිටම සරලව ජීවත් වෙමින් ඉතා සාමාන්‍ය ජීවිතයක් ගත කළාය. ඇය කුඩා කල සිටම උනන්දුවක් දක්වා ඇත්තේ සිය ජීවිතයට ආත්මීය නිදහසක් ගෙන ඒමටයි. යොවුන් වියේ පසු වන තරුණියකගේ සිත මෙතරම් ගැඹුරු ආධ්‍යාත්මික ගවේෂණයකට යොමු වූයේ කෙසේද යන්න ඇත්තෙන්ම විස්මයජනකය. සිය උපන් දේශයේ සීමාවන්ගෙන් ඔබ්බට ගොස් ආධ්‍යාත්මික පිපාසය ඇයව රැගෙන ගොස් තිබුණේ බුරුමය නම් වූ ධර්මද්වීපය වෙතටයි. එහිදී උතුම් වූ ශාසන පිළිවෙත් පුරමින් ගෝතමී යන නාමයෙන් පැවිදි බිමට පත් වූ ඇය බුදු දහමේ ගැඹුරු දහම් කරුණු මැනවින් අවබෝධ කරගන්නට සමත් වූවා ය.

    විදේශීය කාන්තාවක ලෙස උපත ලැබූවද පැවිදි ජීවිතයට පත් වීමෙන් අනතුරුව දේශ සීමා හෝ භාෂා සීමා හෝ සංස්කෘතික කාරණා ධර්මයට බාධාවක් නොවන බව මේ වන විට ඇය සිය ජීවිතයෙන්ම පසක් කර දී හමාරය. බටහිර ලෝකයේ තර්කයට හා විද්‍යාවට හසු නොවූ ජීවිතයේ අනිත්‍යතාව පිළිබඳ පැනයට පිළිතුරු සොයා ඇය ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ද හුදෙක් සංචාරිකාවක ලෙස නොවේ. සදාකාලික සැනසීම සොයා යන නිවන් මගෙහි සැරිසරන ගවේෂිකාවක ලෙසිනි. සුවහසක් වූ ලෝකවාසි ජනතාවට බුදු දහමේ ආලෝකය බෙදා දීමට කැප වන මෙහෙණින් වහන්සේ නමක ලෙස ගෝතමී මෙහෙණිය හදුන්වා දිය හැකිය.

    ගෝතමී මෙහෙණින් වහන්සේගේ ගිහි කල නම වූයේ මර්තීනාය. මව, පියා සමඟ හැදී වැඩුණු ඇය ඉතා හොඳින් අධ්‍යාපන කටයුතුවල නිරත වූවාය. ඇය විලාසිතා කිරීමට ලොකු උනන්දුවක් දක්වා නැති අතර සරල ලෙස ඉතා සාමාන්‍ය ජීවිතයක් ගත කර ඇත. මර්තීනා ඒ සරල, සාමාන්‍ය ජීවිතය තුළ නිතරම තම මවට පැවසූ කතාවක් තිබී ඇත. එනම්: විවාහ වීමට තම සිතේ කැමැත්තක් නැති බවයි. ඇයගේ ඒ ප්‍රකාශයෙන් මව සිතා ඇත්තේ ඇය එකල එසේ ප්‍රකාශ කළත් වැඩි වියට පත් වූ විට ඒ දේවල් වෙනස් වන බවයි.

    එහෙත් මවගේ සිතීම වැරදිය. ඒ දේවල් වැඩි වියට පත් වූ විටද වෙනස් වූයේ නැත. මර්තීනා හැම විටම ප්‍රිය කළේ තනිවම ජීවිතය ගත කිරීමටය.

    ටික කාලයක් ගිය පසු මර්තීනාගේ මව සහ පියා වෙන් වී ගොස් ඇත. ඒත් සමඟම ඇය සිය මව සමග තනි වන විට ඇයට වයස අවුරුදු දහයක් විය. පියා ඔවුන්ගෙන් වෙන් වීමත් සමඟ ඇයගේ මව මානසිකව විඳවන බව මර්තීනාට වැටහී ඇත. ඇයට අවබෝධ වූයේ අනාගතයේ දවසක ඇයටද මෙවැනි සිදු වීමකට මුහුණ දීමට ඉඩ-කඩ ඇති බැවින් ජීවිතයට බැඳීම් නැති තරම්ට හොඳයි කියාය.

    කෙසේ වෙතත් නිවෙසේ ඇති වී තිබූ ප්‍රශ්න සමඟ ඉගෙනීමට තිබූ ආසාවද ඇයගෙන් ගිලිහී ගොස් ඇත. ඒත් සමඟම ඇය බොහෝ සෙයින් දුක් වී කල්පනා කර ඇත්තේ ඊළඟට කරන්නේ කුමක්ද කියා ය.

    ගිහි දිවියට සමු දෙයි

    ඉගෙනීමට තිබුණු උනන්දුව අඩු වීමත් සමඟ පාසලේ විද්‍යා ගුරුවරියක මර්තීනා පිළිබඳ අවධානයෙන් සිට ඇත. දිනක් ඒ ගුරුවරිය ඉතාලියේ පිහිටා තිබෙන සිංහල බෞද්ධ පන්සලක් පිළිබඳ මර්තීනාට පවසා ඇත.

    සිය රටෙහි සිංහල විහාරස්ථාන පිහිටා තිබෙන බව අසා ඇය මුලින්ම පුදුම වී ඇති අතර කීප දවසක්ම ඇය ගුරුවරිය සමඟ එහි ගොස් ඇත. ඒ පන්සලේ සිංහල ස්වාමීන් වහන්සේ කීප නමක්ම වැඩ සිට ඇත.

    මර්තීනා උන් වහන්සේ සමඟ කතාබස් කොට ධර්මය පිළිබඳ අවබෝධයක් ලබා ඇත. ඒ අවස්ථාවේ මර්තීනා හට බෞද්ධ දර්ශනය පිළිබඳ දැඩි උනන්දුවක් ඇති වී තිබේ. ඒත් සමඟම ඇය දැක ඇත්තේ ධර්මය ඇසුරින් උන් වහන්සේ සිය රටෙහි මිනිසුන් හට උදවු උපකාර කරන ආකාරයයි. ඒ මොහොතේ ඇයටද එවැන්නක් සිදු කිරීමට කැමැත්තක් ඇති වී ඇත. අනෙකාගේ යහපත උදෙසා ඇය ගිහි ජීවිතයට සමු දීමට තීරණය කර ඇත්තේ ඉන් අනතුරුව ය.

    ඉන් අනතුරුව බුරුමයට ගිය ඇය එහිදී කෙටි කාලයකට තාවකාලික පැවිද්ද ලබා ඇති අතර, ඒ කෙටි කාලය තුළ බුදු දහම පිළිබඳ ඇයට ලොකු පැහැදීමක් ඇති වී ඇත. ඉන් අනතුරුව සිය ජීවිත කාලයම මෙහෙණින් වහන්සේ නමක ලෙස ගත කිරීමට අදිටන් කරගනිමින් 2022 අවසන් මාසයේ බුරුමයේදීම ‘ගෝතමී’ යන නාමයෙන් ඇය ස්ථිර ලෙසටම පැවිදි දිවියට ඇතුළත් විය.

    ඉතාලිය වැනි යුරෝපීය රටක, කතෝලික පසුබිමක සහ විද්‍යාත්මක චින්තනය රජයන පරිසරයක හැදී වැඩුණු තැනැත්තියක බුදු දහමට යොමු වීම ඇත්තෙන්ම සුවිශේෂ කරුණකි. ඇය ධර්මය වැලඳගන්නේ හුදු භක්තියට වඩා බුදු දහම තුළ ඇති විශ්ලේෂණාත්මක සහ මනෝවිද්‍යාත්මක පදනම නිසාය. බටහිර ලෝකය භෞතික දියුණුව හඹා යන විට එහි ඇති හිස් බව වටහාගෙන සැබෑ නිදහස අභ්‍යන්තරය තුළ පවතින බව ඇය පසක් කරගත්තාය.

    ඇය ඉතා­ලියේ සිට ශ්‍රී ලංකා­වට පැමි­ණෙන්නේ හුදෙක් සංචා­රි­කා­වක ලෙස නොවේ. සදා­කා­ලික සැන­සීම සොයා යන නිවන් මඟෙහි සැරි­ස­රන ගවේ­ෂි­කා­වක වශ­යෙනි.

    ඇය ඉතා­ලියේ සිට
    ශ්‍රී ලංකා­වට පැමි­ණෙන්නේ හුදෙක් සංචා­රි­කා­වක ලෙස නොවේ. සදා­කා­ලික සැන­සීම සොයා යන නිවන් මඟෙහිසැරි­ස­රනගවේ­ෂි­කා­වක වශ­යෙනි.

    මුලින් ඇයගේ මව ඇගේ මේ තීරණයට කැමැති වී නැත. කෙසේ වෙතත් ඇය ආගමට දහමට කැමැති බව මව විසින් දැනගෙන සිටි නමුත් ඇය ඊට මේ තරම් කැමැත්තක් දක්වන බව ඇගේ මව කිසි විටෙකත් සිතා නැත. මව ඇයගෙන් විමසා ඇත්තේ ජීවිතය පිළිබඳ කලකිරීමක් ඇති වී මේ තීරණය ගත්තාද කියාය.

    එවිට ඇයගේ පිළිතුර වී ඇත්තේ ජීවිතය පිළිබඳ අවබෝධ කරගනිමින් මේ තීරණය ගත් බවයි. එහිදී ඇය මවටද බුදු දහම පිළිබඳ බොහෝ දෑ පවසා ඇති අතර, මවද ඒවා තේරුම් ගැනීමට උත්සාහ ගෙන තිබේ.

    ගෝතමී මෙහෙණින් වහන්සේ එදා ඒ ගත් තීරණය පිළිබඳ බොහෝ සෙයින් සතුටට පත් වන අතර, අවුරුදු 26ක ජීවිත කාලය පුරා ගත් හොඳම තීරණය සේ එය සලකයි. ඇය ගිහි ජීවිතයේ සිටි කාලය තුළ ජීවිතය පිළිබඳ විශාල බරක් දැනී ඇති අතර, බුදු රජාණන් වහන්සේගේ සෙවණට පැමිණි පසු ජීවිතය පිළිබඳ මහත් සැහැල්ලුවක් දැනීමට පටන් ගෙන ඇත.

    සිංහලෙන් බුදු දහම

    තරුණ වයසේ පසු වන ගෝතමී මෙහෙණින් වහන්සේ හට තරුණ ගැහැනු ළමයින් නෙත ගැටෙන අවස්ථාවල විශේෂ දෙයක් හිතෙන්නේ නැති බවද එම ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම මිදී පැවිදි ජීවිතය තෝරාගත් බවත් ඇය පවසයි. එනිසා කොහෙත්ම තමාගෙ සිත බාහිර දේවල්වලට නොසන්සුන් නොවන බව මෙහෙණින් වහන්සේ වැඩි දුරටත් පවසා සිටිති. ඒ අනුව තුරුණු වියේ පසු වන උන් වහන්සේ බුදුදහම ඇසුරෙන් මුළු මහත් ලෝකයටම රැගෙන යන මේ පරාර්ථකාමි පණිවිඩය තරුණ පරම්පරාවේ ජීවිතවලට මෙන්ම වැඩිහිටි පරම්පරාවේ ජීවිතවලටද සහනයක් ගෙනදෙමින් මහඟු අස්වැසිල්ලක් සපයනු ඇත.

    ඉතාලි, චීන, ඉංග්‍රීසි, ස්පාඤ්ඤ ආදි භාෂා හතරක් ඉගෙනගෙන සිටින උන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩීමට හේතුව වූයේද සිංහල භාෂාවෙන් ධර්මය පිළිබඳව ඉගෙනමට තිබූ කැමැත්තයි. මේ වන විට උන් වහන්සේට සිංහල භාෂාව කතා කිරීමටත්, ලිවීමටත් හැකියාව පවතී. අහම්බෙන් වුවද බුද්ධාගම පිළිබඳව තමා හට දැනගැනීම් පිළිබඳ බොහෝ සෙයින් සතුටු වන බවත්, ඒ අතරින් පංචශීලය ආරක්ෂා කිරීමෙන් යහපත් මිනිසුන් මෙන්ම ගුණදහම් අතින් පොහොසත් වූ රටක් නිර්මාණය වන බවත් ඇය පවසා ඇත. එසේම කාන්තා ධෛර්යය, නායකත්වය, ශක්තිය සහ ශ්‍රද්ධාව පිළිබඳ සදාකාලික ආදර්ශයක් වන මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේට තමා බොහෝ සෙයින් කැමැති බවත් බොහෝ කාන්තාවන් මේ ආදර්ශය නොසලකා හරින්නේ මන්ද යන්න විශාල ප්‍රශ්නයක් බවත් ඇය පවසයි.

    බුදු දහම ඉගෙනීමට පැමිණෙන බොහෝ විදේශිකයන් භාෂාමය බාධක හේතුවෙන් මතුපිටින් කරුණු හදාරන අතර, ගෝතමී මෙහෙණින් වහන්සේ පාලි භාෂාව සහ සිංහල භාෂාව ප්‍රගුණ කිරීමට ගත් උත්සාහය ඇත්තෙන්ම ප්‍රශංසනීය ය. මූලාශ්‍රය භාෂාවෙන්ම ධර්මය හැදෑරීම නිසා ඇයට බුද්ධවචනය එහි මුල් ස්වරූපයෙන්ම තේරුම් ගැනීමට හැකි විය. මෙය ඇය පසුව සිදු කළ ධර්ම ප්‍රචාරක කටයුතුවලදීද ඉතා වැදගත් සාධකයක් විය.

    එසේම ධර්මය අවබෝධ කරගැනීමට ස්ත්‍රී පුරුෂ භාවය හෝ ජාතිය බාධාවක් නොවන බවත් උන්වහන්සේගේ පැමිණීම ශ්‍රී ලාංකේය මෙහෙණි සසුනේ ප්‍රබෝධයටත්, විදේශිකයන් අතර බුදු දහම කෙරෙහි ඇති විශ්වාසය තහවුරු කිරීමටත් හේතු විය.

    මෙහෙණින් වහන්සේ නමක් ලෙස ධර්මය තුළින් අසරණව දුකින් සිටින මිනිස්සුන්ට උදවු කරමින් ඔවුන්ගේ ජීවිත යහපත් කරගන්නා ආකාරය කියා දෙමින් ඔවුන්ට පිහිට වී ධර්මය මනා ලෙසින් ප්‍රගුණ කළ යුතු බව උන් වහන්සේ පවසා සිටිති. එසේම තමා මේ දර්ශනය ලෝකයටම රැගෙන යන බවත්, එය සිදු කරන්නේ ඉතා සතුටින් බවත් වැඩිදුරටත් පවසති. ඒ අනුව ගෝතමී මෙහෙණින් වහන්සේගේ චරිතය නූතන ලෝකයට කියා දෙන්නේ, සැබෑ සාමය සොයායෑමට භූගෝලීය සීමා හෝ උපතින් උරුම වූ ආගම සීමාවක් නොවන බවයි.

    බුදු දහමේ උත්තරීතර පණිවිඩය සමස්ත ලෝකයටම කියා සිටිමින් බෞද්ධ ප්‍රබෝධය ජනතාව තුළ ඇති කරමින් ධර්මයට ප්‍රමුඛස්ථානය දෙමින් ගෝතමී මෙහෙණින් වහන්සේ සිදු කරන මේ උත්තරීතර මෙහෙවර ඉතා අගය කළ යුතු කාර්යයකි. ඇත්තෙන්ම ගෝතමී මෙහෙණින් වහන්සේ යනු සැබෑ ආධ්‍යාත්මික නිදහස සොයන ඕනෑම අයකුට ජීවමාන ආදර්ශයකි.

    silumina

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here