උපන් දා පටන් මේ සුබපැතුම නෑසූ කෙනෙකු නැත.
තවත් කෙනෙකුගෙන් ඒ සුබපැතුම නොලැබූ හෝ තවත් කෙනෙකුට එසේ සුබ නොපැතූ කෙනෙකු ඇත්නම් එය අටපට්ටමට කියන්නට තරම් කාරණාවකි. විටකින් සප්පායම් වූ පැරණි වැඩිහිටියකුගේ කටහඬින් මෙන්ම ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකාවල කෝමල ලලනා ස්වරයෙන්ද එක සේ රැව් දෙන මෙම සුබපැතුම, සුහුරු දුරකථන තිරවල යළි යළිත් ප්‍රාදුර්භූත වෙයි; හුවමාරු කෙරෙයි. .‘අපෝ ඕක යල් පැනලා‘ යැයි කිසිවකු මැසිවිලි කියන්නේ නැත. ‘බොරු කියන්න එපා‘ යැයි බැණවදින්නේද නැත. ඒ වෙනුවට, එය ඉතසිතින් පිළිගෙන, ‘එසේම වේවා‘යි පෙරළා එයම පුනරුච්ඡාරණය කරති!

කිරි සෞභාග්‍යයේ, සමෘද්ධියේ සහ අනාගතයේ බලාපොරොත්තුවල සංකේතයකි. පැණි සතුට, මිහිරියාව සංකේතවත් කරයි. මේ දෙකේ සුසංයෝගයෙන් උපදින මිහිර තරම් මිහිරක්, තවමත් මිහිපිට බිහිව නැති සෙයකි. කිරි පැණි සුබපැතුම යල් පනිනු ඇත්තේ, එවැන්නක් සොයාගත් දාක මිස දැන්ම නොවේ!
සුබ පැතුමෙන් පමණක් නොව, කිරි පැණි අපට සමීප වන්නේ ඉර හඳ ගහ කොළ සමගින් කතා බහ කරන කුඩා අවදියේදීමය. කුඩා දරුවන් හඳට කතා කර හඳෙන් පවා ඉල්ලන්නේ කිරි පැණිය. කුඩා දරුවන් හඬන විට නළවන්නේ හඳ මාමා කිරි පැණි ගෙනැවිත් දෙන බව පවසමිනි. රැකි රක්ෂා සඳහා ගිය මව්වරුන්ගේ දරුවන් රවටන්නේ අම්මා කිරි අරගෙන එන්නට ගොස් ඇති බව කියමින්ය. කිරි පැණිවලින් පසු නහුතයක් රස රස දෑ ලොවට බිහිව තිබුණද තවමත් දරුවන් ඒවා හඳෙන් ඉල්ලා අඬන්නේ නැත. ඉල්ලන්නේ කිරි-පැණි ය!
රස ලොව රජු!
ලාංකීය ජන සමාජයේ ආහාර සංස්කෘතිය තුළ කිරි පැණි සඳහා ඉහළ තැනක් හිමි වී තිබිණි. බඩ පැළෙන්න රස මසවුළු භුක්ති විඳ සිටියත් කිරිවලට බඩේ ඉඩ තිබෙනවා යැයි කියා අන්දරේ හිස ගැසුම් නොකා ජාම බේරාගත්තේ, ඒවා (කිරි-පැණි) ආහාර ලොවේ රජ්ජුරුවන්ට උපමා කරමිනි. අන්දරේ කිරි කෑ හැටි, තම්බි කිරි පැණි කෑවා වගෙයි වැනි පිරුළු, ජනකතා හා කියමන් ආශ්‍රයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් යන ලංකාවේ ප්‍රධාන ජන වර්ග තුන අතරේම, රජ කල පටන් මේ දක්වාම කිරිවලට තිබුණු රුචිය හෙළි වේ.

සීහළවත්ථුප්පකරණයේ ද සඳහන් කිරි පැණි, අවුරුදු සුබ පැතුමක් වූයේ කවදාද? අලුත් අවුරුද්දක් එළඹෙන විට කිරියෙන් පැණියෙන් ඉතිරෙන ලෙසට කෙරෙන ප්‍රාර්ථනය ජනවහරට එක් වීම පිළිබඳ අතීත වංහුං කිසිවක් ඇත්දැයි මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දරගෙන් විමසුවෙමු. “අලුත් අවුරුද්දට විතරක් නෙවෙයි ගෙට ගෙවදීමකදි ඒ නිවැසියන්ට හා ඒ නිවසටත්, අලුතින් විවාපත් වන යුවළකගෙ ජීවිතයටත් සුභ පතන කොටත් කිරියෙන් පැණියෙන් උතුරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනය කවදා කොහොම ජනවහරට එකතු වුණාද කියලා නොදන්නවා වුණත් එය බොහොම කාලයක් තිස්සේ කෙරෙන ප්‍රාර්ථනයක්. කිරි සාමාන්‍යයෙන් කොහොමත් සලකන්නේ සෞභාග්‍යයේ සංකේතයක් විදිහට. පැණි කියන්නේ බොහොම රසවත් දෙයක්. මේ දෙක දෙකක් විදිහට ගත්තත් ඉතාමත් රසවත් ආහාර දෙකක්. දෙකම එකට එකතු වුණාම වඩාත් රසවත්. බොහොම සහයෝගයෙන් කටයුතු කරන දෙන්නෙක් දැක්කමත් අපේ සමාජය සඳහන් කරන්නේ ‘ඒ දෙන්නා කිරියි පැණියි වගේ’ කියලා. කිරි පැණි කියන්නේ උත්සව අවස්ථා වලදී පාවිච්චි වෙන දෙයක්. සතුටු මොහොතකදි ගන්න ආහාරයක්. කිරි පැණි ගැන මතක් කළාම නිතැතින්ම සතුට, සෞභාග්‍යය මතක් වෙනවා.
මී කිරි ශ්‍රී ලංකාවේ පුරාණතම කිරි ආශ්‍රිත නිෂ්පාදනවලින් එකක්. මී කිරිවලත් එළකිරිවලත් රස වගේම ගුණයත් එකිනෙකට වෙනස්. මී කිරි බීමට ගනිද්දි ඌෂ්ණයි කියලා කියනවා. නමුත් මුදවපු මී කිරි සීත ගුණයෙන් යුක්තයි. එළකිරි පානය කිරීමේ දී ඇඟ සිසිල් කරනවා. නමුත් මුදවා ගත් එළකිරි කියන්නේ ඌෂ්ණාධික ආහාරයක්.”
ඉතිරෙන්න තරම් කිරි කොයින්ද?

ගුණාගුණ කෙසේ වෙතත් වර්තමානය වන විට වෙළෙඳපොළේ වැඩිවශයෙන් දැකිය හැකි වන්නේ මී කිරි නොව මුදවන ලද එළකිරි ය. නූතන වහරේ, යමක් ඉහළම ප්‍රමිතියෙන් ඇති බව කීමට, නැතහොත් ඉහළින්ම අනුමත කිරීමට එළකිරි! යන වදන භාවිත කළද මී කිරි වෙනුවට ආදේශකයක් ලෙස නම් එළකිරි ‘එළකිරි!‘ නැත. පාරිභෝගිකයින් මෙන්ම මී කිරි අභිමානයක් සේ සැලකූ කිරි ගොවීන්ද එළකිරිවලින් සෑහීමට පත් කිරීම අසීරුය. ඉස්සර, මී ගව පට්ටි හිමි කිරි ගොවීන් හැඳින්වූයේ ගම්බාරේ නමිනි. එය සම්ප්‍රදාය හ බැඳුණු ගෞරවණීය වෘත්තියක් ලෙස පිළිගැනිණි. ක්‍රමයෙන් විවිධ හේතු නිසා මී ගව පාලනය මෙන්ම ගම්බාරෙලාගේ පැවැත්මද අභියෝගාත්මක තත්ත්වයට පත් වන්නට විය.
දශක ගණනාවකට පෙර රුහුණේ මී කිරි කර්මාන්තය ග්‍රාමීය ආදායම් මාර්ගයක් විය. අදත් එය ගෘහ කර්මාන්තයක් ලෙස පවතී. නමුත් තණබිම් අඩුවීම, ආහාර පිරිවැය ඉහළ යාම, ගව රෝග සහ වෙළඳපොළ බලපෑම් ආදී අභියෝග නිසා එහි විශාල පසුබෑමක් දැකිය හැකිය. මේ සම්බන්ධයෙන් මී කිරි නිෂ්පාදනයේ යෙදෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රදේශයේ තුසිත හේවා වික්‍රමතුංග අදහස් දැක්වූයේ ය.
පොළොව අහිමි ගම්බාරෙලා
“ඉස්සර තිස්සමහාරාමය අවට ගවයො සෑහෙන්න ඇති කළා. මේ ප්‍රදේශයේ ඉස්සර ගවයන්ට කන්න ඇති තරම් තණ බිම්, කුඹුරු තිබුණා. ඒ භූමි සෑහෙන ප්‍රමාණයක් ලුණුගම්වෙහෙර වගේ මහා පරිමාණ ව්‍යාපෘති නිසා අහිමි වුණා. තවත් ඉඩම් විවිධ සමාගම්වලට බදු දීලා. තවත් ඒවා අනවසර ජාවාරම්කාරයෝ අල්ලගෙන. අනිත් එක, ගොවිතැන් කරන රටාවේ ඇතිවෙච්ච වෙනස්කම් මේකට අහිතකර විදියට බලපෑවා. කලින් කුඹුරු වැඩ කරන්නෙ එක කන්නයක් විතරයි. එක කන්නයක් වැඩ කරද්දී හරක් හැමදාම කොටු කරගෙන බලාගන්න ඕන නෑ. ඉපනැලිවලට දාලා තියන්න පුළුවන්. දැන් කන්න දෙකම වැඩ කරනවා. ඒ නිසා හරක් ඇති කරන එක අපහසු වෙලා තියෙනවා. මේ හේතුව නිසා ගව හිමියෝ තණමල්විල, කුඩා ඔය, දෙමළිය, රත්මල් වැව වගේ ප්‍රදේශවලට හරක් අරගෙන ගියා. ඒ ප්‍රදේශයේ ලොකු ඉඩ ප්‍රමාණයක් තිබුණා. ඒ දවස්වල අපි එහේට බයික්වල, ත්‍රීවීලර්වල, වෙනත් වාහනවල ගිහින් අමු කිරි අරන් ආවා.
ඊට පස්සෙ 2000 වගේ වෙද්දී දෙමළිය පැත්තෙ ඉඩම් මහා පරිමාණ වැවිලි සමාගම්වලට බදු දුන්නා වගා කටයුතු සඳහා. ඒ ප්‍රදේශවල හිටපු කිරි ගොවියො කොටියාගල, පොතුවිල්, තිරුක්කෝවිල්, මාදුරුඔය වගේ පැතිවලට විසිර ගියා. තවත් සමහර අය හරක් විකුණලා දැම්මා. ඉඩ නැති නිසා. මේ හේතුව නිසා තිස්සමහාරාමෙ ඉතුරු වුණේ බොහොම කුඩා ගව පට්ටි කීපයක් විතරයි.දැන් ඇත්තටම තිස්සමහාරාම කිරි කියලා කිව්වට මෙහේ තියෙන්නේ කොටියාගල, පොතුවිල් පැත්තෙන් ගේන කිරි. මහා පරිමාණයෙන් කරන්න නම් බොහෝම දුර බැහැරට ගිහින් කිරි අරන් එන්න ඕන. නමුත් එහෙම කරන අය අඩුයි. ඒකට කාරණා කීපයක් බලපානවා. එකක් ඒ තරම් දුර බැහැරට ගිහින් අරන් එන කිරි අපි මිල කරන්නේ කීයටද? ඒ පිරිවැය ආවරණය කරගන්නේ කොහොමද කියන ගැටලුව එනවා. මොකද මී කිරි කියන්නේ අත්‍යවශ්‍ය ආහාරයක් නෙවෙයි. මොන තරම් රසවත් වුණත් අතුරුපසක් ලෙස සලකන දෙයක්. අපි වියදම වැඩියි කියලා අලෙවි කරන මිල ඉහළ දැම්මොත් මිනිස්සු මී කිරි නොගෙන ඉඳීවි. අනිත් කාරණය තමයි, ඒ තරම් දුර බැහැරින් කිරි අරන් එද්දී කිරිවල බැක්ටීරියා වර්ධනය වෙන්න පුළුවන්.

එහෙම දුරකතර ගෙවාගෙන ගේන කිරිවලට අප්‍රේල් අග, මැයි, ජූනි වගේ වෙද්දී ඉල්ලුම අඩු වෙනවා. ඒ කාලෙට පළතුරු තියෙන නිසා අතුරුපස විදියට වැඩිදෙනෙක් පළතුරු ගන්නවා. ඒ වගේම ඉස්සරහට එන වැහි කාලෙටත් කිරි මිල දී ගන්න ප්‍රමාණය අඩු වෙනවා. එතකොට අපිට සති පොළවල් පවත්වන තැන්වලට අරන් ගිහින් කිරි විකුණන්න වෙනවා. සමහර දවසකට අපි වියදම් කරපු ගාණවත් හොයාගන්න බැරි වෙනවා. මී කිරි කියන්නේ දවස් ගණන් තියාගෙන විකුණන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිෂ්පාදනය කරලා දවස් තුනක් වගේ ඇතුළත පරිභෝජනය කරලා අවසන් කරන්න ඕනෑ. කල් තියාගන්න රසායනික දේවල් නොදා සම්ප්‍රදායික විදියට සෞඛ්‍යාරක්ෂිතව හදන කිරි එකක් දවස් තුනක් යද්දී නරක් වෙන්න පටන් ගන්නවා. ඒ වගේ අවස්ථා කීපයකට මුහුණ දෙන්න සිදු වුණොත් මී කිරි නිෂ්පාදකයෝ ඒ ව්‍යාපාරයෙන් ඉවත් වෙනවා. මේ වගේ ගැටලු නිසා තව අවුරුදු පහක් හයක් යද්දී මී කිරි නැත්තටම නැති වෙලා යාවි” තුසිත හේවා වික්‍රමතුංග, කිරි කර්මාන්තයේ කටුක හා අභියෝගාත්මක පැත්ත නිරාවරණය කරමින් පැවසුවේය.
අභියෝග වැඩි වෙලා
පොල්ගහවෙලාන කවිඳු, කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසර 30ක පමණ අත්දැකීම් ඇති කිරි නිෂ්පාදකයෙකි. මී කිරි සඳහා ප්‍රකට වෙළෙඳ ආයතනයකට දීර්ඝකාලයක් තිස්සේ ඔහු මී කිරි සපයන්නේය. ඔහුද අවධාරණය කළේ කිරි කර්මාන්තය වර්තමානයේදී මුහුණපා සිටින අභියෝගයයි.
අපි කරන්නේ, කිරි ගොවියන්ගෙන් අමු කිරි අරගෙන කිරි නිෂ්පාදනය කරලා වෙළෙඳපොළට සපයන එක. අපි කෙළින්ම කිරි ගොවියන්ගෙ මිලට ගන්නවත් නෙවෙයි. කිරි පට්ටි තියෙන්නෙ කොටියාගල වගේ දුර පැතිවල. ඒ පැතිවලින් කිරි එකතු කරලා අපට සපයන සැපයුම්කරුවන් ඉන්නවා. මේ විදියට කිරි නිෂ්පාදනය කරන අය ඉස්සරට වඩා වැඩියි. ඒ නිසා තරගයක් ඇති වෙලා තියෙනවා. කිරි ඉල්ලුම වැඩි වෙලා නැහැ, තියෙන ඉල්ලුම මේ නිෂ්පාදකයන් අතරේ බෙදිල යන නිසා වෙනදා තරම් ලාභයක් නැහැ. ඒ වගේම ඉන්ධන මිල වැඩි වීමත් එක්ක සැපයුම්කරුවන් අපට කිරි ලබා දෙන මිල වැඩි වෙලා. කිරි හට්ටි නිෂාපාදකයන් පසුගිය කාලෙ කිරි හට්ටියක මිල රු. 5කින් වැඩි කළා. ඒත් ඒ හැම වැඩි වීමක්ම අපට කිරි මිලට එකතු කරන්න බැහැ. ඒ වැඩි වෙන වියදම් අපි දරාගත්තාම අපේ ලාභය එන්න එන්නම අඩු වෙනවා. ඒත් පාඩුයි කියලා මිල ඉහළ දැම්මොත් කිරි අලෙවිය අඩු වෙනවා. මොකද මිනිස්සු කිරිවලට කැමති වුණාට කීය දීල හරි කිරි කන්නම ඕන කියලා එකක් නැහැ. අයිස්ක්‍රීම් තියෙනවා, පළතුරු තියෙනවා, යෝගට් තියනවා. පාරිභෝගිකයා මේ දේවලුත් එක්ක සංසන්දනය කරලා තමයි තීරණ ගන්නෙ.

කවිඳු පෙන්වා දෙන ආකාරයට, ලාභ පංගුව කුඩා වුවත්, කිරි නිෂ්පාදකයන් වෙළෙඳපොළ පිළිබඳ අවදානමක් දරන්නේ නැත. අදාළ ඇනවුම් අනුව කිරි සැපයූ පසු, අලෙවි වුණත්- නැතත් නිෂ්පාදකයාට අවදානමක් නැත. නිෂ්පාදනවල ප්‍රමිතියේ ගැටලුවක් නම් හැරෙන්නට ඔවුන් ඒවා ආපසු භාර ගැනීමක් නැත. ඒ අවදානම දරන්නේ අලෙවිකරුවන්ය. ඒත් නාගරික වෙළෙඳපොළේ, කල්තබාගැනීමේ ද්‍රව්‍ය නොයෙදූ අලුත් මී කිරිවලට හොඳ ඉල්ලුමක් තිබේ. වරුවක් ඇතුළත කිරි ඉවර වූ අවස්ථාවල අත්දැකීම් මිස, කිරි ඉතිරි වී සේල් දමන අත්දැකීමක්, වැස්ස කාලයට වත් පාරිභෝගික අපට අත්දකින්නට නොලැබෙන්නේ ඒ නිසාය.
වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් තුළ නිෂ්පාදන ක්‍රියාවලියකට පාර්ශ්ව රැසක් සම්බන්ධ වෙයි. මේ දාමයේ මුල් පුරුක්වලට වඩා, අග පුරුක්වලට හිමි වන පංගුව වැඩි බව සාමාන්‍ය අත්දැකීමයි. ඒ හැම පාර්ශ්වයකම ලාභ පංගු අවසානයේදී දරන්නේ පාරිභෝගිකයාය. කිරි හට්ටියේ අත්දැකීම ගත්තොත්, කිරි ගොවියාගෙන් මිලට ගෙන, ප්‍රවාහන වියදම්ද එකතු කළ විට, කිරි ලීටරයක් නිෂ්පාදකයාට ලැබෙන්නේ රු. 240-250 වැනි මිලකටය. හට්ටියේ මිල හා නිෂ්පාදකයාගෙග් ලාභය ලෙස තවත් රු. 100ක් පමණ එකතු වී, එය අලෙවි කෙරෙන්නේ රු. 350ක් වැනි මිලකටය. අපේ අතට එය ලැබෙන විට එහි මිල කීයක් වේ දැයි හඳ මාමාවත් කියන්නට දන්නේ නැත. අඩු තරමින් තව රු. 200ක් වත් ඊට එකතු වන බව පැහැදිලි සත්‍යයකි. නිෂ්පාදන ක්‍රියාවලියේ ඇතැම් මිල වැඩි වීම් නිෂ්පාදකයන් දරා ගත්තත්, අලෙවිකරු තමන්ගේ පංගුව එහා මෙහා කරගන්නට සූදානම් නැත.

මෙකී නොකී බොහෝ කතාවලින් පැහැදිලි වන්නේ, කිරි නිෂ්පාදනය, කිරි කෑම හෝ කිරි ගැන වර්ණනා කිරීම තරම් රසවත් දෙයක් නොවන බවය. හැම කිරි හටිටියකම, මී දෙණකගේ මව් සෙනෙහස සේම බොහෝ මිනිසුන්ගේ කැපකිරීම් හා වෙහෙස මහන්සිය කැටි වී තිබේ. මේ කර්මාන්තය මෙන්ම සංස්කෘතික උරුමයද රැක ගැනීමට නම්, ඒ ගැන ගැඹුරු සොයා බැලීමක් හා කඩිනම් පිළියම් සෙවීමක් අත්‍යවශ්‍ය වේ. නැතහොත්, තව දසකයක් විතර යද්දී ‘සුබපැතුමකටවත් ගන්නට‘ කිරි ටිකක් හොයාගැනීම අසීරු විය හැකිය.
කිරිත් එක්කම පැණිත් නැති වෙයිද?
කිරි කිව්වොත්, ඊළඟට කට හැදෙන්නේ ‘පැණි‘ කියන්නටය. ඒ ‘කිතුල් පැණි‘ යැයි අමුතුවෙන් කියන්නට උවමනාවක් නැත. මන්ද යත්, ඒ දෙක ‘කිරි-පැණි‘ සේ පෑහෙන බැවිනි. ඒ බැඳීම ගැන හරියටම කියන්නට වෙනත් උපමාවක්ද නැත. කිරි කමු දැයි ඇහුවොත් ඇතැම් විට අදි මදි කරන කෙනෙකු වුවද ‘නියම කුතුල් පැණිත් තියෙනවා‘ යැයි කිව්වොත් කිසි විට ඇඹරෙන්නේ නැත. ඇතැමුන් පැණිත් එක්ක කිරි කන විට, තව සමහරු කිරිත් එක්ක පැණි කති!
කිරි-පැණි යනු, ඕනෑම තරාතිරමක ආගන්තුකයකුට අභිමානයෙන්ම පිළිගැන්විය හැකි ආහාරයයි. එතැනදී මීකිරි කිරි ලොව රජු වන පරිදිම, පැණි ලොව අග රජු වන්නේ කිතුල් පැණිය. රසයෙන් ද ගුණයෙන් ද පැහැයෙන් ද අනෙක් පැණි පරයා කිතුල් පැණි ඉදිරියෙන්ම සිටී.

කිරි කෑමට පමණක් නොව පැරැන්නන් රස කැවිලි සෑදීමේදී ද භාවිත කළේ කිතුල් පැණිය. කිතුල් පැණිවල ඇති එයටම ආවේණික මිහිරි රස නිසාම කිතුල් පැණි යොදා හදන යම් රස කැවිල්ලක් වේ නම් එය ඉස්තරම් ගනයේ රසකැවිල්ලක් ලෙස සලකන්නට කිසිවෙකුත් පසුබට වන්නේ නැත. අවුරුදු සමයේ එය විශේෂයෙන්ම ඉස්මතු වෙයි. කොටින්ම, කිතුල් පැණි නැතිව අවුරුද්දක් ගැන කතා කරන්නටවත් බැරිිය.
අභිමානවත් ලෝක උරුමය
ශ්‍රී ලංකාවේ දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත් ඇතුළු පළාත් කිහිපයක ජනයා සියවස් ගණනාවක් තිස්සේ මහත් කැපවීමෙන් හා ගෞරවපූර්වකව පවත්වාගෙන ගිය කිතුල් මැදීම සමස්ත මානව වර්ගයාට අයත් අස්පර්ශනීය සංස්කෘතික උරුමක් වශයෙන් පිළිගැනීමටද ලක් විය. ඒ පසුගිය වසරේ දෙසැම්බර් 11 වැනිදා ඉන්දියාවේ නවදිල්ලියේ පැවති යුනෙස්කෝ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් සුරැකීම සඳහා වූ අන්තර් රාජ්‍ය කමිටුවේ 20වැනි සැසිවාරයේදීය. කිතුල් මැදීම එසේත් නැතිනම් කිතුල් කැපීම යනුවෙන් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කිතුල් පැණි ලබාගැනීමේ තාක්ෂණය හා ශිල්ප ක්‍රමය යුනෙස්කෝවේ මානවත්වයේ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් නියෝජනය කරන ලැයිස්තුවට (Representative List of the Intangible Cultural Heritage of Humanity) ඇතුළත් කෙරිණි.

මිනිසා සහ සොබාදහම අතර ගැඹුරු පෞරාණික සබඳතාවක් මූර්තිමත් කරන මෙම ශිල්පය, ඉවසීම, අධ්‍යාත්මිකත්වය මෙන්ම පරිසරයට ඇති ගෞරවය මත පදනම් වූවකි. එය පරම්පරා ගණනාවක් තිස්සේ එම උරුමය නොසැලී ආරක්ෂා කළ ග්‍රාමීය ජනතාවගේ දැනුම, සිරිත් විරිත් මෙන්ම ජීවනෝපායද සංකේතවත් කරයි. යුනෙස්කෝව විසින් අස්පර්ශනීය සංස්කෘතික උරුමයක් ලෙස පිළිගනු ලැබීම කෙරෙහි මෙම සුවිශේෂ වටිනාකම් හේතු වී තිබිණි.
කිතුල් පැණි කෙතරම් මිහිරි වුවත් කිතුල් මැදීම ජීවිතය පරදුවට තබා කළ යුතු අභියෝගාත්මක ජීවන වෘත්තියකි. පැණි හා හකුරු නිෂ්පාදන ක්‍රියාවලියද දුෂ්කර එකකි. ඒ නිසාම කිතුල් කර්මාන්තයට තරුණ පිරිස් යොමු නොවන තරම් ය. යම් වෘත්තියක් හෝ ශිල්පයක් කෙරෙහි තරුණ පරපුරේ ආකර්ෂණය අඩු වීම යනු, එහි පැවැත්ම බරපතළ අභියෝගයකට ලක්ව ඇති බවට ලකුණකි. එයින් කියවෙන්නේ, නුදුරු අනාගතයේදී අපට ‘කිරියෙන්-පැණියෙන් උතුරන අලුත් අවුරුද්දක්‘ ප්‍රාර්ථනා කරන්නට නොලැබෙන බවද?
උරුමය කෙලෙසන හැටි
ලෝක උරුම සිංහරාජය ආසන්නයේ පිහිටි තලගහපැල්පොල ගම කිතුල් කර්මාන්තයට යොමු වූ බොහෝ පිරිසක් වෙසෙන ගම්මානයකි. ඒ ගම්මානයේ පැණි, හකුරු නොසෑදූ නිවසක් සොයා ගැනීම අසීරුය. එච්. සෝමවතී දීර්ඝකාලයක් තිස්සේ කිතුල් පැණි නිෂ්පාදනය කළ පවුලක වත්මන් පරම්පරාව නියෝජනය කරන්නියකි. “මගේ ආතා, තාත්තා විතරක් නෙවෙයි අපේ පරම්පරාවෙ පිරිමි ඔක්කොම වගේ කිතුල් මල් කැපුවා. කිතුල් පැණි රස වුණාට අපේ ජීවත ඒ තරම් රසවත් නෑ. කිතුල් ගහෙන් ගන්න තෙලිජ්ජ, එහෙමත් නැත්නම් තෙල්දිය පැණි වෙනකල් උණු කරන එක ලෙහෙසි පහසු සුමයක් නෙවෙයි. එච්චර මහන්සි වෙලා හදන හොඳම කිතුල් පැණි අපෙන් අඩු ගාණට අරන්, ඒවට සීනි පැණි කලවම් කරලා වැඩි ගාණට විකුණනවා. අතරමැදි වෙළෙන්දන් කරන මේ අපරාධය නිසා මිනිස්සුන්ගෙ කිතුල් පැණි ගැන තියෙන විස්වාසය බිඳිලා. මේ හන්දා කොයිතරම් වියදම් කළත් හොඳ කිතුල් පැණි, හකුරුවල රස බලන්න ලැබෙන්නේ නෑ ගොඩක් අයට. අපේ ගමක ගෙදරකට ඇවිත් ගෙනියන කෙනෙකුට ඇරෙන්න කඩේකින් ලේසියකට කලවම් නැති පැණි හකුරු හොයාගන්න බෑ.”

කිතුල් කර්මාන්තයේ නියැලී සිටින එම ගම්මානයේ තරුණයකු වන සංජීව උදය කුමාර (38) වෙළඳපොළේ දී කිතුල් පැණිවල රසත් ගුණත් බාල වන අයුරු හෙළිදරව් කළේ ය. “මගේ තාත්තා, ආතා එහෙම කිතුල් මල් කැපුවා.අපි පොඩි කාලෙ කිතුල් පැණි බෝතලයක් රුපියල් 250ක් 300ක් වගේ මිලකට අලෙවි වුණා. මේ වෙද්දි රුපියල් දහසක් එක්දහස් පන්සියයක් අතර මිලකට අලෙවි වෙනවා. මම කරන්නේ ගමේ කිතුල් පැණි එකතු කරලා වෙළඳපොළට දාන එක. මම එකතු කරන්නේ සීයට සීයක් කිතුල් පැණි විතරයි. නමුත් මම දෙන තැනින් තොග වශයෙන් ගන්න වෙළෙන්දන් කූට විදිහට සීනි කලවම් කරනවා. අපි විකුණන ගාණ වගේ තව බාගයක් විතර ගාණත් වැඩි කරලා, තත්ත්වයත් බාල කරලා ලාබ හොයනවා.” සෑම තැනකටම රිංගා වටිනාකම් බාල්දු කරන කූට වෙළෙඳුන්ගෙන් මිදී කිතුල් පැණිවලටත් පැවතිය නොහැකි වී ඇත.
සීනි කිලෝවක මිල හා සසඳන කළ කිතුල් පැණි බෝතලයක මිල ඊට වඩා පස් හය ගුණයකින් වැඩිය. පැණිවල රස දනිතත් කිතුල් ගසක මලකින් වෑහෙන තෙලිජ්ජ ටිකක් පැණි බෝතලයක් දක්වා සැකසෙන ආකාරය පිළිබඳ අවබෝධයක් නැත්තෝ කිතුල් පැණි, හකුරුවල මිල ගැන පුදුමයට පත් වෙති. මිල ගණන් අසා කෝපයට පත් වෙති. තමන් අත වූ මුදල හෝ වියදම් කිරීමට බලාපොරොත්තු වූ හෝ මිල ඉක්මවූ කළ දුක් වෙති.
අරුත් සැඟවුණු සිරිත් විරිත්
නමුත් කිතුල් මල් තලා පැණි සෙවීම දිවි පරදුවට තබා කෙරෙන කටයුත්තකි. ඒ පිළිබඳ අවබෝධයක් ගමේ ලොකු කුඩා කා අතරත් ඇති වන ආකාරයේ සිරිත් විරිත් කෙම් ක්‍රම අතීතයේදී අනුගමනය කර ඇත. දීර්ඝ කාලයක් තිස්සේ කිතුල් කර්මාන්තයේ නියැලෙන්නෙකු වන සුනිල් ශාන්ත, කිතුල් මැදීම හා බැඳුණු පැරණි සිරිත් විරිත් ගැන පැහැදිලි කළේය.
“කිතුල් මදින එක ඒ කර්මාන්තය කරන අයට විතරක් අයිති වැඩක් කියල මේ ගම්මානවල කවුරුවත් හිතන්නෙ නැහැ. කිතුල් මල් මදින තුන්වේලට- උදේ පාන්දරට, මද්දහනට, හැන්දෑවට පොඩි දරුවො කෑකොස්සන් ගැහුවත් වැඩිහිටියො තරවටු කරලා නිශ්ශබ්ද කරවනවා. වැඩිහිටියො වුණත් සද්ද බද්ද ඇහෙන වැඩ මොනවත් ඒ වෙලාවලට පටන්ගන්නෙ නැහැ. කර කර ඉන්න වැඩත් නතර කරනවා. අන්න ඒ වගේ ගෞරවයක් මේ කර්මාන්තයට ගැමියන්ගෙ තියෙනවා. කිතුල් මල එක්ක ගනුදෙනුව හරිම නිශ්ශබ්දව සීරුවෙන් කරන්න ඕන එකක්. ඒ විතරක් නෙවෙයි, මේක ජීවිතේ පරදුවට තියලා කරන රස්සාවක්. කොයි වෙලාවෙ, කාට අනතුරක් වෙයිද කියලා කියන්න බැහැ. ඒ නිසා මුළු ගම්මානෙම ඉන්නෙ සෝදිසියෙන්. සද්දයක් ඇහුණොත් උදව්වට දුවන්න බලාගෙන. මේවා අපි පොඩිකාලෙ ඉඳලම හුරුවෙච්ච සිරිත්.

ඒ වගේම තමයි කිතුල් මල් කපන එක ආවට ගියාට කරන්නන් වාලේ කරන්න බෑ. හැම ගහකින්ම පැණි හදන්නත් බෑ. හැම ගහකම පැණි එකම රහත් නෙවෙයි. අලුත්ම ගහක මලකින් ගන්න පැණි වල යාන්තමට ලුණු රසක් තියෙනවා. කිතුල් මල කපන්න කලින් බෙහෙත් සාත්තුවක් කරනවා. ඒකට විශේෂ වුණු ගස් වර්ගවල පොතු, කොළ, වියන් දුඹුළු වගේ තවත් දේවල් අරන් හදන බෙහෙතක් මේක. ඒක ගාලා අව්වේ වේලලා ආපහු ඔතලා තියලා පස්සෙ තමයි කපන්න පටන් ගන්නෙ. කපන්න පටන් ගත්තට පස්සෙ කවදා හරි තෙල්දිය කඳුළ හිඳෙන දවසක් වෙනකල්ම මල කපන්න ඕන. ඒක පටන් ගත්තට පස්සෙ දේවකාරියක් වගේ තමයි. මල නොකපා දවස් දෙක තුනේ වට වන්දනා යන්න බෑ. එහෙම ගියොත් මල තරහා වෙනවා. තෙල්දිය නැතිවෙලා යනවා. ඉඳහිටක එක වරුවක් මගහැරුණත් දවස් ගණන් මල නොකපා ඉන්න බෑ. හකුරු පැණි හදන ගෙවල්වල පවුල් පිටින් ගමන් බිමන් යනවා හරි අඩුයි. තෙලිජ්ජ කියන්නෙ උණු නොකර තියාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මල කපලා තෙල්දිය ගෙනාවට පස්සෙ ඒක ඒ දවසෙම උණු කරන්න ඕන. නැත්නම් ඒක රා වෙන්න පටන් ගන්නවා. රා වෙන්න පටන් ගත්ත එකක් උණු කළත්, ඒ පැණිවලත් ගෑස් එකක් වගේ ඒ සැර තියෙනවා.
තවත් අපූරු කාරණාවක් තියෙනවා. පැණි උණුකරන්න ළිපට දාන්න ගන්න දර වර්ගය අනුව, පැණි හකුරුවල පාට වෙනස් වෙනවා. කැප්පෙටියා දර දාලා තෙලිදිය උණු කළාම බොහෝම ළා පැහැයකට පැණි හැදෙන්නේ. දං ගහේ දර දාලා පැණි උණු කළොත් පැණි ටික අර දං ගෙඩිය වගේම තද පාටකට හැරෙනවා.” කිතුල් පැණි, හකුරුවල වර්ණය තීරණය වන අපූරු නිර්නායකයක් පිළිබඳව ඔහු පැහැදිලි කර දුන්නේය.
ගින්දර සෙවීමත් ගින්දරක්

ඉස්සර නම් කැලේ ගිහින් සුමාන ගණන් නැවතිලා මල් කපන මිනිස්සු හිටියා. දැන් එහෙම ගිහින් ඉන්න තහනම්. තමන්ගේ වත්තෙ තියෙන කිතුල් මල් තමයි කපන්න පුළුවන්. ඒ වගේ කිතුල් ගස් තියෙන්නේ බොහොම ස්වල්පයයි. මිනිස්සු කිතුල් පැණි හකුරු හොයන තරමට නිෂ්පාදනය සිද්ද වෙන්නේ නෑ. ඒ නිසා තමයි සීනි කලවම් පැණි හකුරුවලට ඉඩක් ලැබෙන්නේ. කිතුල් කර්මාන්තයට බලපාන අනිත් කාරණය තමයි තෙල් දිය තාච්චියක් උණු කරන්න දර සැලකිය යුතු ප්‍රමාණයක් වුවමනා වෙනවා. කිතුල් මලක් ඉවර වෙනකල් එන තෙල් දිය උණු කරන්න කොයිතරම් දර ප්‍රමාණයක් වුවමනා වෙයි කියලා හිතනවද? ඉස්සර කැලේ වැටුණු දර කොට ගේන්න තහනමක් තිබුණේ නෑ. දැන් එහෙම හිතුණ හිතුණ වෙලාවට කැලේට යන්න බෑ. ඒක එක පැත්තකින් හොඳ වුණාට තවත් පැත්තකින් කිතුල් කර්මාන්තය වගේ කර්මාන්තවලට කරන හානියක්. මොකද කිතුල් පැණි උණුකරනවා වගේ වැඩක් ගෑස් එකකින් කරන්න බෑ.”
කුඩව පෙතියාකන්ද ප්‍රදේශයේ ජීවත් වන කේ. ඩී. ඥානවතී කැලෑවට වැටී ඇති තහන්චිය පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළාය. “කැලේ තියෙන කිතුල් මල් කපන්න ඒවා බදු ගන්න ඕන. අපිට ඒවා බදු ගන්න ලැබෙන්නේ නෑ. තෝරාගත් පිරිසකට විතරක් ඒ අවස්ථාව සැලසෙන බව පෙනෙන්නට තියෙනවා. අනිත් වුවමනා කරන ගස් කොළ පොතු හොයාගන්නත් ඉස්සර අපි ගියේ කැලේට. දර අවශ්‍යතාව නම් වත්තෙ තියෙන ගහක් කපලා පිරිමහගන්නවා. රබර් ගිනිකූරු වගේ වත්තේ තියෙන එකකින් තෙල්දිය උණු කරගන්නේ.” කිතුල් කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාමට අවැසි වන්නේ කිතුල් ගස පමණක් නොවේ. කිතුල් මල පදම් කිරීමේ දී ගන්නා ගස් පොතු, ගහට නැගීමට හැර වශයෙන් භාවිත කරන උණ ගස් වරපට ලෙස යොදා ගන්නා වැල් වර්ග ආදී බොහෝ ගස් වැල් කිතුල් කර්මාන්තය හා බද්ධ වී තිබේ. කිතුල් කර්මාන්තයේ නියැළෙන්නන්ට වනාන්තරය තහනම් අඩවියක් කිරීමට පෙර එම ශාක ගෘහාශ්‍රිතව වගා කිරීමට පියවර ගත යුතුව තිබුණි. නමුත් අවාසනාවකට මෙන් ලංකාවේ සැමදාමත් ඉස්තාලය වසා දමන්නේ අශ්වයා ගියාට පසුවය. එවැනි වැඩපිළිවෙළක් දැන්වත් ආරම්භ කළ යුතුය.

කිතුල් කර්මාන්තයේ අර්බුද මේ ආකාරයෙන්ම නොවිසඳී පැවතුණොත්, මිනිස් වර්ගයාගේ අභිමානවත් ලෝක උරුමයක් ලෙස ලක් වූ කර්මාන්තයක්, ඒ උරුමය මෙතෙක් රැකගෙන ආ පරපුර අතින් ක්‍රමයෙන් ගිලිහී යනු ඇති බවට සැකයක් නැත. කර්මාන්තයත්, එහි නියැලෙන වෘත්තිකයනුත් ආරක්ෂා කිරීමට ගත හැකි සෑම පියවරක්ම නොපමාව ගත යුතුය. ඒ සඳහා, කර්මාතයේ නිරත ප්‍රජාව සමගත්, ඒ පිළිබඳ විවිධ පර්යේෂණ හා අධ්‍යයනයන් සිදු කර ඇති විද්වතුන් සමගත් පුළුල් සංවාදයක් සිදු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. වෙළෙඳපොළේ කිතුල් පැණි නමින් බාල ආදේශන අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම, කර්මාන්තයේ ආරක්ෂාවට මෙන්ම ගෞරවයට හේතු වන පියවරක් වනු ඇත. කිතුල් පැණි නමින් අලෙවි කරන නිෂ්පාදනවල තිබිය යුත්තේ අව්‍යාජ කිතුල් පැණි පමණකි. ඒ සඳහා ප්‍රමිතියක් නියම කිරීමෙන් එය කළ හැකිය. තමන්ගේ ශ්‍රමයට නිසි මිලක් ලැබෙන ගෞරවනීය තත්ත්වයකට කිතුල් කර්මාන්තය පත් වුවහොත් ස්මාර්ට් තරුණ පරපුර ද නොපැකිළ කිතුලට නගිනු ඇති බවට කවර සැකයක්ද?

(සටහන | සෝබා කෝලියවංශ)
[email protected]




