අටමස්ථානාධිපතිට දඬුවම් ඉල්ලා අට දිසාවක කාන්තාවෝ වීදි බසිති

0
24

බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලබන අටමස්ථානාධිපති නාහිමියන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් දිස්ත්‍රික්ක අටක දෙමළ හා මුස්ලිම් බහුතරයකින් යුත් කාන්තාවන් විරෝධතා දියත් කර තිබේ.


උතුරු නැගෙනහිර කාන්තා එකමුතුව විසින් 2026 මැයි 27 වැනි බදාදා මඩකලපුවේ දී භා යාපනයේදී එම විරෝධතා පවත්වන ලදී.

විරෝධතාකාරියන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට මඩකලපුවේ දී බාර දුන්  සන්දේශයක් මගින් ඉල්ලා තිබුනේ සමාජ තත්වය, දේශපාලන බලය හෝ ආගමික නායකත්වය යන හේතු මත ලිංගික අපරාධකරුවන් ආරක්ෂා නොකරන ලෙසයි.

“පටු අදහස් ඇති ආගමික චින්තනය සමග සිටින අපරාධකරුවන් ආරක්ෂා කිරීමට අපට ඉඩ දෙන්න බෑ. නීතිය ඉදිරියේ සෑම කෙනෙකුම සමාන යි. එම පදනම මත, අපරාධයක් කරන ඕනෑම කෙනෙකුට වෙනස්කම් කිරීමකින් තොරව දඬුවම් කළ යුතුයි. සමාජ තත්වය, දේශපාලන බලය හෝ ආගමික නායකත්වය යන හේතූන් මත ලිංගික අපරාධකරුවන් ආරක්ෂා නොකරන්න. නීතියේ ආධිපත්‍යයට ප්‍රමුඛත්වය දෙමින් ලිංගික අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබා දෙන්න,” යි සංදේශයේ දැක්වේ.

වින්දිත දැරිය වෙනුවෙන් යුක්තිය ඉල්ලා මඩකලපුවේ දී දියත් කළ විරෝධතා පෙළපාලියට එක්ව සිටි දෙමළ මාතාවක් අවධාරණය කර සිටියේ අනාගතයේදී වැරදි කිරීමට සිතිය හැකි ඕනෑම ආගමික පූජකයෙකුට හෝ සාමාන්‍ය මිනිසෙකුට ‘පාඩමක් විය හැකි ආකාරයේ දඩුවමක්’ බාලිකාවකට ලිංගික අතවර කළ බවට චෝදනා ලබන පල්ලේගම හේමරතන හිමියන්ට ලබා දිය යුතු බවයි.


” මේ දැරියට සිදු වූ කෲරත්වයට යුක්තිය ඉටු කරන ලෙස කරන ඉල්ලීම මෙම රජය නොසලකා හැරිය යුතු නැහැ. භික්ෂුවට නිසි තීන්දුවක් ලබා දිය යුතුය. අපගේ ඉල්ලීම නම්, අනාගතයේදී වැරදි කිරීමට සිතිවිල්ලක් හෝ පහලවන ඕනෑම ආගමක පූජකයකුට හෝ සාමාන්‍ය මිනිසකුට මෙම දඬුවම පාඩමක් විය යුතු බවයි.”

උතුරු නැගෙනහිර කාන්තා එකමුතුව 2026 මැයි 27 වැනි බදාදා යාපනයේ නල්ලුර් කන්දසාමි කෝවිල අසලදීද විරෝධතාවක් දියත් කරමින් ඉල්ලා සිටියේ බාල වයස්කාර දැරියක බරපතල ලිංගික අපහරණයකට ගොදුරු කර ගැනීමේ චෝදනා ලබා මේ වන විට ඇප මත සිටින අටමස්ථානාධිපති නාහිමියන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

අනුරාධපුර ප්‍රදේශයේ  බාල වයස්කාර දැරියන්  ලිංගික අතවරයට ගොදුරුවීම සාමාන්‍ය සිදුවීමක් බවට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ මහේෂ් කොටුවැල්ල විසින් කර ඇති ප්‍රකාශයක්ද යාපනයේ දියත් කළ  විරෝධතාවයට එක්ව සිටි දෙමළ මාතාවක් දැඩි ලෙස ප්‍රශ්න කර තිබුනි.

“මේ නඩුව වෙනුවෙන් ඉදිරිපත් වුණ නීතිඥවරයෙක් කියලා තියෙනවා අනුරාධපුරයේ ගම්බදව ඉන්න අවුරුදු 10 සිට 15 වයසේ ඉන්න දැරිවියන්ට මෙහෙම වෙන එක සාමාන්‍ය දෙයක් කියලා.

නීතිය ආරක්ෂා කරන සහ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය යුක්තිය ලබාදෙන්න සටන් කරන නීතිඥවරයෙක් පොදුවේ මෙහෙම ප්‍රකාශයක් කිරීම – ප්‍රජාතන්ත්‍රවාදී රටක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නීතිය ස්ථාපිත කර ඇති රටක, මෙවැනි ප්‍රකාශයක් කිරීම – මෙරට තුළ ඇති ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් උගත් බුද්ධිමත් ප්‍රජාව මෙන්ම සාමාන්‍ය ජනතාව ද ප්‍රශ්න කරන්න පටන් ගෙන තිබෙනවා.

එවන් පසුබිමක මේ සැකකරුට අධිකරණයෙන් ඇප නියම කර තිබෙනවා. අධිකරණ නියෝගයට විරුද්ධව කතා නොකළ යුතු වූවත් මෙවැනි වැරදිකරුවන් ආගමික සංස්ථාවේ නාමයෙන් ආරක්ෂා කරනවා ද යන ප්‍රශ්නය සෑම කෙනෙක් තුළින්ම නැගෙනවා.”

බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට  අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සියපත් සසිඳු වික්‍රමරත්න පසුගියදා නියෝග කර තිබුනි.

ඒ අනුව සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ අධිකරණය ඊට අමතරව මුදලින් රුපියල් ලක්ෂයක ඇපයක් ද නියම කළේය.

සැකකාර පල්ලේගම හේමරතන හිමියන් විදේශගත වීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් ද නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසද අටමස්ථානාධිපති හිමියන්ට තරයේ අවවාද කර තිබුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here