අන්තර්ජාලය ඔස්සේ විකාශය කළ සංගීත ප්‍රසංගයකදී අනිවාර්ය හිජාබය පැළඳ නොසිටීමේ චෝදනාව මත, ඉරාන ගායිකා පරස්තු අහමඩි (Parastoo Ahmadi) සහ ඇගේ නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයින් සිව්දෙනෙකුට කස පහර 74 බැගින් වූ දඬුවමක් ලබා දී තිබේ.
2024 දෙසැම්බර් මාසයේදී YouTube හරහා ප්‍රචාරය වූ “Karavansara Concert” ප්‍රසංගයට පිරිමි සංගීතඥයන් සමඟ හිස් ආවරණයකින් තොරව සහභාගී වීම මෙම නීතිමය ක්‍රියාමාර්ගයට පදනම් වී ඇති අතර, පසුගිය සඳුදා අදාළ දඬුවම ක්‍රියාත්මක කෙරුණු බව ඇගේ නීතිඥවරයා උපුටා දක්වමින් ‘The Telegraph’ ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ලොව පුරා මිලියන ගණනකගේ අවධානය දිනාගත් මෙම ප්‍රසංගය ඉරානයේ කලාත්මක නිදහස සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය කිරීමට සමත් විය.
කෙසේ වෙතත්, “මහජන සදාචාරයට හානි කිරීම” ඇතුළු චෝදනා කිහිපයකට අධිකරණය හමුවේ වරදකරුවන් වීම හේතුවෙන් කස පහර දීමට අමතරව ඔවුන් පස්දෙනාටම ඉදිරි වසර දෙකක කාලය තුළ කිසිදු සංගීත කටයුත්තක නිරත වීම සහ විදෙස්ගත වීම ද සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
මෙම අධිකරණ තීන්දුව සහ දඬුවම් ක්‍රියාත්මක කිරීම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.
එමෙන්ම, පරස්තු අහමඩිට සිය සහයෝගය සහ ආදරය පළ කරමින් ලොව පුරා සිටින රසිකයින් ඇගේ ගීත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තවදුරටත් බෙදා ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.




