මැන්චෙස්ටර් සිටි පරාජය කරමින් චෙල්සි කණ්ඩායම යළිත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

0
21

ස්ටැම්ෆර්ඩ් බ්‍රිජ් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ ජයග්‍රහණයත් සමඟ සිටි කණ්ඩායම අභිබවා යමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට චෙල්සි ක්‍රීඩිකාවන්ට හැකි විය. තවද, මෙවර තරගාවලියේ තවමත් අපරාජිතව සිටින එකම කණ්ඩායම බවට පත්වීමට ද ඔවුන් සමත් වූහ.

තරගයේ පළමු අර්ධය අවසන් වීමට ඔන්න මෙන්න කියා තිබියදී, එනම් අතිරේක කාලයේ සිව්වන මිනිත්තුවේදී (45+4) සැන්ඩි බැල්ටිමෝර් වාර්තා කළ අගනා ගෝලය මෙම තරගයේ තීරණාත්මක සාධකය විය. පසුගිය තරග 21 පුරාම අඛණ්ඩව ගෝල වාර්තා කරමින් ප්‍රබල රිද්මයක සිටි මැන්චෙස්ටර් සිටි ප්‍රහාරක බලඇණිය, සෝනියා බොම්පාස්ටර්ගේ උපායශීලී සැලසුම් හමුවේ සම්පූර්ණයෙන්ම අඩපණ කිරීමට චෙල්සි ආරක්ෂක පෙළ සමත් විය.

මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ බලාපොරොත්තු තවදුරටත් බිඳ වැටුණේ තරගයේ 75 වැනි මිනිත්තුවේදී ඔවුන්ගේ දැල් රකින්නිය වන අයාකා යමෂිටා හට ඍජු රතු කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමත් සමඟයි. චෙල්සි ක්‍රීඩිකා ඇලිසා තොම්සන්ට සිදුකළ අනතුරුදායක බාධා කිරීමක් හේතුවෙන් විනිසුරුවරිය මෙම තීරණය ගත් අතර, ඒ හේතුවෙන් තරගයේ අවසන් මිනිත්තු කිහිපය ක්‍රීඩිකාවන් 10 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට සිටි කණ්ඩායමට සිදු විය. කෙසේ වෙතත්, ක්‍රීඩිකාවන් සංඛ්‍යාවෙන් අඩුවුවද අවසන් නළා හඬ නිකුත් වන තුරුම තරගයට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සිටි කණ්ඩායම උත්සාහ කළේය. තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ චෙල්සි පුහුණුකාරිනී සෝනියා බොම්පාස්ටර්, මෙවැනි ප්‍රබල කණ්ඩායමකට එරෙහිව ගෝලයක් ලබා නොදී සිය ක්‍රීඩිකාවන් දැක්වූ ශක්තිමත් ආරක්ෂාකාරී ක්‍රීඩා විලාසය සහ සටන්කාමීත්වය පිළිබඳව සිය සතුට පළ කළාය. පෙර දින පුහුණුවීම් අතරතුර හිසට සිදුවූ ආබාධයක් හේතුවෙන් කඩීෂා බුකනන් තරගය ආරම්භ වී මිනිත්තු 12කින් පමණ ඉවත් කිරීමට සිදුවූ බවද ඇය සඳහන් කළාය. බුකනන් වෙනුවට ආදේශක ක්‍රීඩිකාව ලෙස පිටියට පිවිසි වීර්ලේ බුවර්මන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තාය.

මේ අතර, පරාජය පිළිබඳව කනගාටුව පළ කළ මැන්චෙස්ටර් සිටි පුහුණුකරු ඇන්ඩ්‍රි ජෙග්ලර්ට්ස් කියා සිටියේ, තම කණ්ඩායම මෙම තරගයෙන් මීට වඩා වැඩි යමක් ලැබීමට සුදුසු බවත්, දැල් රකින්නියට රතු කාඩ්පත ලබා දීම පිළිබඳව තමාට නැවත පරීක්ෂා කර බැලීමට අවශ්‍ය බවත්ය. ක්‍රීඩිකාවන් 10 දෙනෙකු සමඟ චෙල්සි වැනි ප්‍රබල කණ්ඩායමකට එරෙහිව ගෝලයක් වාර්තා කිරීම අසීරු වුවද, තම කණ්ඩායම ඒ සඳහා ප්‍රමාණවත් අවස්ථාවන් නිර්මාණය කරගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here