කාන්තා අයිතිවාසිකම් ප්‍රතිසංස්කරණ යටතේ හංගේරියාව ගබ්සා නීති ලිහිල් කරයි

0
18

හිංසනයට ලක්වන්නන් සඳහා වඩාත් ශක්තිමත් ආරක්ෂාවක් සැලසීම සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර සම්මුතිය අනුමත කිරීම ද මෙම පියවරයන්ට ඇතුළත් වේ. මෙය හිටපු අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන්ගේ ප්‍රතිපත්තිවලින් සිදුවූ තියුණු වෙනසක් සනිටුහන් කරයි.

ෆේස්බුක් වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මග්යාර් මෙසේ පවසා ඇත.

පසුගිය අප්‍රේල් මාසයේ පැවති මැතිවරණ ජයග්‍රහණයත් සමඟ ඕර්බන්ගේ 16 වසරක පාලනය අවසන් කළ මග්යාර්, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ ගෘහස්ථ හිංසනය වැළැක්වීම අරමුණු කරගත් 2014 ‘ඉස්තාන්බුල් සම්මුතිය’ (Istanbul Convention) අනුමත කිරීම හංගේරියානු රාජ්‍යය විසින් “දිගු කලක් තිස්සේ නොගෙවා තිබූ ණය බරක්” ලෙස හැඳින්වීය. කැමැත්තකින් තොරව සිදුවන ලිංගික ක්‍රියා ස්ත්‍රී දූෂණ ලෙස අපරාධ වරදක් බවට පත් කිරීමට අත්සන් තබන රටවල් මෙම සම්මුතිය මගින් බැඳී සිටී.

තහනම් නියෝග පාලනය කරන නීති ඇතුළුව කාන්තාවන් සඳහා වන ආරක්ෂාව ශක්තිමත් කිරීමට රජය දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන බව මග්යාර් පැවසීය. පෞද්ගලික ඡායාරූප හෝ දර්ශන අනිසි ලෙස භාවිත කිරීම අපරාධ වරදක් බවට පත් කෙරෙන අතර, අපරාධ නඩු විභාගවලදී ගෘහස්ථ හිංසනයට ලක්වූවන්ට විශේෂ සැලකිල්ලක් හිමිවනු ඇත. “ලිංගික ක්‍රියාවන් සිදුවිය හැක්කේ අනෙක් පාර්ශ්වයේ ස්වේච්ඡා කැමැත්ත ඇතිව පමණක් බව අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා,” යැයි ඔහු අවධාරණය කළේය.

මෙම නව ප්‍රතිසංස්කරණ යටතේ, හදිසි උපත් පාලන පෙති ලබා ගැනීම සඳහා කාන්තාවන්ට (වයස අවුරුදු 14 සහ ඊට වැඩි) තවදුරටත් වෛද්‍ය නිර්දේශයක් අවශ්‍ය නොවන අතර, ඔසප් දරිද්‍රතාවය (menstrual poverty) පිටුදැකීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දෙන බව ද ඔහු සඳහන් කළේය.

එමෙන්ම, ගබ්සාවක් අපේක්ෂා කරන ගර්භණී කාන්තාවන් කලලයේ ජීව ලක්ෂණ (කලලයේ හෘද ස්පන්දනය) පිළිබඳව සෞඛ්‍ය සේවා සපයන්නෙකුගෙන් සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවට 2022 වසරේදී ඕර්බන් රජය විසින් සම්මත කරන ලද නීතිය ද සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

එම පැරණි නීතිය “කෲර” සහ “අවමන් සහගත” ක්‍රියාවලියක් ලෙස හඳුන්වමින් වෛද්‍යවරුන් සහ කාන්තා අයිතිවාසිකම් සංවිධාන දැඩි විරෝධතා සහ විවේචන එල්ල කර තිබුණි.

එම නීතිය මගින් ගබ්සා කිරීම් සංඛ්‍යාව අඩු කිරීමට අපොහොසත් වූ බවත්, ඒ වෙනුවට “බරපතළ ජෛව ආචාරධර්ම ගැටලු” මතු කරමින් දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දී සිටින කාන්තාවන්ට අමතර මානසික කම්පනයක් ඇති කළ බවත් අග්‍රාමාත්‍ය මග්යාර් වැඩිදුරටත් කියා සිටින බව ද රොයිටර් පුවත් සේවය සඳහන් කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here