2026 වසර සඳහා වන 125 වැනි නොබෙල් සාම ත්‍යාගය දකුණු අප්‍රිකානු ජාතික ප්‍රකට නීතිවේදිනියක සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහකොමසාරිස්වරියක වන නවී පිල්ලේ ( නවනීදන් පිල්ලේ ) වෙත හිමිව තිබේ. ලෝක සාමය ප්‍රවර්ධනය කිරීම, ජාත්‍යන්තර නීතිය සුරැකීම මෙන්ම යුද අපරාධ, මානව වර්ගයාට එරෙහි අපරාධ සහ ජනසංහාරයන්ට එරෙහිව නීතිය පසිඳලීම වෙනුවෙන් ඉටුකළ විශිෂ්ට මෙහෙවර අගයමින් ඇය වෙත මෙම සම්මානය පිරිනමන බව නෝර්වේජියානු නොබෙල් කමිටුව නිවේදනය කළේය.
සම්මානය ප්‍රකාශයට පත් කරමින් නෝර්වේජියානු නොබෙල් කමිටු සභාපති යෝගන් වට්නේ ෆ්‍රයිඩ්නස් සඳහන් කළේ ලොව පුරා අභියෝග, යුද්ධ සහ ගැටුම් සීඝ්‍රයෙන් වර්ධනය වන මෙවැනි කාලවකවානුවක ජාත්‍යන්තර නීතිය වනාහි හුදෙක් අතිරේක මාධ්‍යයක් නොව, සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් අත්‍යවශ්‍යම සාධකයක් බවයි. ජාත්‍යන්තර නීති පද්ධතිය සහ ආයතන දේශපාලන බලපෑම් හමුවේ දැඩි තර්ජනයට ලක්ව ඇති මොහොතක, විනය සහ අරාජිකත්වය අතර රතු රේඛාව සුරකින ආරක්ෂකයන් ලෙස විනිසුරුවරුන් ක්‍රියා කරන බවද ඔහු අවධාරණය කර සිටියේය.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් 85 හැවිරිදි නවී පිල්ලේ ප්‍රකාශ කළේ තමන් මෙම සම්මානය ජාත්‍යන්තර අපරාධ හමුවේ පීඩාවට පත් සමස්ත වින්දිතයන් වෙනුවෙන් වෙන් කරන බවයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු නාසි නායකයන්ට එරෙහිව නඩු විභාග පැවැත්වූ ජර්මනියේ ඓතිහාසික නියුරම්බර්ග් (Nuremberg) අධිකරණ ශාලාවේ සිටි මොහොතක තමන්ට මෙම පණිවිඩය ලැබුණු බවත්, ඇය වැඩිදුරටත් පැවසුවාය.
ඉන්දියානු දෙමළ වංශික දකුණු අප්‍රිකානු ජාතික නීතිවේදිනියක වන නවී පිල්ලේ, 1967 වසරේදී දකුණු අප්‍රිකාවේ නටාල් ප්‍රදේශයේ නීතිඥ වෘත්තිය ආරම්භ කළ ප්‍රථම කාන්තාව ද වන්නේය. වර්ණභේදවාදයට එරෙහිව සටන් කළ නෙල්සන් මැන්ඩෙලා ඇතුළු නායකයන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ඇය, පසුව දකුණු අප්‍රිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට තේරී පත් වූ පළමු සුදුජාතික නොවන කාන්තාව බවට පත්වූවාය. එමෙන්ම රුවන්ඩා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සේවය කරමින් කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන් ජනසංහාරක අපරාධයක් ලෙස නීතිගත කිරීමට මුල් වූ ඇය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය ලෙසත්, ජාත්‍යන්තර අධිකරණයේ (ICJ) විනිසුරුවරියක ලෙසත් දීර්ඝ කාලයක් මෙහෙවරක් ඉටුකරන ලදී.
නවී පිල්ලේගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රාමෆෝසා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ. කෙසේ වෙතත්, ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම තීරණය දැඩි ලෙස විවේචනය කර ඇති බවද වාර්තා වේ. මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා නාමයෝජනා 287ක් ලැබී තිබූ අතර, ජයග්‍රාහිකාව වෙත ස්වීඩන් ක්‍රෝනර් මිලියන 12ක (ඇමරිකානු ඩොලර් මිලියන 1.2ක) මුදල් ත්‍යාගයක් හිමි වේ. සම්මාන ප්‍රදානෝත්සවය එළඹෙන දෙසැම්බර් 10 වනදා නෝර්වේ හි ඔස්ලෝ නුවරදී පැවැත්වීමට නියමිතය.
වැඩිදුර කියවීම්
AlJazeera.com
සටහන
කල්පනී ෂමල්කා




