රෝස ඔක්තෝම්බරය කොළඹ මහා නගර සභාවටත් ! -කාන්තාවන් වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු වීම දිරිමත් කරන්නැයි පුරපතිනිය ඉල්ලාසිටියි.

0
32

ඔක්තෝබර් මාසය යනු රෝස වර්ණයේ මාසයයි. ලෝකය පුරා ප්‍රසිද්ධ ගොඩනැගිලි රෝස පැහැති විදුලි පහන්වලින් ආලෝකවත් වෙමින් සහ ජනතාව රෝස පැහැ පටි පළඳිමින් සැමරෙන ඔක්තෝබර් මාසය, කාන්තාවන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ විශේෂයෙන් කතාබහට ලක්වන කාල සීමාවකි.

පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ සහ එය කල්තියා හඳුනාගැනීමේ වැදගත්කම සමාජගත කිරීමේ අරමුණින් කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ල ඇතුළු රජයේ සහ පෞද්ගලික ආයතන රැසක් ඊයේ දිනයේ (05) රෝස පැහැයෙන් ආලෝකමත් කර තිබේ.

මේ පිළිබඳව ෆේස්බුක් සටහනක් තබමින් කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් සඳහන් කළේ, ශ්‍රී ලංකාව තුළ දිනකට නව පියයුරු පිළිකා රෝගීන් 17 දෙනෙකු පමණ වාර්තා වන බවත් කාන්තාවන් තිදෙනෙකු මෙම රෝගය නිසා ජීවිතක්ෂයට පත්වන පසුබිමක නිසි පරීක්ෂාවන් සහ ස්වයං පරීක්ෂාවන් සිදු කරගැනීම ජීවිත බේරා ගැනීමට ඉතා තීරණාත්මක වන බවයි.

මෙම ඔක්තෝබර් මාසය පුරාම මේ පිළිබඳව කතාබහ කරමින්, අපේ ජීවිතවල සිටින කාන්තාවන් වෛද්‍ය පරීක්ෂාවන් වෙත යොමු වීමට දිරිමත් කරන ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය. තවද, පියයුරු පිළිකා දැනුවත්භාවය රට පුරා ගෙන යාමට ‘ඉන්දිරා පිළිකා භාරය’ ඇතුළු සංවිධාන විසින් සිදු කරන කැපවීම ද නගරාධිපතිනිය මෙහිදී විශේෂයෙන් ඇගයීමට ලක් කර සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here