ව්‍යාපාර ලෝකය ජයගන්නා කාන්තාවන්ට කදිම මඟ පෙන්වීමක් වියාසා

0
7

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික සංවර්ධනය සහ සමාජ ප්‍රගතිය සාක්ෂාත් කර ගැනීමේ ක්‍රියාවලිය තුළ කාන්තා ව්‍යවසායකත්වයේ කාර්යභාරය අතිශයින්ම තීරණාත්මකයි. එය කිසිසේත් නොසලකා හැරිය නොහැකි අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව තිබේ.

අපේ රටේ පවතින සමාජ හා ආර්ථික පසුබිම පුළුල් ලෙස විමසා බලන විට, සහජ දක්ෂතාවලින් හා නව නිර්මාණශීලි හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ කොපමණ කාන්තාවන් පිරිසක් සිටියි ද? ඔවුන් තමන්ගේම කුඩා හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් සාර්ථකව ආරම්භ කිරීමට හෝ පවතින ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කර ගැනීමට දැඩි උනන්දුවකින් හා නොපසුබස්නා කැපවීමකින් පසුවේද යන්න අප නිරන්තරයෙන්ම අවබෝධ කරගත යුතුය.

එහෙත්, දිගු කලක් තිස්සේ මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ පැවති අතිශයින් සංකීර්ණ පරිපාලනමය බාධක, නිලධාරීවාදී ක්‍රමවේද සහ විවිධ අනුමැතීන් ලබාගැනීමේදී මුහුණ දීමට සිදු වූ අසීමිත ප්‍රමාදයන් නිසා බොහෝ දක්ෂ කාන්තාවන්ට තම ව්‍යාපාරික අදහස් සාර්ථකව ක්‍රියාවට නංවා ගැනීමට නොහැකි වූ අවස්ථා අපමණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත. එක් අතකින් ගෘහස්ථ වගකීම්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම පවුලේ අනෙකුත් වගකීම් ද තම කර මතට ගනිමින්, තවත් අතකින් රටේ ආර්ථික සංවර්ධනයට සක්‍රිය දායකත්වයක් ලබා දීමේ අරමුණින් ව්‍යාපාරික ලෝකයට පිවිසෙන කාන්තාවන්ට රාජ්‍ය ආයතන ගණනාවක් අතර රස්තියාදු වීමට සිදුවීම ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට විශාල බලපෑමක් එල්ල කරන අතරම එය දැඩි අධෛර්යයකි.

​මෙම බරපත ගැටලුවට තිරසර හා ප්‍රායෝගික විසඳුමක් ලබා දීමේ මූලික අරමුණ පෙරදැරි කරගනිමින්, ගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ජනාධිපති කාර්යාලය යටතේ සැප්තැම්බර් 22 වැනි දින විවෘත කරන ලද “වියාසා” (ViYASA) ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (National Business Facilitation Centre – NBFC) කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ, අංක C-80 දරන ස්ථානයේ පිහිටුවීම මෙරට ව්‍යාපාරික ඉතිහාසයේ සුවිශේෂී මංපෙතක් සනිටුහන් කරන්නකි. මෙම නව ආයතනය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෝ අවශ්‍ය සේවා ලබා ගැනීමට අපේක්ෂා කරන සියලුම ව්‍යවසායකයන්ට nbfc.presidentsoffice.gov.lk යන නිල වෙබ් අඩවිය ඔස්සේ ද පිවිසීමේ කඩිනම් අවස්ථාව මේ වන විට සලසා දී ඇත. විශේෂයෙන්ම, තමන්ගේම ස්වයං රැකියාවක් හෝ ව්‍යාපාරයක් සාර්ථකව පවත්වාගෙන යාමට සහ එය නීත්‍යනුකූලව ඉදිරියට ගෙන යාමට දැඩි උනන්දුවකින් පසු වන ගෘහිණියන්ට සහ තරුණ ව්‍යවසායිකාවන්ට අවශ්‍ය කරන වටිනා උපදෙස්, නිවැරදි මාර්ගෝපදේශන සහ මඟපෙන්වීම් ලබා දීම සඳහා මෙම මධ්‍යස්ථානය තුළ විශේෂිත තොරතුරු සහ ආධාරක සේවා කවුළු ද ක්‍රියාත්මක කර තිබීම මෙහි ඇති තවත් සුවිශේෂී වාසියකි.

ලෝක බැංකුවේ “ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ පහසුව” දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 2025 වසරේ 79 වැනි ස්ථානයේ පසුවීමෙන් මනාව පැහැදිලි වන්නේ අපේ රටේ ව්‍යාපාරික පරිසරය තවදුරටත් සරල, විනිවිදභාවයකින් යුත් සහ කාර්යක්ෂම විය යුතු බවයි. විශේෂයෙන්ම ඉඩම් අයිතිය නිරවුල් කරගැනීම, ණය සහ මූල්‍ය පහසුකම් ලබාගැනීම, ව්‍යාපාර ලියාපදිංචි කිරීම සහ විවිධ ව්‍යාපාරික බලපත්‍ර ලබාගැනීම සඳහා ගතවන කාලය අනවශ්‍ය ලෙස දීර්ඝ වීම නිසා බොහෝ දේශීය ආයෝජකයන් මෙන්ම නවක ව්‍යවසායකයන් ද දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙති.

ගෘහිණියක ලෙස මෙන්ම මවක ලෙස ද සමාජයේ බහුවිධ භූමිකාවන් ඉතා සාර්ථකව නිරූපණය කරන කාන්තාවකට දවසේ පැය ගණනක් විවිධ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ඉදිරිපිට පෝලිම්වල ගත කිරීමට සිදුවීම ප්‍රායෝගිකව අසීරු මෙන්ම දැඩි වේදනාකාරී කටයුත්තක් වන බැවින්, මෙවැනි මධ්‍යස්ථාන බිහිවීම වර්තමානයට අත්‍යවශ්‍ය කාලීන අවශ්‍යතාවකි.

​මෙම සියලු බාධක සහ අභියෝග සාර්ථකව ජය ගනිමින්, කාන්තා ව්‍යවසායිකාවන් මූල්‍යමය වශයෙන් හා පරිපාලනමය වශයෙන් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ ව්‍යාපාරික ගමන සාර්ථක කරලීම සඳහා ‘වියාසා’ මධ්‍යස්ථානය මඟින් සපයන සේවාවන් අතිමහත්ය.

කාර්යාලයට පැමිණීමකින් තොරව නි‍ෙවසේ සිටම තම ගැටලු සහ අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට මෙහිදී පහසුකම් සලසා දී තිබීම කාන්තාවන්ට ලැබෙන විශාල පහසුවකි. අගනුවරින් බැහැර දුර බැහැර ප්‍රදේශවල සිටින ව්‍යාපාරිකයන්ට ද මෙම වෙබ් අඩවිය හරහා තම ගැටලු ඉදිරිපත් කිරීමෙන් ඒවා සඳහා විසඳුම් අදාළ ආයතන මඟින් ලබා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම මෙහිදී සපයනු ලබයි.

ගෘහස්ථ වගකීම් සමඟ නිතරම කාර්යබහුල වන කාන්තාවන්ට මෙම දුරස්ථ සේවා පහසුකම මහත් අස්වැසිල්ලක් වන අතර, ආයෝජන හා කර්මාන්ත ආශ්‍රිතව රාජ්‍ය ආයතන අතර පවතින පාලන බාධක අවම කරමින් ලිපිගොනු ගමන් කිරීමේ වේගය වේගවත් කිරීමට එය හේතු වේ. සාමාන්‍ය පරිපාලන මට්ටමින් විසඳිය නොහැකි නීතිමය හෝ ප්‍රතිපත්තිමය ගැටලු සඳහා ජාතික මෙහෙයුම් කමිටුව හරහා රජයට නිවැරදි යෝජනා ඉදිරිපත් කිරීමට ද මෙම මධ්‍යස්ථානය පුළුල් මැදිහත්වීමක් සිදු කරයි.

​මෙම ව්‍යවසායකත්ව මධ්‍යස්ථානය ප්‍රධාන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට රජය විසින් ක්‍රමවත් සැලසුම් සකස් කර තිබේ. එහි පළමු පියවර ලෙස, ව්‍යාපාරයක් වැඩි දියුණු කිරීමේදී සහ ආරම්භ කිරීමේදී අවශ්‍ය වන පහසුකම්, ඉඩම් ගැටලු මෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය අනුමැතියන් සහ බලපත්‍ර ලබා ගැනීමේදී රාජ්‍ය යන්ත්‍රණය නිසා ගැටලු මතු වේ නම්, ඒවා පිළිබඳ මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ උපදෙස් සහ අවශ්‍ය සහයෝගය ලබාදීමට පියවර ගනු ලැබේ. ඇතැම් විට මෙම ක්‍රියාවලියේදී නීතිමය හෝ ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීමට සිදුවුවහොත්, ජනාධිපති ලේකම්වරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ජාතික මෙහෙයුම් කමිටුව හරහා අවශ්‍ය සහයෝගය සහ විසඳුම් ලබාදීමට ඔවුන් කටයුතු කරනු ලබයි. මීට අමතරව, මෙහි දෙවැනි පියවර වන්නේ එකම වහලක් යටතේ සියලුම කටයුතු කඩිනමින් ඉෂ්ට කරගැනීම සඳහා මඟ පෙන්වීම් ලබාදෙන ‘Single Window’ (තනි කවුළු) මධ්‍යස්ථානය පිහිටුවීමයි. ඒ යටතේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය කරන අනුමැතිය, ඉඩම් ලබාදීම, ණය සහ අනෙකුත් මූල්‍යමය පහසුකම් මෙන්ම ව්‍යාපාරික යෝජනා හා සැලසුම් ඇතුළු සියලු මඟපෙන්වීම් සහ සහයෝගය මෙම එකම ස්ථානය මඟින් ලබා දෙනු ලබයි. රජයේ අනුමත විශේෂ පනතක් මඟින් මෙම ආයතන ස්ථාපනය කිරීම සිදුකරනු ලබන අතර, ඒ අනුව මේ සේවාව වඩාත් පුළුල් කිරීම අපේක්ෂාව බව මේ මධ්‍යස්ථානයේ ප්‍රධානියා වන සීවලී අරුක්ගොඩ මහතා ඉතා පැහැදිලිව සඳහන් කළේය.

​මෙම මධ්‍යස්ථානය ජනාධිපති ලේකම්වරයාගේ යටතේ පවතින ආයතනයක් වන බැවින්, එය ජාතික මෙහෙයුම් කමිටුවක අධීක්ෂණය යටතේ ජනාධිපති ලේකම්තුමා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් හා ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වේ. මෙසේ කිරීමෙන් නව රැකියා උත්පාදනය කරමින්, ව්‍යාපාර ක්ෂේත්‍රය දියුණු කරමින්, අපනයන හා ආනයන ක්ෂේත්‍රය නඟාසිටුවමින්, බදු මුදල් හා විදේශ විනිමය රටට ගෙන එමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා බිහිකරමින් රටේ විශාල ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම මෙහි මූලික අරමුණ වේ.

​පරිපාලන පහසුකම් සැපයීම පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවනු ඇත. ‘වියාසා’ මධ්‍යස්ථානය මඟින් ලිපි ලේඛන ගමන් වේගවත් කළ හැකි වුවද, එහි පවතින නීතිමය රාමුව, ඉඩම් හිමිකම් පද්ධති සහ යටිතල පහසුකම් නිසි ලෙස සංවර්ධනය නොවුවහොත් එය තාවකාලික විසඳුමක් පමණක් වනු ඇත. විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායිකාවන් මුහුණපාන ඉඩම් හිමිකම් නිරවුල් කරගැනීමේ ගැටලු, බදු ප්‍රතිපත්තිවල නිතර සිදුවන වෙනස්වීම් මෙන්ම විදුලිය, ජලය, ප්‍රවාහන හා ගබඩා පහසුකම් වැනි භෞතික යටිතල පහසුකම් නවීකරණය කිරීමේ පුළුල් දිගුකාලීන සැලැස්මක් ක්‍රියාත්මක විය යුතුය. මෙම මධ්‍යස්ථානය හුදෙක් ලේඛන භාරගන්නා සරල ස්ථානයකට සීමා නොවී, නීති සංශෝධන සහ ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය සඳහා රජයට බලපෑම් කළ හැකි ප්‍රබල උපායමාර්ගික යන්ත්‍රණයක් විය යුතු බව අපේක්ෂා කෙරේ.

​’වියාසා’ ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය යනු ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසරය තුළ දිගු කලක් තිස්සේ පැවති සම්බන්ධීකරණ හිඩැසක් පිරවීම සඳහා ගත් ඉතා කාලෝචිත මෙන්ම අගනා පියවරකි. එය දේශීය හා විදේශීය ආයෝජන ආකර්ෂණය කරගැනීමට මෙන්ම, මෙරට කාන්තාවන්ට ස්වයං රැකියා හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්ත පියවරක් තැබීමටත්, ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත වීමටත් ඇති කදිම අවස්ථාවකි. මෙම ආයතනික මුලපිරීම පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක ආරම්භයක් ලෙස ඉදිරියට ගෙන යමින්, මෙරට කාන්තා ව්‍යවසායිකාවන්ට සිය හැකියාවන් උපරිමයෙන් රටේ ආර්ථිකයට දායක කර ගැනීමට හැකි වාතාවරණයක් උදා කර දීම අපේක්ෂාවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here