අවුරුදු 22 දී අන් අය වෙනුවෙන් ජීවිතය පිදූ නිර්භීත ගුවන්සේවිකාව නීර්ජා භානොට්

    0
    25

    චන්දිගාර්හි උපත ලද නීර්ජා, විනයගරුක හා අධ්‍යාපනයට මුල්තැන් දුන් මධ්‍යම පාන්තික පවුලක දියණියකි. ඇයගේ මව වරක් පැවසූ පරිදි, “නීර්ජා කුඩා කාලයේ පවා අන් අය වෙනුවෙන් විශාල වගකීමකින් කටයුතු කළ තරුණියක්” විය. පෑන් ඇමරිකන් ගුවන් සේවයේ (Pan Am) ගුවන් සේවිකාවක් ලෙස සේවයට එක් වූ ඇය, තම වගකීමට දැඩි ලෙස කැප වූ, අතිශයින් කරුණාවන්ත තරුණියක් ලෙස සෙසු සේවකයන්ගේ ද නොමද ආදරය දිනාගන්නට සමත් වී තිබිණි.

    1986 සැප්තැම්බර් 5 වැනිදා, මුම්බායි සිට නවදිල්ලි හරහා පැනමා වෙත ගමන් කරමින් තිබූ මගීන් සහ කාර්ය මණ්ඩලය 359 දෙනකුගෙන් යුත් ‘පෑන් ඇම් 73’ (Pan Am Flight 73) ගුවන් යානය පාකිස්තානයේ කරච්චි ගුවන්තොටුපළේදී සන්නද්ධත්‍රස්තවාදීන් පිරිසක් විසින් ග්‍රහණයට ගන්නා ලදී.

    ඒ වන විට 22 වැනි වියේ පසුවූ නීර්ජා, මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වූවාය. තමන්ගේ ජීවිතය බේරාගෙන පලායෑම පිළිබඳව සිතීම පවා ප්‍රතික්ෂේප කළ ඇය, තමාට ලැබුණු පුහුණුව මෙන්ම සහජ මානව දයාව මුසු කරමින් මගීන් අතරට ගියාය. ඇයගේ එකම අරමුණ වූයේ
    කවරාකාරයෙන් හෝ මගීන් ආරක්ෂා කිරීමයි. ත්‍රස්තවාදීන්ගේ ඇස වසා කුඩා දරුවන් ආරක්ෂිතව සඟවා තැබීමට පවා ඇය සමත් වූවාය.

    පැය 17ක් පුරා ඇදී ගිය මේ බිහිසුණු ප්‍රාණ ඇපකාරයට ගෙන සිදුකරන ලද අපරාධමය ක්‍රියාවලිය තුළ, ත්‍රස්තවාදීන් මගීන් එකිනෙකා ඝාතනය කරමින් බිය වැද්දූහ. එහෙත් නීර්ජා නොසැලී මගී කුටිය තුළ සැරිසරමින් ඔවුන්ට පානයට බීම ජලය ලබා දෙමින්, ධෛර්යය වර්ධනය කරන්නට කටයුතු කළා ය.

    ගුවන් යානයේ හදිසි දොරටුව විවෘත කර නියමුවන්ට පලායාමට සංඥා කළ මොහොතේ, ත්‍රස්තවාදීන් ප්‍රචණ්ඩකාරී ලෙස කඩාපැන වෙඩි තැබූහ. එහිදී කුඩා පිරිමි දරුවකු වෙඩි උණ්ඩවලින් බේරාගැනීම සඳහා සිය සිරුරින් ආවරණය කරගත් නීර්ජා, ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව අකාලයේ ජීවිතක්ෂයට පත් වූවාය.

    ඇයගේ මෙම අසාමාන්‍ය ධෛර්යය නිසා මගීන් 172 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට හැකි විය. ඉන්දියානු රජය ඇයගේ ජීවිත පරිත්‍යාගයෙන් සිදුකරන ලද මෙහෙය අගයමින් රටේ ඉහළම නිර්භීතතා සම්මානයෙන් (Ashoka Chakra) පිදුම් කළ අතර, 2016 වසරේදී ඇයගේ ජීවිතය ඇසුරෙන් නිර්මාණය වූ ‘නීර්ජා’ චිත්‍රපටය හරහා ඇය ලෝකයේම අතිශය ජනාදරයට පත් විය. මෙහි නීර්ජාගේ චරිතයට පණ පොවනු ලබන්නේ ජනප්‍රිය බොලිවුඩ් නිළි සෝනම් කපූර් ය.

    නීර්ජාගේ මව පවසන පරිදි, නීර්ජාගේ මේ කැපකිරීම කිසිදු කීර්තියක් අපේක්ෂාවෙන් කළ එකක් නොව, “නිවැරදි දේ කිරීමේ” අවංක වුවමනාවෙන් කළ දෙයකි.

    විපතකදී, අභියසකදී කාන්තාවකට කොතරම් දුරට නොසැලී නැගී සිටිය හැකිද යන්න ලෝකයට පෙන්වා දුන් නීර්ජා භානොට්ගේ නම, සදාකාලයටම ඉතිහාසයේ රන් අකුරින් ලියැවී තිබෙනු නොඅනුමානය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here