රුසියානු විද්‍යාගාරයක් තුළ ප්ලේග් රෝගකාරක පර්යේෂණ නළයක් බිඳීම නිසා රෝගය ආසාදනය වූ සේවිකාවක් මරුට

0
13

මිනිස් වර්ගයා අතීතයේ බියෙන් ඇළළී ගිය, ලෝක ඉතිහාසයේ අතිශය දරුණු හා කළු පැල්ලමක් තැබූ මාරාන්තික ‘ප්ලේග්’ (Plague) වසංගතය නැවතත් කතාබහට ලක්කරන සිදුවීමක් පසුගියදා වාර්තා විය. රුසියාවේ සයිබීරියානු ඉර්කුට්ස්ක් කලාපයේ පිහිටි ප්ලේග් මර්දන ආයතනයක සිදු වූ අනපේක්ෂිත රසායනාගාර අනතුරක් හේතුවෙන්, 28 හැවිරිදි තරුණ විද්‍යාගාර සේවිකාවකගේ ජීවිතය අහිමි වී ඇත.

මෙසේ අකාලයේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඩාර්යා ශිපිලෝවා (Daria Shipilova) නම් තරුණියයි. ඇය සේවය කළ ආයතනය තුළ සාම්පල ලබාගනිමින් සිටින අතරතුර, ප්ලේග් රෝගකාරක සජීවී බැක්ටීරියා සහිත පරීක්ෂණ නලයක් හදිසියේ බිඳී යාමෙන් මෙම මාරාන්තික ආසාදනය ඇගේ සිරුරට ඇතුළු වී තිබේ. තමා මිය යාමට පෙර ඇය වෛද්‍ය කාර්ය මණ්ඩලයට මේ බව හෙළි කර ඇත.

පසුගිය අඟහරුවාදා දැඩි නියුමෝනියා රෝග ලක්ෂණ සමඟ Shelekhov දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කෙරුණු ඇය, කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර ආධාරයෙන් ජීවිතය සඳහා දැඩි සටනක නිරත වුවද, බ්‍රහස්පතින්දා වන විට මෙලොවින් සමුගත්තාය.

මෙම අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ බලධාරීන් දැඩි අවධානයකින් පසුවන අතර ඩාර්යා ප්‍රතිකාර ලැබූ රෝහල විශේෂ පරීක්ෂාවන් අවසන් වන තෙක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන ඇත. ඇය සමඟ ගැටුණු සහ ආශ්‍රිතයන් වූ 197 දෙනෙකු වෛද්‍ය නිරීක්ෂණයට ලක් කර තිබේ. ඉන් 100කට අධික පිරිසක් මේ වන විට රෝහල් වාට්ටුවල දැඩි නිරෝධායනය යටතේ රඳවා සිටිති.

කෙසේ වෙතත්, ඉර්කුට්ස්ක් ප්‍රාදේශීය ආණ්ඩුකාර Igor Kobzev සඳහන් කර ඇත්තේ, නිරෝධායනයේ සිටින කිසිදු අයෙකුගෙන් මේ දක්වා රෝග ලක්ෂණ කිසිවක් මතුවී නැති බවත්, ඔවුන්ගේ වෛද්‍ය වාර්තා සියල්ල සෘණාත්මක වී ඇති බවත්ය. එසේ වුවද, ආරක්ෂක පියවරක් ලෙස ප්‍රදේශයේ පැවැත්වීමට තිබූ මහජන රැස්වීම් සහ උත්සව තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙය ප්ලේග් රෝගයේ වඩාත්ම භයානක සහ වේගයෙන් පැතිරෙන Pneumonic Plague ප්‍රභේදය විය හැකි බවයි. මෙම ප්‍රභේදය කැස්ස හරහා නිකුත් වන ඛේට බිංදු (Respiratory droplets) මඟින් මිනිසාගෙන් මිනිසාට ඉතා පහසුවෙන් සංක්‍රමණය වීමේ අවදානමක් පවතියි.

විද්‍යාගාරයක ආරක්ෂිත ප්‍රමිතීන් බිඳ වැටීමෙන් සිදු වූ මෙම ඛේදවාචකය පිළිබඳව මේ වන විට අදාළ අංශ විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here