සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් තමන්ගේ ලස්සන පවත්වාගන්න නොයෙකුත් වයිවාරන්න නිෂ්පාදන මිලදී ගන්නවා සහ ක්‍රමවේද හරි අපූරුවට අනුගමනය කරනවා. ඒත් ඉතින් උයන්න ගන්නකොට එකතු කරන බේකින් සෝඩා කොණ්ඩෙට පාවිච්චි කරනවා කිව්වොත්?
ඇත්තටම තමන්ගේ කොණ්ඩය ලස්සනට, පිරිසිදුව තියාගන්න ගෙදරදීම බේකින් සෝඩා පාවිච්චි කරන අය ඉන්නවා. ඒත් මේක ඇත්තටම අපේ කොණ්ඩයට හොඳද කියන එක ගැන දෙපාරක් නෙවෙයි සිය පාරක්වත් හිතන්න වෙනවා. මොකද බේකින් සෝඩා වල හොඳ වගේම අවාසිදායක පැති කිහිපයකුත් තියෙනවා.
බේකින් සෝඩා පාවිච්චි කලාම මොනවද ඇත්තටම ලැබෙන්නේ ?

ඇත්තම කිව්වොත්, බේකින් සෝඩා වලට අපේ කොණ්ඩය පිරිසිදු කරන්න පුළුවන් අපූරු හැකියාවක් තියෙනවා. හිස්කබලේ තැන්පත් වෙන අනවශ්‍ය තෙල්, දූවිලි සහ අපි ගාන විවිධ ක්‍රීම් වර්ගවල ඉතිරි කොටස් හොඳින් සෝදා හැරලා, කොණ්ඩයට අලුත් පෙනුමක් දෙන්න මේක උදව් වෙනවා. ඒ වගේම බේකින් සෝඩා වල තියෙන පොඩි රළු ගතිය නිසා, හිස්කබලේ මැරුණු සම ඉවත් කරලා හොඳ පිරිසිදුකමක් ලබා දෙන්නත් පුළුවන්. ඒ කියන්නෙ ස්ක්‍රබ් එකක් විදිහට බේකින් සෝඩා යොදාගන්න පුළුවන්. කොණ්ඩේ ගාපු සායම් පාටක් ඉක්මනටම මකා දාන්න ඕන වුණොත් බේකින් සෝඩා පාවිච්චි කරන එක ස්වභාවික ක්‍රමයක් විදිහට සැලකෙනවා. ඒ වගේම, හිස සෝදාගන්න වෙලාවක් නැති වුණ වෙලාවක, කොණ්ඩේ මුල්වලට බේකින් සෝඩා ටිකක් ගාපු ගමන් තෙල් ගතිය අඩු වෙලා හිසකෙස් ඇලුණු ස්වභාවය ගිහින් නැවුම් පෙනුමක් එනවා.
හැබැයි බලාගෙනයි!

ඒත් එක්කම, මේක පාවිච්චි කරද්දී පරිස්සම් වෙන්න ඕන අවාසි ටිකකුත් තියෙනවා. බේකින් සෝඩා වල pH අගය ගොඩක් වැඩි (9.0 ක් වගේ) නිසා, අපේ කොණ්ඩයට සහ හිස්කබලට මේකෙන් ලොකු හානියක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම, කොණ්ඩයේ තියෙන ස්වභාවික තෙල් ගතිය සම්පූර්ණයෙන්ම යවන නිසා, කොණ්ඩය පිදුරු වගේ වේලිලා යන්න පුළුවන්. බේකින් සෝඩා වල තියෙන රළු ස්වභාවය නිසා සියුම් කොණ්ඩ කෙඳිවල ගැටී ඒවා බිඳී යන්න සහ දෙකට පැලෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම නිතර පාවිච්චි කළොත් හිස්කබල රතු වෙලා, කැසීම වගේ අසාත්මිකතා එන්නත් පුළුවන්.
බේකින් සෝඩා නිවැරදිව භාවිතා කරන්නෙ කොහොමද?

ඔබත් අනිවාර්යයෙන්ම මේක පාවිච්චි කරනවා නම්, සීමිතව කරන එක තමයි වඩාත්ම හොඳ. බේකින් සෝඩා මේස හැන්දක් උණුසුම් ජලය කෝප්පයකට දාලා හොඳින් දිය කරලා, තෙත කොණ්ඩයේ ගාලා හොඳින් සෝදා හරින්න පුළුවන්. නැත්නම්, බේකින් සෝඩා මේස හැන්දකුයි සාමාන්‍ය ෂැම්පූ මේස හැන්දකුයි එකතු කරලා හිස සෝදාගන්නත් පුළුවන්. මේකට කෝමාරිකා ජෙල් ටිකක් හෝ පොල්තෙල් බිංදු කිහිපයක් එකතු කරගත්තොත් කොණ්ඩයේ වියළි බව ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්.
බේකින් සෝඩා කොණ්ඩයට දැඩි වැඩියි වගේ නම්, වෙනත් ස්වභාවික ක්‍රම පාවිච්චි කරන එකත් හොඳ විකල්පයක්. පොල්තෙල් හෝ ටී ට්‍රී ඔයිල් පාවිච්චි කරලා කොණ්ඩය ශක්තිමත් කරගන්න පුළුවන් වගේම, කෝමාරිකා මඟින් හිසකබල තෙතමනය කරලා හොඳ පෝෂණයක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම, ෂැම්පූ කරන සෑම වතාවකම හොඳ කන්ඩිෂනර් එකක් පාවිච්චි කිරීමෙන් කොණ්ඩය රැකගන්න පුළුවන්.
ඕනම දෙයක් ඕනවට වඩා එපා කියනවනේ. අන්න ඒ වගේ භාවිතයේ සීමාව හොඳින් දැනගෙන පාවිච්චි කරන්න ඕන දෙයක් තමයි බේකින් සෝඩා කියලා කියන්නේ.
සටහන
කල්පනී ෂමල්කා




