මෙරට කලා ක්ෂේත්‍රය තුළ මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇති උණුසුම්ම මාතෘකාව බවට පත්ව ඇත්තේ ප්‍රවීන ගායන ශිල්පී අජිත් මුතුකුමාරණ සහ “ඇස යොමන තැනක” ගීතයේ පද රචිකාවිය වන රෙයාශිනි ශාක්‍යා මුණසිංහ අතර මතුව ඇති මතභේදයයි. අදාළ ගීතය ගැයීම තාවකාලිකව නවතා දැමීමත් සමඟ කරළියට පැමිණි මේ කතාව, මෙරට නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම් සහ ” කර්තෘභාගය” පිළිබඳව කතාබහක් සමාජය තුළ නිර්මාණය කර තිබේ.
මොකක්ද මේ කර්තෘභාගය?

සරලවම සඳහන් කළහොත්, එය නිර්මාණකරුවෙකුගේ දහඩිය මහන්සියට සහ බුද්ධිමය ශ්‍රමයට ලැබිය යුතු මූල්‍යමය ප්‍රතිලාභයයි. පොතක් අලෙවි වන වාරයක් පාසා ලේඛකයාට හිමිවන ප්‍රතිශතය මෙන්ම, ගීතයක් වේදිකාවල ගායනා කිරීමේදී, ප්‍රසංගවලදී හෝ විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී ආදායම් උපයන විට එහි පද රචකයාට සහ සංගීත අධ්‍යක්ෂවරයාටද නීත්‍යානුකූලව කර්තෘභාගයක් හිමිවිය යුතුය. එය කිසිවෙකුගේ මැදිහත්වීමෙන් ලැබෙන දීමනාවක් නොව, නිර්මාණකරුවෙකුගේ අයිතිවාසිකමකි. මේ සඳහා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත බලපවත්වනු ලැබේ.
මෙම පනත යටතේ ගීතයක පද රචකයාට සහ සංගීත අධ්‍යක්ෂවරයාට තම නිර්මාණය මත නීත්‍යානුකූල ප්‍රකාශන අයිතියක් සහ ආර්ථික අයිතිවාසිකම් හිමිවන අතර, වෙනත් පාර්ශ්වයක් විසින් එම නිර්මාණය වාණිජමය කටයුත්තක් සඳහා එනම් ප්‍රසංගවලදී ගැයීම හෝ ආදායම් ඉපැයීම සඳහා භාවිත කරනු ලබන්නේ නම්, නිර්මාණකරුවාගේ පූර්ව අවසරය ලබා ගැනීම සහ නියමිත කර්තෘභාගය ගෙවීම අනිවාර්ය වේ. කිසියම් පාර්ශ්වයක් එම නීතිමය වගකීම් පැහැර හැරමින් නිසි කර්තෘභාග ගෙවීමකින් තොරව නිර්මාණ වාණිජමය ප්‍රයෝජනයට ගනී නම්, අදාළ නිර්මාණකරුවාට මෙම පනත යටතේ එන්තරවාසි යැවීමට සහ අධිකරණය හමුවේ නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් වන්දි හෝ හිඟ මුදල් අය කර ගැනීමට පූර්ණ නීතිමය ප්‍රතිපාදන පවතී.
“ඇස යොමන තැනක” ගීතය වටා ඇවිලුණු කතාබහ

තවදුරටත් අදාළ ගීතය ගායනා නොකරන බවට අජිත් මුතුකුමාරණ සමාජ මාධ්‍යයට වීඩියෝවක් මුදා හැරීමත් සමඟ, පද රචිකා රෙයාශිනි ශාක්‍යා මුණසිංහ ඊට ඉතා දැඩි ප්‍රතිචාරයක් දැක්වීය.
ඇය පෙන්වා දුන්නේ මෙතෙක් එම ගීතය ගැයීමෙන් ඔහු විශාල ආදායමක් ලැබුවද, තමන්ට කර්තෘභාගය ලෙස “සත පහක්” හෝ ගෙවා නොමැති බවයි. මේ සම්බන්ධයෙන් සුහදව කතා කළත් නිසි පිළිතුරක් නොලැබුණු තැන ඇය නීතිමය මාර්ගයට පිවිසී ඇති බව පවසයි.
මෙවැනි මතගැටුම් මඟින් මතු වන කාරණාව නම් , මෙරට කලාකරුවාගේ නිර්මාණ හරහා, ඔවුන්ගේ ආර්ථිකය සුරක්ෂිත වන ක්‍රමවේදයක් නීතිමය වශයෙන් අප රට තුළ ස්ථාපිතව ඇත්ද යන්නයි.
සටහන
කල්පනී ෂමල්කා




