කිවුල කොණ්ඩෙට අගුණයිද?

0
7

අපි දිනපතා භාවිතා කරන ජලය අපේ හිසකෙස්වලට කෙතරම් දුරට බලපානවාදැයි කවරදාක හෝ සිතා තිබෙනවාද? අද වන විට හිසකෙස් ආරක්ෂා කරගැනීම සඳහා විවිධාකාරයේ නිෂ්පාදන වෙළඳපොළට පැමිණෙමින් තිබුණත්, ඔබ ජීවත් වන ප්‍රදේශයේ ජලයේ ස්වභාවය නිසා ඇති වන ගැටලු මඟහරවා ගැනීම ගැන ඔබ දැනුවත්ද?

යූනිවර්සිට් කොලේජ් ඩබ්ලින් හි චර්ම රෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩෙස්මන්ඩ් ටොබින් (Desmond Tobin) පෙන්වා දෙන පරිදි, කිවුල් ජලයෙහි විසුරුවා හරින ලද ඛනිජ ලවණ, විශේෂයෙන් කැල්සියම් සහ මැග්නීසියම් අධික සාන්ද්‍රණයකින් අඩංගු වෙනවා. වැසි ජලය හැර වෙනත් ජලය තුළ මෙම ඛනිජ ස්වභාවිකවම පිහිටා තිබෙනවා. ජලය පස සහ හුණුගල් වැනි පාෂාණ හරහා ගමන් කරන විට මෙම ඛනිජ දිය වී ජලයට එක්වන අතර, වතුර උණු කරන්නට ගන්නා කේතලවල තැන්පත් වන හුණු ස්ථරවලට වගකිව යුත්තේද මේ කියන ඛනිජ ලවණයි.

ඔබ ජීවත් වන්නේ කිවුල් ජලය ඇති ප්‍රදේශයක දැයි යන්න හඳුනා ගැනීමට පහසු ක්‍රමයක් තිබෙනවා. මහාචාර්ය ටොබින් පවසන පරිදි, ජලය භාවිතයේදී සබන් පෙණ නැගෙන්නේ අඩුවෙන් නම් හෝ අපහසුවෙන් නම් සහ බුබුලු වලට වඩා පෙණ අපද්‍රව්‍යමය ඝන ස්වභාවයක් ගන්නවා නම්, ඔබ ජීවත් වන්නේත් කිවුල් ජලය ඇති ප්‍රදේශයකයි. මේ ජලය පානය කිරීමට සෞඛ්‍යාරක්ෂිත වුවද, එය හිසකෙස් සම්බන්ධ යම් යම් ගැටලු ඇති කළ හැකිවෙනවා.

කිවුල් ජලයෙන් හිස සේදීම මඟින් කෙස්ගස් මත තුනී ඛනිජ ස්ථර වශයෙන් තැන්පත් විය හැකි අතර, එය හිසකෙස් වල ස්වභාවික වර්ණය වන කළු වෙනුවට දුඹුරු පැහැයට හුරු තඹ පැහැයට සහ රළු ස්වභාවයකට පත් කිරීමට හේතු වන බව විශ්වාස කෙරේ. කිවුල් ජලයෙන් සේදූ හිසකෙස් මත කැල්සියම් සහ මැග්නීසියම් තැන්පත් වන බවට සාක්ෂි තිබුණද, මෙය සැබැවින්ම හිසකෙස්වලට හානි පමුණුවන බවට ඇති සාක්ෂි එතරම් පැහැදිලි නැත. කිවුලට කොණ්ඩේ වැවෙනවා සහ ඝන වෙනවා යැයි සමාජ මතයක්ද කාන්තාවන් අතර තිබෙන බවද මෙහිදී කිව යුතුයි.

කෙසේ වෙතත්, මෙම තැන්පත් වීම් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී වෙනත් ගැටලු මතුවිය හැකිය. විශේෂයෙන්ම වියළි හෝ ඉක්මනින් කැඩීයන හිසකෙස් ඇති අය මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුතුය. මෙම තැන්පත් වීම් ඉවත් කිරීම සඳහා හොඳම ෂැම්පු වර්ග අධික ලෙස පෙණ නගින සහ සල්ෆේට් වැනි අමුද්‍රව්‍ය අඩංගු ඒවා වන නමුත්, ඒවා එවැනි හිසකෙස් වර්ගවලට තරමක් හානිදායක විය හැකියි.

ඔබත් කිවුල් ජලය ඇති ප්‍රදේශයක ජීවත් වන්නේ නම් සහ ඔබේ හිසකෙස් වැඩිපුර වියළී යන බවක් පෙනෙන්නට තිබේ නම්, ඔබේ නිවසේ ජල පෙරණයක් ස්ථාපනය කරගැනීම වඩාත් සුදුසු බව ද ඔහු නිර්දේශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here