ශ්‍රී ලංකාවේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කැපවූ ‘කුමාරි ජයවර්ධන ස්ත්‍රීවාදී සංරක්ෂිතය’ එළිදැක්වේ!

0
7

ශ්‍රී ලංකාවේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ව්‍යාපාරවල ඉතිහාසය, මතකයන්, සංවාද සහ අරගල අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ අරමුණින් බිහි වූ ‘ කුමාරි ජයවර්ධන ස්ත්‍රීවාදී සංරක්ෂිතය’ (The Kumari Jayawardena Feminist Archive) පසුගිය සැප්තැම්බර් 23 දා කොළඹදී උත්කර්ෂවත් අයුරින් යළි හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලංකා සමාජ විද්‍යාඥයින්ගේ සංගමය (SSA) විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා ආචාර්ය කුමාරි ජයවර්ධන ද එක්ව සිටියාය.

දකුණු ආසියාවේ ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ පුරෝගාමියෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ටතම විද්වතෙකු වන ආචාර්ය කුමාරි ජයවර්ධනගේ නමින් නම් කර ඇති මෙම ඩිජිටල් සංරක්ෂිතය, වර්තමාන ස්ත්‍රීවාදී ක්‍රියාකාරීත්වයට ශක්තියක් වීමටත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් නව දැක්මක් ගොඩනැගීමටත් වැදගත් වනු ඇත.

මීට පෙර 2026 ජූනි 16 වන දින, ආචාර්ය කුමාරි ජයවර්ධනගේ 95 වැනි ජන්ම දිනයට සමගාමීව මෙම සංරක්ෂිතය අන්තර්ජාලයට එක් කෙරුණි. 2025 මැද භාගයේදී පුද්ගලික දායකයින්ගේ ආධාර ඇතිව ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය, මාස හයක කාලයක් පුරා ඇයගේ මුද්‍රිත කෘති සහ ඡායාරූප එකතු කර, වර්ගීකරණය කර ඩිජිටල්කරණය කිරීමෙන් අනතුරුව නවදිල්ලි හි රෝසා ලක්සම්බර්ග් පදනමේ සහයෝගය ඇතිව මහජන ප්‍රවේශය සඳහා විවෘත කරන ලදී.

පසුගිය සැප්තැම්බර් මස 23 වන දින පැවති උත්සවයේදී ආචාර්ය චූලනී කොඩිකාර සහ ටෙහානි ආරියරත්න විසින් මෙම ඩිජිටල් සංරක්ෂිතයේ අවශ්‍යතාව සහ එහි මුලපිරීම පිළිබඳව කරුණු පැහැදිලි කළහ. අනතුරුව, සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් 1970 දශකයේ සිට ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රීවාදී විඥානය වර්ධනය කිරීම සඳහා කුමාරි ජයවර්ධන දැක්වූ පුරෝගාමී දායකත්වය සිහිපත් කරන ලදී. මෙම තරුණ සංරක්ෂක කණ්ඩායමේ ක්‍රියාපටිපාටිය සහ ක්‍රියාකාරකම් ආචාර්ය ක්‍රිස්ටල් බේන්ස් විසින් හඳුන්වා දුන් අතර, වෙබ් අඩවියේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරමින් එහි අන්තර්ගතය පිළිබඳව හේෂානි ධර්මපාල සහ තවිෂී අරුණතිලක යන අය රැස්ව සිටි පිරිස දැනුවත් කළහ.

යාවත්කාලීන වූ මෙම වත්මන් එකතුව මඟින් කුමාරි ජයවර්ධනගේ ජීවිතය හා සේවයේ යම් කොටසක් සහ ඇයගේ ප්‍රකාශිත ලිපි ලේඛන පමණක් ඉදිරිපත් කෙරේ. එහෙත් ඉදිරියේදී ලිපි හුවමාරු, දිනපොත්, අත්පිටපත් සහ විවිධ පුද්ගලික සටහන් ද මෙයට ඇතුළත් කරමින් සංරක්ෂිතය තවදුරටත් පුළුල් කිරීමට කණ්ඩායම අපේක්ෂා කරන බව ඔවුහු කියා සිටියහ. මීට අමතරව, ඉදිරි මාසවලදී පවුල් නීතිය සහ කාන්තාවන්ට එරෙහි හිංසනය සම්බන්ධ ප්‍රතිපත්තිමය ලියකියවිලි ඇතුළත් කිරීමට ද නියමිතය.

සිසුන්ට, ක්‍රියාකාරීන්ට, විද්වතුන්ට සහ කලාකරුවන්ට ශ්‍රී ලංකාවේ ස්ත්‍රීවාදී චින්තනය ගැන හැදෑරීමට මෙය අවස්ථාවක් වී ඇත.

මෙම ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුව ලෙස ආචාර්ය චූලනී කොඩිකාර, ආචාර්ය ක්‍රිස්ටල් බේන්ස්, මහාචාර්ය නෙළුෆර් ද මෙල්, ටෙහානි ආරියරත්න සහ ජේම්ස් නයි (James Nye) යන පිරිස කටයුතු කරති. මෙන්ම, ශ්‍රී ලංකා සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ ව්‍යාපෘති කණ්ඩායම ලෙස හේෂානි ධර්මපාල, තවිෂී අරුණතිලක, සුරේෂ් අමුහේන, බාලසිංහම් ස්කන්ධකුමාර් සහ ටානියා සිල්වපුල්ලේ යන අය දායක වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here