ශ්‍රී ලාංකේය රූපලාවන්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කොළඹ Water’s Edge හෝටල් පරිශ්‍රයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු “Queens Of Sri Lanka 2026” අවසාන මහා තරගයේදී 2026 වසර සඳහා වන “Miss Tourism Sri Lanka” මහා කිරුළ දිනා ගැනීමට නවෝදා කාවින්දි (Nawoda Kavindi) සමත් වූවාය.
ඊයේ (17) රාත්‍රියේ පැවැති මෙම තරගාවලියේදී ඇය මූලික විගණන පරීක්ෂණ සහ අනු-ක්ෂේත්‍ර රැසක් ජයගනිමින් පැමිණි අතර, එහිදී “Miss Adventure” උප-කිරුළ (Mini Title) දිනා ගැනීමටද ඇය සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ එළඹෙන ජුලි 19 වන දින ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත “Miss Tourism 2026 | International Pageant ” ලෝක තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ නිල වගකීම ජාතික අධ්‍යක්ෂ සහ ජාත්‍යන්තර ඉසව් නිෂ්පාදක (National Director & International Event Producer) චරිත් ගුණසේකරගේ මඟපෙන්වීම යටතේ ඇයට හිමිවේ.
මෙවර පවත්වන ලද “Queens Of Sri Lanka 2026” තරගාවලිය සාම්ප්‍රදායික රූ රැජිණ තරග රටාවෙන් ඔබ්බට ගිය නව මුහුණුවරක් ගත් බව සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කරයි.
දිවයිනේ නන්දෙසින් පැමිණි දක්ෂ හා උගත් තරුණියන් රැසක් අතරින් නවෝදා කාවින්දි කැපී පෙනුනේ ඇය සතු විශිෂ්ට සන්නිවේදන කුසලතාව සහ සමාජීය ගැටලු කෙරෙහි දක්වන ලද සංවේදීතාව හේතුවෙනි.
”දේශීය ආර්ථිකය සහ සංචාරක කර්මාන්තය නව පණකින් නැගී සිටින වටපිටාවක, ශ්‍රී ලංකාව පිළිබඳ ගෝලීය ප්‍රතිරූපය සාධනීය ලෙස ප්‍රවර්ධනය කිරීමට තමන් මෙම කිරුළ උපයෝගී කරගන්නා” බව ජයග්‍රාහී නවෝදා කාවින්දි විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළාය.
(Lakvahini) –




