ලිංගික අපරාධයකට ලක්වූ 8 හැවිරිදි දැරියක මියයාමෙන් පසු බංග්ලාදේශයේ දැඩි විරෝධතා

0
17
දැරියගේ මරණයෙන් පසු විරෝධතා මතු වූ අතර, දූෂණයට ලක්වූවන්ට යුක්තිය ඉටු කිරීම කඩිනම් කරන ලෙසත්, කාන්තාවන් සහ ළමා ආරක්ෂාවට අදාළ නීති ප්‍රතිසංස්කරණය කරන ලෙසත් විරෝධතාකරුවෝ රජයෙන් ඉල්ලා සිටිති.

බංග්ලාදේශයේදී දූෂණයට ලක්වූ 8 හැවිරිදි දැරියක තුවාල හේතුවෙන් බ්‍රහස්පතින්දා (මාර්තු 13) දිනයේදී මිය යාමත් සමග රට පුරා දැඩි විරෝධතා ඇති වී තිබේ.

ඇගේ මව විසින් ගොනු කරන ලද නඩුවකට අනුව, මාර්තු 5 වන දින රාත්‍රියේ සිට පසුදා උදෑසන දක්වා කාලය තුළ මගුරා නගරයේ ඇගේ වැඩිමහල් සහෝදරියගේ නිවසට යමින් සිටියදී දැරිය දූෂණයට ලක් විය.

වැඩිමහල් සහෝදරියගේ 18 හැවිරිදි සැමියා, ඔහුගේ දෙමව්පියන් සහ සහෝදරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ, දරුවාගේ මරණය පිළිබඳ පුවත ඇසීමෙන් පසු, කෝපයට පත් පිරිසක් සිද්ධිය වූ බව කියන නිවසට කඩා වැදී එය ගිනි තැබූහ.

බංග්ලාදේශ රජයේ අන්තර් සේවා මහජන සම්බන්ධතා (ISPR) දෙපාර්තමේන්තුවේ නිවේදනයකට අනුව, හෘදයාබාධ තුනකට ගොදුරු වීමෙන් පසු එම දැරිය බ්‍රහස්පතින්දා එරට වේලාවෙන් පස්වරු 1.00ට පමණ මිය ගියා ය.

“වෛද්‍යවරුන් දෙවරක් ඇයගේ තත්ත්වය ස්ථාවර කිරීමට සමත් වුව ද, තුන්වන අදියරෙන් පසු හදවත ස්පන්ධනය කරවීමට අපොහොසත් විය,” නිවේදනයේ සඳහන් වේ.

මාර්තු 8 වන දින දැරිය ඩකා අගනුවර හමුදා රෝහලට ඇතුළත් කළ අතර, ඇය දින 6ක් අසාධ්‍ය තත්ත්වයෙන් ගත කර තිබිණි.

“මගේ දුව බේරෙයි කියලා මම හිතුවා,” දැරියගේ මව ඇගේ මරණයෙන් පසු පැවසූ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ ය. “ඇය බේර ගන්න පුළුවන් වුණා නම්, මම ආයෙත් කවදාවත් එයාට තනියම කොහේවත් යන්න දෙන්නේ නැහැ.”

දැරියගේ දේහය හමුදා හෙලිකොප්ටරයකින් මාගුරා වෙත ආපසු ගෙන යන ලද අතර, දැඩි විරෝධතා පැවතියදී දේහය රැගත් හෙලිකොප්ටරය ප්‍රදේශයේ ක්‍රීඩාංගණයකට ගොඩ බැස්සේ ය.

ප්‍රාදේශීය පුවත් සේවයක් වන ද ඩේලි ස්ටාර් වාර්තා කළ පරිදි, මාගුරා සදාර් පොලිසියේ ස්ථානාධිපති අයුබ් අලි පැවසුවේ, තත්ත්වය පාලනය කිරීමට බලධාරීන්ට අසීරු වූ බව ය.

රාත්‍රී 7:30ට දැරියගේ දේහය තැන්පත් කිරීමට පෙර, ඉස්ලාමීය අවමංගල්‍ය යාච්ඤාව වන නමාස්-ඊ-ජනසා සඳහා දහස් ගණනක් ජනතාව මාගුරාහි පොදු චතුරශ්‍රයට රැස් වූහ.

දැරියගේ මරණයෙන් පසු ඩකා විශ්වවිද්‍යාලයේ ක්‍රියාකාරීහු මිනී පෙට්ටියක් රැගෙන විරෝධතා දැක්වූහ.

බංග්ලාදේශයේ ඩකා විශ්වවිද්‍යාලය තුළ දැරියගේ මෘත දේහය නොමැතිව සංකේතාත්මක අවමංගල්‍ය උත්සවයක් ද පවත්වන ලද අතර, අනතුරුව විරෝධතා පාගමනකින් පසු ශිෂ්‍යාවන් කිහිප දෙනෙකුගේ කතා පැවැත්විණි.

බොහෝ විරෝධතාකරුවන් රජයෙන් ඉල්ලා සිටියේ දූෂණයට ලක් වූවන්ට යුක්තිය ඉටු කිරීම කඩිනම් කරන ලෙසත්, කාන්තාවන් සහ දරුවන්ගේ ආරක්ෂාවට අදාළ නීති සංශෝධනය කරන ලෙසත් ය.

බංග්ලාදේශයේ ස්ත්‍රී දූෂණය යනු කුමක් ද? යන්න පිළිබඳ නීතිමය අර්ථ දැක්වීම් පිළිබඳව වඩාත් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි විරෝධතාකරුවෝ, එය දැනට අපැහැදිලි බව පැවසූහ.

නීති උපදේශක අසිෆ් නස්රුල්ට අනුව, ස්ත්‍රී දූෂණ සහ මිනීමැරුම් නඩුවේ නඩු විභාගය ඉදිරි දින හත ඇතුළත ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“ඩීඑන්ඒ සාම්පල් එකතු කිරීම අවසන් කරලා තියෙන්නේ. ඉදිරි දින පහ ඇතුළත වාර්තාව ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා,” බ්‍රහස්පතින්දා ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී නස්රුල් පැවසීය. ඔහු ප්‍රකාශ කළේ, දැනටමත් පුද්ගලයින් 12 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති බව ය.

“දවස් හතක් ඇතුළත නඩු විභාගය ආරම්භ කරන්න ලැබුණොත්, අපගේ විනිසුරුවන්ට උපරිම වේගයෙන් යුක්තිය සහතික කිරීමට හැකි වෙයි,” ඔහු තවදුරටත් පැවසීය.

2020 වසරේ සම්මත කර ගත් නීතියට අනුව, බංග්ලාදේශය තුළ බාලවයස්කරුවන්ට ලිංගික අපරාධ කිරීම මරණීය දණ්ඩනය නියම කළ හැකි වරදකි.

එම නීතිය හඳුන්වාදීම සිදු වූයේ, 37 හැවිරිදි කාන්තාවකට එල්ල කරන ලද කෲර සමූහ ලිංගික අපරාධයක් රූගත කර සමාජ මාධ්‍යවල පළ කිරීම ඇතුළු ඉහළ පෙළේ ලිංගික ප්‍රචණ්ඩත්ව නඩු මාලාවකින් පසුව ය.

මාගුරාහි දැරියට ලිංගික අපරාධයක් කිරීමෙන් සතියකටත් අඩු කාලයකට පසු, බංග්ලාදේශයේ විවිධ ප්‍රදේශවල එක ම වයසේ පසුවන ළමුන් තිදෙනෙකුට ලිංගික අපරාධ සිදු කිරීමේ සිද්ධි තුනක් පිළිබඳ මාධ්‍ය වාර්තා පළ විය.

ඇතැම් අවස්ථාවල චූදිතයෝ වින්දිතයාගේ අසල්වැසියන් වූ අතර තවත් විටෙක සමීප ඥාතීන් වූහ.

නීතිය සහ බේරුම්කරණ මධ්‍යස්ථානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව, පසුගිය වසර අට තුළ බංග්ලාදේශයේ ළමා ලිංගික අපරාධ නඩු 3,438ක් ගොනු කර ඇති අතර, තවත් බොහෝ වින්දිතයින් පිළිබඳව වාර්තා වී තිබේ.

ඔවුන්ගෙන් අවම වශයෙන් 539 දෙනෙකු වයස අවුරුදු 6ට අඩු දරුවන් වන අතර, 933 දෙනෙකු වයස අවුරුදු 7ත් 12ත් අතර අය වෙති.
බොහෝ අවස්ථාවලදී ළමුන්ට ලිංගික අපරාධ සිදු කරනු ලබන්නේ ඔවුන් දන්නා හඳුනන පුද්ගලයින් විසින් බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත.

(සටහන | ගැවින් බට්ලර්)
BBC

උපුටා ගැනීම – බීබීසී සිංහල සේවය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here