ශ්‍රී ලංකාවේ සිදුවන ළමා ගැබ් ගැනීම්: 2024 වසරේ දී වාර්තා වූ ‘ළමා මව්වරුන්’ අතර වයස අවුරුදු 10ක දැරියක්

    0
    136

    ශ්‍රී ලංකාවේ පාසල් යා යුතු වයසේ පසුවන ගැහැනු ළමුන් අතරින් වාර්තා වී ඇති ළමා මව්වරුන් අතර වයස අවුරුදු 10ක කුඩා දැරියක් ද සිටින බව නිල දත්තවලට අනුව අනාවරණය විය.

    පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාවේ දත්තවලට අනුව 2023 දී පාසල් යන වයසේ ගැහැනු ළමුන් 163 දෙනෙකු ගැබ්නි මව්වරුන් ලෙස වාර්තා වී ඇති අතර 2024 දී එය 213ක් දක්වා ඉහළ ගොස් ඇත.

    ඒ අනුව 2024 වසරේ දී වාර්තා වූ ළමා මව්වරුන් අතර අඩුම වයසේ පසුවන දැරියගේ වයස අවුරුදු 10ක් බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාවේ දත්තවල සඳහන් වේ.

    කෙසේ නමුත් වාර්තා වී ඇති ප්‍රමාණයට වඩා වැඩි ළමා මව්වරුන් සංඛ්‍යාවක් මෙරට සිටිය හැකි බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර බීබීසී සිංහල වෙත පැවසුවාය.

    1989 නොවැම්බර් මස 20 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරන ලද ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18ට අඩු සියලු අය දරුවන් ය.

    මෙරට දණ්ඩ නීති සංග්‍රහයේ 363 (ඉ) වගන්තියට අනුව, ස්ත්‍රීය වයස අවු. 16ට අඩු තැනැත්තියක නම් “කැමැත්ත” යන්න අදාළ නොවන නිසා, එවැනි තැනැත්තියක සමග ලිංගික සංසර්ගයක් පැවැත්වීම “දූෂණයක්” ලෙස සැලකෙයි. මෙය “ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය” යි.

    අඩු වයස් ප්‍රේම සම්බන්ධතා නිසා ඇති වූ සිදුවීම්

    වර්තමානයේ වාර්තාවන ළමා ගැබ් ගැනීම් අතර බොහොමයක් ප්‍රේම සම්බන්ධතාවල ප්‍රතිඵලයක් ලෙස සිදුව ඇති සිද්ධි බව නියෝජ්‍ය පොලිස්පතිනිය සඳහන් කළා ය.

    “අපිට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ වයස අවුරුදු 16ට අඩු කැමැත්ත ඇතිව වෙන ඒවායේ ප්‍රවණතාවය. ඒවා දූෂණය කියලා නීතියේ නිර්වචනය හැටියට අයිති වෙනවා වුණාට, ඒවා බලහත්කාරයෙන් වුණ සිදුවීම් නෙමෙයි. යාළුවෙලා සම්බන්ධකම් මත කැමැත්ත දීලා වෙච්ච සිද්ධිවලින් තමයි ගැබ් ගැනීම් වාර්තා වෙන්නේ.”

    එවැනි අවස්ථාවල දී බලහත්කාරයෙන් සිදුවූ අපයෝජනවල දී මෙන්ම ගැබ් ගැනීම වැළැක්වීමට අවස්ථාවක් නොමැති බව මෙන්ම බොහෝ විට එම පැමිණිලි ලැබෙන විට ගැබ් ගෙන මාස කිහිපයක් ගත ව ඇති බව ද ඇය පැවසුවාය.

    පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර

    “බලහත්කාරයෙන් වෙන අපයෝජනයක දී අනිවාර්යෙන් පොලිසියට පැමිණිල්ල එනවා. ඊට පස්සේ ඒ අවශ්‍ය දේවල් සිද්ධ වෙනවා, ගැබ් ගැනීම් වළක්වන්න වුණත්. මොකද පළවෙනි පැය 24, 48 ඇතුළත ආවොත්, අධිකරණය, වෛද්‍යවරු අවශ්‍ය දේවල් කරනවා. ගොඩක්ම එන්නේ සම්බන්ධතා පවත්වලා ඒවායෙන් වෙච්ච දේවල්වල දී ඒගොල්ලෝ ඒවා හංඟගෙන ඉඳලා කාලයක් යද්දි තමයි දැනගන්නේ.”

    මෙරට නීතියට අනුව කුඩා දරුවෙක් වුව ද ගැබ් ගත් පසුව මවගේ ජීවිතයට හානිදායක නොවන අවස්ථාවක දී හැර ගර්භණී භාවය නිමා කිරීමට නීතියෙන් හැකියාවක් නොමැත.

    වර්තමානයේ වාර්තා වන ඇතැම් සිදුවීම්වල දී ගැබ් ගැනීම්වලට වගකිව යුතු පිරිමි පාර්ශවය අවුරුදු 18ට අඩු ළමුන් වන බව ද රේණුකා ජයසුන්දර නියෝජ්‍ය පොලිස්පතිවරිය සඳහන් කළාය.

    එමෙන්ම මෑත කාලයේ දත්තවලට අනුව මෙම සිදුවීම්වලට අවුරුදු 14 – 17 වයසේ පසුවන ගැහැනු දරුවන් ගොදුරු විම වැඩි වශයෙන් දක්නට ඇති බව ද කියා සිටියා ය.

    ළමා මව්වරුන්ගේ දරුවන් මෙලොව එළිය දකින්නේ ‘වින්දිතයන්’ ලෙසින් කී නියෝජ්‍ය පොලිස්පතිනිය මෙම සිදුවිම් කෙරෙහි සමාජයේ අවධානය යොමු විය බවත් අවධාරණය කළා ය.

    “කවුරුවත් ඒ ගැන සාකච්ඡා කරනවා මම දැකලා නැහැ. මේ අය අධිකරණයෙන් කාට හරි භාර දෙනවා, ගොඩක් වෙලාවට පවුලෙම අයට භාර දෙන්නේ ඒ අය කැමති නම් හදාවඩා ගන්න ගන්නවා.”

    නොදැනුවත්කම නිසා සිදුවන ළමා ගැබ් ගැනිම්

    දරුවන් මෙවන් ඛේදවාචකයන්ට මුහුණ දීමට ලිංගිකත්වය පිළිබඳ දැනුම අවම වීම ප්‍රධානත ම හේතුවක් බව නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර කියා සිටියාය.

    “ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපනය, ඒ ගැන තියෙන දැනීම සහ අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් ආරක්ෂා වෙන්න තියෙන නොදැනුවත්කම මේකට එක හේතුවක්. ලිංගික සම්බන්ධතාවයක් පවත්වන කෙනෙක් නම් අනිවාර්යෙන් ආරක්ෂාව ගැන දැනගෙන ඉන්නත් ඕනේනේ. අපිට පිළිගන්න වෙනවා වයස අදාළ වෙලා නැහැ ඒක පවත්වන්න කියලා. එහෙම නම් වයස අදාළ වෙන්නේ නැහැ, ඒවා ගැන දැනගන්නත්.”

    “අපි කේස් බලද්දි ඒ ළමයි ඒවා ගැන දැනගෙන ඉඳලා නෑ කියන එක තමයි තේරෙන්නේ.” යැයි මෙවැනි සිදුවීම් පිළිබඳව විමර්ශනය කර ලබා ගත් අත්දැකීම් අනුව ඇය පැවසුවාය.

    “අපි ඔය සිද්ධි අධ්‍යනය කරද්දි ගොඩක් දකිනවා පවුල්වල තියෙන ගැටලු. ගොඩක් දරුවෝ අනාරක්ෂිත යි. හේතුව අම්මා, තාත්තා දෙපැත්තකට ගිහිල්ලා, ඒ අයගේ තියෙන ප්‍රශ්න. ඒ වගේ තත්ත්වයක දී තමයි ප්‍රේම සම්බන්ධයකට වුණත් ඉතා වේලාසනින් යන්නේ.”

    කෙසේවෙතත්, නිවැරදිව ම මෙවැනි තත්ත්වයන් සඳහා හේතු කිව නොහැකි බව ද පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාවේ ප්‍රධානි, නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්ද බීබීසි සිංහල වෙත සඳහන් කළාය.

    ‘ළමයි දැනුම අරන් තියෙන්නේ අවිධිමත් ක්‍රමයකින්’

    මාතලේ දිස්ත්‍රික් මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරි, වෛද්‍ය නුවන් තොටවත්ත

    දරුවන්හට ලිංගික අපයෝජනය පිළිබඳව දැනුම ලබා ගැනීමට විධිමත් ක්‍රවේදයක් නොමැති වීම තුළ ඔවුන් එම ලිංගිකත්වය පිළිබඳව දැනුවත් වී ඇත්තේ අවිධිමත් ක්‍රම හරහා බව මාතලේ දිස්ත්‍රික් මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරි, වෛද්‍ය නුවන් තොටවත්ත බීබීසි සිංහල වෙත පැවසීය.

    “පාසල් අධ්‍යාපනය තුළ විධිමත්ව මේක කොහෙවත් උගන්වන්නේ නැහැ. එතකොට මේ ළමයි දැනුම අරන් තියෙන්නේ අවිධිමත් ක්‍රමයකින්; වැඩිහිටියන්ගෙන්, එහෙම නැතිනම් යාළුවන්ගෙන්, ලිංගික චිත්‍රපටි වගේ දේවල් බලන එකෙන් ඒ වගෙන් තමයි දැනුම අරන් තියෙන්නේ. එතකොට මේ ළමයි ගර්භනී වෙන්නේ නොදැනුවත්කමට. එහෙම අයව අපිට හම්බ වෙනවා.”

    “ලංකාවේ අවුරුදු 12-14 ළමයි වුණත් දන්නේ නෑ මේක ගැන. එහෙම වුණා ම ඒගොල්ලෝ හිතනවා වැඩිහිටියන් විසින් ළමයින්ට ආදරය කරන විදියක් මේක කියලා. එහෙම හිතපු ළමයි ඉන්නවා.”

    වැඩිහිටියෙක් නොවන අවස්ථාවල අපයෝජකයන් පවා ඒ පිළිබඳව නොදැණුවත් බව වෛද්‍යවරයා සඳහන් කළේය.

    “දරුවන්ට කොහෙන්වත් අනතුරේ වැටිය හැකි අවස්ථා ගැන දැනුමක් දෙන්නෙත් නැහැ”

    අනාගතය සැලසුම් කිරීම සඳහා වූ අධ්‍යාපනයක් නොමැති වීම ද ගැටලුවක් ලෙස වෛද්‍ය නුවන් තොටවත්ත සඳහන් කළේය.

    “අපයෝජනය පැත්තක දැම්මත්, අපේ තරුණ පරම්පරාවේ සැලකිය යුතු දරුවන් පිරිසක් අවුරුදු 18 වෙද්දි විවාහ වෙලා, 19න් දරුවෙක් හදලා ඒගොල්ලො කැමති ෆැන්ටසි ලෝකයේ තියෙන පවුල කියන තැනට යන්න බලනවා.”

    “මේ දරුවන්ට කොහෙන්වත් අනතුරේ වැටිය හැකි අවස්ථා ගැන දැනුමක් දෙන්නෙත් නැහැ. උදාහරණයක් හැටියට, සමාජ මාධ්‍ය ජාලා භාවිතය වගේ දෙයක්. ඒකේ ඇතුළේ අවදානම, ඒක ඇතුළේ අවදානමට වැටිය හැක්කේ මොන වගේ තැන් වලදී ද, ඒවා කොහොමද අපි බුද්ධිමත්ව භාවිතා කරන්නේ වගේ ජීවන නිපුණතාවයක් සම්බන්ධයෙනුත් කිසිම තැනක අපේ අධ්‍යාපන ක්‍රමය තුළ උගන්වන්නේ නැහැ.” යි වෛද්‍යවරයා පැවසීය.

    නියමිත වයස සම්පුර්ණ නොවී ගර්භණී භාවයට පත්වීම සරල ලෙස හෝ “ළමා මව්වරුන්” ලෙස සැලකුව ද වෛද්‍ය විද්‍යාත්මක ව අවුරුදු 20ට පෙර ගර්භානී භාවයට පත්වීමට ශරිරය මෙන්ම මනස ද සුදානම් නොමැති වීම හේතුවෙන් එවැනි අවස්ථා අවදානම් තත්ත්වයක් ලෙස සලකන බව මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරි, වෛද්‍ය නුවන් තොටවත්ත සඳහන් කළේය.


    ‘අවුරුදු 3ක ළමයෙකුට ඔසප් චක්‍රය තේරෙන්නේ නෑ’

    දරුවන් හට ලිංගිකත්වය පිළිබඳ දැනුම ලබා දීම ආරම්භ කළ හැකි වයස පිළිබඳව ද බීබීසී සිංහල විසින් වෛද්‍යවරයාගෙන් විමසනු ලැබීය.

    “තමන්ගේ ශරිරයේ කොටස් අවබෝධ කරගන්න පුළුවන් වෙනකොට ටික ටික මේ දැනුම දෙන්න පටන් ගන්න ඕනේ. ඒක තමයි වයස. අවුරුදු 3ක ළමයෙකුට ඔසප් චක්‍රය තේරෙන්නේ නෑ. හැබැයි බඩ අල්ලන එක, මූණ අල්ලන එක, පපුව අල්ලන එක තේරෙනවා.”

    මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හරහා මේ පිළිබඳව ඉගැන්වීම ඇරඹිය හැකි බව පැවසු වෛද්‍ය නුවන් තොටවත්ත නියමිත වැඩපිළිවෙලක් හරහා අධ්‍යාපන ක්‍රමය තුළින් මෙවැනි සිදුවීම් අවම කර ගත හැකි බව අවධාරණය කළේය.

    | BBC සිංහල සේවය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here