ආණ්ඩුව තවදුරටත් ජනතාවට බරක් නොවිය යුතුයි… ඒ වෙනුවෙන් රජය උපරිම උත්සාහ ගන්නවා… – අගමැති ආචාර්ය හරිනි අමරසූරිය

0
13

ආණ්ඩුව තව දුරටත් ජනතාවට බරක් නොවන ලෙස කටයුතු කිරීමට රජය උපරිම උත්සාහ ගන්නා බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව සඳහන් කළේ, අද (27) පැවති අයවැය කාරක සභා විවාදයේ ජනාධිපති, අගමැති කාර්යාල සහ විශේෂ ඒකකවල වැය ශීර්ෂ පිළිබඳ අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසීය.

“විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට වත්මන් රජයේ වැඩපිලිවෙල පිළිබඳ අවබෝධයක් නැහැ කියන කාරණය ඔවුන්ගේ කථා තුළින් පැහැදිළි වෙනවා. රජය ආරම්භ කළ සමහර වැඩසටහන් ගැන විපක්ෂය අදහස් දක්වන්නේ අවසන් තීරණ වලට එළඹිලා වගේ. අපේ රජයේ මංගල අයවැයෙන් නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ආරම්භයක් ගන්න කටයුතු කරන්නේ.

විපක්ෂය ව්‍යවස්ථා සංශෝධනය ගැන කථා කළා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අපි පැහැදිළිව කියලා තියනවා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් අපි සිදු කරන්නේ ජනතා සහභාගීත්වයත් සමග කියලා. ඒ ව්‍යවස්ථාව ජනතාවගේ ව්‍යවස්ථාවක් විය යුතුයි.

අද ආරම්භ කරන අයවැය කාරක සභා විවාදයේ විශේෂ වියදම් ඒකක තුළින් අපේ අලුත් දේශපාලන සංස්කෘතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන කාරණය අපි පැහැදිලි කර තිබෙනවා. විපක්ෂය එහි දැක්ම අවබෝධකර නොගෙන එක් එක් කාරණා ගැන විවේචනය කරනවා.

අපි ආණ්ඩුවක් ලෙස ජනතාවට බරක් නොවිය යුතුයි. මෙතෙක් කළක් පැවති ආණ්ඩු ජනතාවට බරක් වෙන විදිහට ක්‍රියා කළා. රාජ්‍ය සේවය පමණක් නෙමෙයි ජනතාවට ආණ්ඩුවත් බරක් වෙලා තියනවා. මේ රටෙි මැති ඇමතිවරු , අගමැතිවරු, ජනාධිපතිවරු ජනතාවට බරක් වෙලා තියනවා. ජනතාව මත පැටවුණු ඒ බර අවම කිරීමයි අපේ රජයේ අරමුණ. ඒ ඒ ඒකක වල වියදම් පිළිබඳ අපි විශේෂ අවධානයක් යොමු කරන්නේ ඒ නිසයි.
ආණ්ඩුවක් නඩත්තු වෙන්නේ ජනතාවගෙන් සෘජුව සහ වක්‍රව ලබා ගන්න බදු මුදල්වලින්, ඒ සෑම රුපියලකටම අපි වගකිව යුතුයි.

රජයක් ලෙස අපි තේරුම්ගත් දෙයක් තමයි තනතුරු, වරප්‍රසාද පුද්ගලිකව ලැබුණ දෙයක් ලෙස සැලකීම වංචා, දුෂණවලට හේතුවක් බව, තනතුරු නිසා,වරප්‍රසාද නිසා ලැබෙන බලය, තමන් විශේෂයි කියලා ඇතිවෙන අහංකාරකම අතිශය භයානක දෙයක්, වරප්‍රසාද තනතුරට මිසක් පුද්ගලයාට නොවන බව දේශපාලකයින් පමණක් නෙමෙයි සියළු දෙනාම අවබෝධ කරගත යුතුයි.

තනතුරු සමග තමන්ට ලැබුණ වරප්‍රසාද හිටපු ජනාධිපතිවරු අවභාවිතා කර තිබෙනවා, එක උදාහරණයක් ලෙස විදේශ සංචාර පිළිබඳ මම ඉදිරිපත් කරනවා.
2010- 2014 කාලය තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විදේශ සංචාර සඳහා රුපියල් මිලියන 3572ක්, 2015- 2019 කාලය තුළ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස විදේශ සංචාර සදහා රපියල් මිලියන 384ක්, 2020-2022 ගෝඨාභය රාජපක්ෂ රුපියල් මිලියන 126ක්, 2023- 2024 රනිල් වික්‍රමසිංහ රුපියල් මිලියන 533ක්, වියදම් කර තිබෙනවා. හැබැයි අපේ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා 2024 සැප්තැම්බර් මාසයේ සිට 2025 පෙබරවාරි දක්වා කාලයේ විදේශ සංචාර සඳහා වියදම් කර තිබෙන්නේ රුපියල් මිලියන 1.8ක් පමණයි. ජනතා මුදල් කළමනාකරණය කරන්නේ කොහොමද කියලා ඒ මගින් ම අපි පෙන්වා දී තිබෙනවා.”

ජනාධිපතිවරයෙකු විදේශ සංචාරයක් සඳහා සහභාගී වීමේදී යායුතු පිරිසක් සිටින බවත් ගැටලුව වන්නේ ඊට පරිභාහිරව අල්ලස් ලෙස විදේශ සංචාර ලබා දෙමින් වැඩි පිරිසක් සංචාර සඳහා යොදා ගැනීමට කටයුතු කිරීම බවත් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී අවධාරණය කළේය.

lankatruth

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here