ඇගේ පළමු කාව්‍ය සංග්‍රහය “මංගල වීදිය” පළවන්නේ 1994 වසරේදීය. ඉන්පසු 2013 දී දෙවැනි කාව්‍ය සංග්‍රහය වන සුබ පෙරනිමිති කෘතිය පළකරන ඇය එම කෘතිය වෙනුවෙන් 2014 කළුතර දිස්ත්‍රික් පන්හිඳක අසිරිය සම්මානයෙන්ද පිදුම් ලැබූවාය. 2013 දී ඇය හෘදයාංගම තිළිණයකි නමින් ඇගේ පළමු කෙටිකතා සංග්‍රහයද පළ කළාය. මතක මග මගහැර ඇගේ තුන්වැනි කාව්‍ය සංග්‍රහය වේ. මෙම කෘතියද 2024 කළුතර දිස්ත්‍රික් පන්හිදක අසිරිය සම්මානයෙන් පිදුම් ලැබුවාය.
කුඩා කාලයේ පටන්ම මනුෂ්‍යත්වය හා සොබා දහම පිළිබඳව සංවේදී කියවීමක් ඇති කෙනෙක් වන ඇය ඒ නිසාම පසුකාලීනව නිර්මාණකරණයට පිවිසුණාය. ලේඛිකාවක් හා වෘත්තියෙන් සැලසුම් ශිල්පිනියක් ලෙස කටයුතු කරන සන්ද්‍යා කුමුදුනී ලියනගේ අමිල චින්තක ගමගේ සමඟ කල සංවාදයකි,

ඔබ කාව්‍යකරණයට පිවිසෙන්නේ 90 දශකයේ.එතැන් සිට මේ දක්වා කිවිඳියක ලෙස ගත කළ කාලය පිළිබද තෘප්තිමත්ද?
මම කාව්‍යකරණයට පිවිසෙන අවදියේ නිර්මාණයක් එළි දැක්වීමට, තිබුණ ප්‍රධාන මාධ්‍ය වුණේ පුවත්පත්, සඟරා හා ගුවන් විදුලිය. නිර්මාණයක ගුණාත්මක භාවය මත තමයි එකල ඊට මාධ්‍යය තුළ ඉඩක් වෙන් වුණේ. විවේචන, ප්‍රතිචාර ක්ෂණිකව නොලැබුණත්, එකල පුවත්පතක කවියක් පළවීම විශාල ඇගයීමක් වගේම සතුට ගෙන දෙන්නක් වුණා.ඒ නිසාම මගේ නිර්මාණ ජීවිතයේ මුල් වකවානුව පිළිබඳව මම ඉතාම තෘප්තිමත්.කිසිදු දැන හැඳුනුම්කමකින් හෝ පෙලඹවීමකින් තොරව මුද්‍රිත මාධ්‍යයේම මෙන්ම ගුවන් විදුලි මාධ්‍යයේත් මගේ නිර්මාණයන්ට ඉඩකඩ ලැබුණා.ඒ නිසාම නවීන මෙන්ම ප්‍රවීණ නිර්මාණ ශිල්පීන් සෑහෙන පිරිසක් හඳුනාගන්නට ලැබුණා.ඒ ලැබුණ උත්තේජනය තමයි දිගටම මට නිර්මාණකරණයේ රැඳී සිටින්නට තරම් හේතු සාධක වුණේ.
කවිය ප්‍රකාශන මාධ්‍යයක් ලෙස තෝරා ගත්තේ ඇයි?
කවිය සියුම් භාව ප්‍රකාශන මාධ්‍යක්.යම්කිසි අනුභූතියකින් හෝ පරිකල්පනයක් තුළින් සහෘදයා තුළ රසය ජනනය කිරීම වගේම, සහකම්පනයක් ඇති කිරීම තියුණු ලෙස කවිය තුළින් සිදුකළ හැකියි කියන හැඟීම නිසා මා කවියට වඩාත් ආසක්ත වුණා.මා මේ වනවිට කවි පොත් කීපයක්ම පළ කර තිබෙනවා.මා විශ්වාස කරන දේ කවිය මගින් කළ හැකියි යන්න ඔප්පු කිරීමට මෙම කවි පොත් හොඳම උදාහරණ ලෙස මා සිතනවා.
කවි කියවන පිරිස දිනෙන් දින අඩුවෙමින් යන බව සමහරු කියනවා.කවිය හෘද සංවෙිදී මාධ්‍යයක් විදියට දැනෙන්නැතිවෙන්න විශේෂ හේතුවක් තිබෙනවාද?
නූතන පරපුර නිරන්තරව සයිබර් අවකාශය හා ඇති ගනුදෙනුවත්,දැනට පවත්නා තරගකාරී අධ්‍යාපන රටාවත්,සහකම්පනය හා සෞන්දර්ය ගැන නොසලකා හැරීමත් මීට ප්‍රධාන හේතු ලෙස සඳහන් කරන්න පුළුවන් .ඒත් අප පුළුවන් තරම් කවියට ආසක්ත පිරිසක් සමාජය තුළ ගොඩනගා ගත යුතුයි.එහෙම නොවුණොත් අසංවේදී පිරිස් සමාජය තුළ වැඩි වුණාම සමාජ ප්‍රශ්න ගණනාවකුත් නිර්මාණය වනවා.
ඔබ කාන්තාවක් විදියට කිවිඳිය කියන භුමිකාව පවත්වාගෙන ඒම සඳහා කවර විදියේ ආයාසයක්ද දරන්න සිද්ධ වුණේ?
කවිය ජීවිතයෙන් බැහැර කිරීමට තිබූ අකැමැත්ත හා කවිය හා තිබුණ සවිමත් බැඳීම,විවිධ නිර්මාණ තරග තුළින් ලද ජයග්‍රහණ, මා කවි භූමිකාව තුළම රඳවමින් මගේ පෞද්ගලික ජීවිතය හා රාජකාරී ජීවිතය තුලනය කර ගැනීමට හැකි වුණා.මගේ කවියට ආදරය කළ මගේ සමීපතමයන් මගේ කවිය ඇගයීම හා ඊට වටිනාකමක් දීම මට විශාල ශක්තියක් වුණා.ඒ නිසා මා කවිය කියන මාධ්‍යයේ ආසාවෙන් නිරත වුණා.
කවියට,කෙටිකතාවට අමතරව ඔබ අභ්‍යාස කරන වෙනත් කලා ඉසව් මොනවාද?
කවිය වගේම කෙටිකතාවටත් මා ඉතාම කැමතියි. ,ළමා සාහිත්‍ය නිර්මාණ මෙන් ගීතය යන අංශ සඳහාත් මා යොමු වී සිටිනවා.2013 වසරේදී තමයි “හෘදයංගම තිළිණයකි” නමින් කෙටිකතා සංග්‍රහය මා ප්‍රකාශයට පත් කළේ. එතැන් සිට තවමත් මට තව කෙටි කතා පොතක් පළ කර ගැනීමට නොලැබුණේ වැඩිපුර මා අතින් කවි ලියැවුණු නිසයි.
ඔබ පන්හිදක අසිරිය වැනි කළුතර දිස්ත්‍රික් සම්මාන හිමිකරගෙන තිබෙනවා.සම්මානයක් ලැබුණාම එය කාව්‍ය ගමනට උත්තේජනයක් වුණාද?
එය ඇගයීමක් මෙන්ම නිර්මාණයන්ට ලැබෙන ලොකු වටිනාකමක් . නැවත නැවතත් ලියන්නට පොලඹවන විශාල උත්තේජකයක් වගේම නිර්මාණ කෘතියකට වාණිජමය වටිනාකමක්ද ගෙන දෙන්නක්.ඒ නිසා මට ඒ ගැන කිසිම විරෝධාකල්පයක් නැහැ.සම්මාන කියන්නේ යකඩ ගොඩාක් බව ඇත්ත.ඒත් ඒ ඇගයීම් තමයි දිගටම මා කාව්‍යකරණයේ රඳවා තැබුවේ.
සමාජ මාධ්‍ය නිසා කවි කියවන පිරිස වගේම විචාර ලියන පිරිසකුත් අලුතෙන් බිහි වී සිටිනවා.මේ නිසා කාව්‍ය ලෝකයේ දියුණුවක් ඇති වී තිබෙනවාද?
සමාජ මාධ්‍ය තුළින් බොහෝ විට මුදා හැරෙන්නේ ක්ෂණික නිර්මාණ .ඉවසීම, සංයමය , හා සංස්කරණය යන ගුණාංග පවත්වා ගෙන යාමක් එතනදී සිදුවන්නේම නැහැ. එසේම ඒ ඒ නිර්මාණ ශිල්පීන් වටා සමීප රසික කුලක විසින් සිදුකරනු ලබන අවිචාරවත් ක්ෂණික විචාර නිසා ජනප්‍රිය නිර්මාණ මිසෙක යහපත් නිර්මාණ බිහිවීමට ඇති අවස්ථාව අහිමි වෙනවා.නිර්මාණකරුවාට දිගින් දිගටම නිර්මාණකරණයේ යෙදීමේ අවස්ථාව අහිමි වෙන්නත් පුළුවන් .
ඔබේ නිර්මාණ සදහා වැඩි පුරම තේමා කරගන්න කැමති කවර ඉසව්ද?
මානව හැඟීම් දනවන අත්දැකීම්, ප්‍රේමය,විරහව වගේම සොබා දහම වැනි ඉසව් මා මගේ නිර්මාණ සදහා පාදක කර ගැනීමට කැමතියි.
මේ දිනවල යෙදී සිටින අලුත් නිර්මාණ කටයුතු මොනවාද?
කාව්‍ය සංග්‍රහයක් සහ කෙටිකතා සංග්‍රහයක් එළි දැක්වීමට කටයුතු කරමින් සිටිනවා.ඒක තමයි දැනට ලොකුම බලාපොරොත්තුව.
