කාන්තා ආර්ථික ස්වාධීනත්වය නංවන රජයේ වැඩපිළිවෙලට බ්‍රිතාන්‍ය සහය

0
70

බ්‍රිතාන්‍ය, කාන්තාවන්ගේ ආර්ථික ස්වාධීනත්වය සහ ළමා රැකවරණය අගය කරන රාජ්‍යක් බැවින් එම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට අවශ්‍ය පර්යේෂණ සහ විෂය දැනුම සම්පාදනය සඳහා සම්පත්‍දායකත්වය ලබාදීමට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා තම කැමැත්ත පළ කර ඇත.

ඒ, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සහ බ්‍රිතානය මහකොමසාරිස් Andrew Patrick, නියෝජ්‍ය මහකොමසාරිස් Theresa O’ Mahony අතර කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ දී පැවති හමුවක (12) දී ය.

ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශ සහ රැකියා ස්ථාන ආවරණය වන පරිදි ගුණාත්මක දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජාලයක අවශ්‍යතාව රජය සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති බවත් ඒ සඳහා රජය මගින් පවත්වාගෙන යනු ලබන දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳ මූලික සාකච්ඡා සිදු කරමින් සිටින බවත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසා තිබේ.

වර්තමාන ශ්‍රී ලාංකික කාන්තාව ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට එක්වීමට සූදානමින් සිටින අතර ඔවුන් වෙනුවෙන් අවස්ථා නිර්මාණය සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ගෙන යනු ලබන වැඩපිළිවෙළ ද අමාත්‍යවරිය විසින් මෙහිදී විස්තර කර ඇත.

එම වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කිරීම සඳහා සහය අවශ්‍ය අවස්ථාවන් හිදී ඒ වෙනුවෙන් මැදිහත් වීමට තම එකඟතාවය පළකරන බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් Andrew Patrick පවසා තිබේ.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර පවතින ද්වීපාර්ශවීය සබඳතා තව තවත් ශක්තිමත් කරගැනීමට මෙය අවස්ථාවක් වනු ඇති බව තම විශ්වාසය බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා සහ නියෝජ්‍ය කොමසාරිස්වරිය විසින් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here