කාලකන්නි ගෑණු, මුන් “මවු පදවියටත්” සාපයක්, උතුම් මවු පදවිය කෙළසන ගෑණු, මුන්ට හිතක් පපුවක් නැද්ද? මුන්ට කිරි එරෙන්නේ නැද්ද? මෙහෙම comment ලඟදි දැක්කේ ඉපදුන ගමන් අත හැරලා දාලා ගිය දරුවෙක් ගැන ගිය ප්‍රවෘත්තියකට.
මම කේමදාස පදනමට සම්බන්ධ වෙන්න කලින් මේ කොන්සර්ට් එක බලන්න ගියේ 2000 අවුරුද්දේ. මං හිතන්නේ ජනවාරි 25 මාස්ටර්ගේ උපන්දිනේ දවසේ. (මට මතක විදිහට) මේ වීඩියෝව ගොඩාක් පරණයි. නමුත් උඩ සදහන් කළ සිදුවීම වගේ ප්‍රවෘත්ති ජනමාධ්‍යයේ යන වාරයක් පාසා මට මතක් වෙන්නේ “බිළින්දෝ”. ඒක වෙන්නේ සින්දුවට කලින් මාස්ටර් කියන දේත් එක්ක.
ඇයි ගෑනු ඉපදුන ගමන් ළමයිව විසි කරලා යන්නේ? ඇයි ම ර න්නෙ? මනුස්සයෙක්ට තමන්ගේ කුසින්ම වදාපු දරුවෙකුට මෙහෙම කරන්න හිත දෙන්නේ ඇයි? අපි එහෙම හිතන්නේ නැහැ. අපිට තියෙන්නේ වෛරයක් ඇය ගැන.
අපිට තියෙන්නේ අපි මහා ලොකුවට සිංහාසනයක දාලා තියෙන උතුම් “මවු පදවිය” ගැන ඊගෝ එකක්. නමුත් අපි හිතන්නේ නැහැ මනුස්සයෙක් එහෙම වැඩක් කරන්න තරම් මානසිකත්වයක් බිහි වෙන්නේ ඇයි කියලා? එහෙම මානසිකත්ව බිහි වෙන්න, එහෙම අවස්ථා ඇති වෙන්න ඒ මනුස්සයාව තල්ලු කළේ කවුද කියලා?

ගෑණු බඩ කරලා දාලා යන පිරිමි ගැන මේ වගේ ප්‍රවෘත්ති දකින කොට වෛරයක් ඇති වෙන්නේ නැත්තේ ඇයි? ගෑණු මව් පදවිය රකින්න ඕන අතරේ පිරිමි පිය පදවිය රකින්න ඕනේ නැද්ද එතකොට? සමාජයක් විදිහට ලිංගිකව අපයෝජනය වුණ ගැහැණියෙක්ට ළමයෙක් තනියෙන් හදාගන්න පුළුවන් ද අපේ සමාජයේ? නැත්තම් එහෙම අවස්ථාවල පොලිසියට ගියහම දෙමවුපියන් ගෙන්නලා ලිංගික අපයෝජනය කළ පුද්ගලයාටම කසාද බන්දලා දෙන්න ඉඩ දෙන්නේ කොහොමද?
ඒ ගෑනි ජීවිත කාලයටම ලිංගික අපයෝජකයෙක්ගෙන් “නීතිමය අවසරය මත” හැමදාම අපයෝජනය වෙනවා එතකොට. ලඟදි පළ වුණ “ළමා ගැබ් ගැනීම් වැඩි වෙලා” කියන ප්‍රවෘත්තියකට වැඩියෙන්ම comment කරලා තිබුණේ පිරිමි. ඒ අතර තරුණ පිරිමි වැඩි යි. ගිහින් හොයාගෙන බලන්න. කියවන්න. ශිෂ්නයක් ඇතිව ඉපදීමේ තේජස ගැන පොර වදන් දෙන පිරිමින් බලා ගන්න පුළුවන්. ඒ මානසිකත්ව තේරුම් ගන්න පුළුවන්. ඒ පිරිමි එහෙම හිතන්න පොළඹවලා තියෙන සමාජ ක්‍රමය ගැන තක්සේරුවක් ගන්න පුළුවන්.

සත්‍යජිත් මාඉටිපේ ගේ “බොරදිය පොකුණ”, ඉනෝකා සත්‍යාංගනී ගේ “සුළං කිරිල්ලී” වගේ චිත්‍රපටිවල මේ ගැන ගැඹුරින් කතා වෙනවා. ඒත් අපේ සමාජය මේ වගේ කාරණාවලදී සංවේදී වෙන්නේ ගැහැනියකට දෙස් තියලා මිස පවතින සමාජ ක්‍රමයේ තියෙන අසංවේදී කම ගැන නෙමෙයි. පවතින දරිද්‍රතා ආර්ථිකය ගැන නෙමෙයි.
ශ්‍රී ලාංකීය සමාජය කියන්නෙම අනෙකාව විනිශ්චය කරලා, නඩු තීන්දු දීලා, දඬුවම් දෙන තරමට වැටී ඇති මජර සමාජයක් පවතින රටක්. නමුත් ලංකාව විතරක් නෙමෙයි. යටත් විජිතකරණ යුගයේ දැඩි ආගමික විශ්වාස මත ගොඩ නැගුණු, අපිට බලෙන් පටවපු යුරෝපීය වික්ටෝරියා සදාචාරයේ මළ කුණු වල ගඳ තමයි තාම එන්නේ.


Denver Mark ගේ face book පිටුවෙන් උපුටා ගැනිණි.