ගැහැණු කියන්නේ මහ පොළොව වගේ දුක් උහුලන්න ඉන්න කට්ටියක් ද?

    0
    35

    මං ලංකාවේදී කරපු සමහර වැඩසටහන්වලදී මං අහනවා ගැහැණු කියන්නේ කවුද කියලා

    ගැහැණුම කියනවා දරා ගැනීමේ ශක්තිය වැඩි අය කියලා. මං ඇයි කියලා ඇහුවම අපි ගොඩාක් දුක් විඳිනවානේ කියලා කියනවා. ඉතිං ඇයි එහෙම දුක් විඳින්නේ කියලා ඇහුවම ගැහැණියකට දරා ගැනීමේ සුවිශේෂී හැකියාවක් තියනවා කියලා එයාලා ආඩම්බරයෙන් කියනවා.

    එහෙම තමයි ඔබට සමාජය ලණු දීලා තියෙන්නේ. එහෙම නැත්නම් අන්දලා තියෙන්නේ. ගැහැණු ඒක ගිලලා ඉන්නේ. අපිට ගොඩාක් දරා ගන්න පුලුවන් කියන එකේ තේරුම මොකද්ද? ඔබට සමාජය, පවුල, විවාහය අසීමිත දුක් වේදනා ගෙනෙන බව නොවේද? ඒවා දරා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා කියා ඔබ ඒ තැන්වල හිර කිරීම නොවේද? එසේ හිර කර තැබීම මඟින් ඔබ උත්කර්ෂයට නංවා අන්දා තැබීම නොවේද? දිගින් දිගටම ස්ත්‍රී පීඩනය තහවුරු කිරීම නොවේද?

    නැහැ. විශේෂ දරා ගැනීමක් ගැහැණුන්ට නැහැ. එහෙම ඕනෙත් නැහැ.

    අම්මා බත් නොකා දරුවන්ට සැමියාට කන්න දෙන අම්මලා වර්ණණා කරන්න පිරිමින්ට ලැජ්ජා නැද්ද ඇත්තට? අම්මා කෑවද කියලා නොබලන පුතුන් ලැජ්ජා විය යුතුයි. අම්මාගේ බත් පංගුවත් ගිල දමා ඒ ගැන කවි ගී ලියන පිරිමි ලැජ්ජා විය යුතු නොවේද?
    හරියට ඇඟට ඇඳුමක් නැතිව දරුවන්ගේ වියදම් දරන අම්මලා ගැන අන් අය සිතන්නේ කුමක්ද? එයා ගෙදරනේ ඉන්නේ එයාට මොකටද අලුත් ඇඳුම්? ඔබ ද අලුත් ඇඳුම් ඇඳිය යුතුය. කුස්සියෙන් පිට විය යුතුය.

    ඉවීම හැමගේම කාර්යයකි. රෙදි සේදීම ගෙදර සියල්ලන්ගේ කාර්යයකි. ගැහැණු විතරක් ද එවැනි දේවලට දක්ෂ වන්නේ? එසේ නම් විශාල හෝටල්වල උයන සූප වේදීන් ගැහැණු විය යුතුයි නේද? සුප්‍රසිද්ධ ඇඳුම් මසන්නන් ගැහැණු ද? ගෙදර විතරක් මේ සියල්ල ගැහැණිය මත පටවන්නේ ඇයි? ඒ අප පුරුදු කර ගත් ආකල්පයන්ය.

    කුස්සියට ළිප මුල්ලට ජීවිතය දිය කර හැරීම ස්ත්‍රීන් දැන්වත් නැවැත්විය යුතුය. වහල්භාවයෙන් මිදිය යුතුය. තමා දක්ෂ දෙයක් තුළින් තම ජීවිකාව සපුරා ගත යුතුය. පිරිමින් මත යැපීම නවතා දැමිය යුතුය. එවිට අනන්ත දුක් කන්දරාවක් උහුලන්නට සිදු නොවනු ඇත.ආර්ථික සුරක්ෂිතතාව ගැහැණියකට අත්‍යාවශ්‍ය ජීවන අංගයකි. සැමියන්ගෙන් ගුටිකමින් ජීවත්වන උගත් රැකියාවැති ගැහැණු පවා කොයි තරම් ද?

    ඔබ තවෙකෙකුගේ හිංසනයේ ගොදුරක් වන්නේ ඇයි? එහෙම ගුටි කමින් මහා පොළොව සේ දුක් උහුළමින් ජීවත් වීම නමැති උත්කර්ෂය ඔබට අවශ්‍ය ද?
    මේ දුක් සියල්ල අපට සමාජය ලබා දුන් දේවල්ය. එයින් මිදීම ඇත්තේ අප තුළය.

    ඔබ මහා පොළොව සේ දුක් උහුලන්නියක් නොවන්න. ඔබේ දියණියට ඒ පරවේණී උරුමය නොදෙන්න. වැඩ බෙදා ගන්න. ජීවිතය සරල කර ගන්න.
    ඔබට දුක් ඉසිලීමට විශේෂ ධාරිතාවක් ඇතැයි සිතන ම්ලේච්ඡ සාමාජ ආකල්ප පරදවන්න. නිදහස් ගැහැණියක වන්න. 
        

    සංජීවනී රූපසිංහ –Sanjeewani Rupasinghe

    ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
    දර්ශන අධ්‍යයන අංශය,
    කැලණිය විශ්ව විද්‍යාලය.

    (උපුටා ගැනීම : තරුණි පුවත්පත)

    mirrorarts.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here