සාර්ථක පවුලකට නැතිවම බැරිදේ දන්නවාද?

    0
    89

    “මම කසාද බැඳලා තවම තවම අවුරුදු තුනයි. අපට අවුරුද්දක් වයස බබෙක් ඉන්නවා. ඉස්සර මගේ මහත්තයා මට හරි ආදරෙයි. ඒත් එයා දැන් වෙනස් වෙලා. මං ගැන එච්චර ගාණකුත් නෑ. ගෙදර ඉන්නකොට බබාව නම් සුරතල් කරනවා. ඉස්සර මෙයා මට ගෙදර වැඩවලටත් උදව් කළා. දැන් එහෙමත් නෑ. දවසක් මට මෙයාගෙ ෆෝන් එකේ තිබුණු මෙසේජස් වගයක් අහු වුණා. දැන් ටික කාලයක ඉඳන් එයා ඒ ගෑනු කෙනාත් එක්ක චැට් කරන බව ඒක බැලුවම මට ⁣තේරුණා. ඒක අහුවුණු දා ඉඳලා තමයි අපි අතරෙ මේ ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තෙ” මේ කවුන්සලින් එකකට ආපු කාන්තාවක් කී කතාවක්.


    උපදේශකවරයා ඇගෙන් මෙලෙස ඇසුවා.
    “ඒ මෙසේජස්වල හැටියට ඒ දෙන්නා අතරේ සාමාන්‍ය සම්බන්ධතාවයකට එහා ගිය අනියම් සම්බන්ධකමක් වගේ දෙයක් ඇඟවෙනවාද?”
    “හැබැයි එහෙමම දෙයක් තේරෙන්නෙත් නෑ “
    “ඔයා මේ මෙසේජස් ගැන ඔයාගේ මහත්තයගෙන් ඇහුවද?”
    “අපොයි ඔව්”
    “එයා මොකද කිව්වේ?”
    “ඒ ළමයා උදේට යි රෑටයි gm, gn කියනවලු. වරින්වර චැට් කරල තොරතුරු අහනවලු. ඊට වඩා දෙයක් නෑ කියනවා”
    “එයාගේ මීට කලින් අනියම් සම්බන්ධතා මොනව හරි තිබිලා තියෙනවද?”
    “මම දන්න තරමට නම් නෑ ඩොක්ටර්”
    “ඔයාට එයාව මග ඇරුණද? මම මේ අහන්නේ ඉස්සර වගේ ඔයා එයා ගැන සොයා බලන එක, එයාට දක්වන අවධානය අඩු වුණාද?”
    “ඒක නම් ඉතින් නෑ කියන්න බෑ. ඒ කියන්නේ අපේ පුතා ලැබුණට පස්සේ මට එයා ගැන හොයන්න බලන්න නම් වෙලාවක් ඇත්තෙම නැති තරම්. මම ජොබ් එක කරන්නත් එපායැ ඩොක්ටර්”
    “ඒ අතපසු වීම පවුල් ජීවිතය පැත්තෙන් ඒ තරම් යහපත් නැති බව ඔයා පිළි ගන්නවද?”
    “ඉතින් ඩොක්ටර් අපේ දරුවා මගේ විතරක් නෙමෙයිනේ එයාගෙත් දරුවනේ. එයානේ දරුවාගේ තාත්තා”
    අපි මේ ගැටලුව ගැන අවධානය යොමු කරමු.

    දරුවකු බිහි කළාට පස්සේ ඕනෑම මවකට ඒ මුල් කාලයේදී අනික් හැමදේකටම වඩා වැදගත් වෙන්නේ තමන්ගේ දරුවාව. ඇය හැමවිටම දරුවාට මුල් තැන දෙනවා විතරක් නෙවෙයි ඇගේ සියල්ලම ඊට පස්සේ තීරණය වෙන්නේ දරුවා කේන්ද්‍ර කරගෙනයි. ඒකට හේතුවකුත් තියෙනවා.

    මවගේ ආදරය සහ අවධානය දරුවකුගේ කායික මානසික වර්ධනයට ඉතා අවශ්‍යයි. ජීව විද්‍යාත්මක වශයෙන් කාන්තාවක් තමන්ගේ සැමියාට දක්වන අවධානයෙන් මිදී දරුවා වෙතටම යොමුවීමට මෙයද එක හේතුවක් වන අතර එය සොබා දහම විසින් ලෝකයේ පැවැත්ම උදෙසා කාන්තාවට ලබා දී තිබෙන දෙයක්.

    තවත් හේතුවක් තමයි දරුවකු බිහි කර ටික කාලයක් යනතුරු කාන්තාවක් තුළ ලිංගික ආශාවන් ඇති නොවීම. සොබා දහම මගින් එවැනි තත්ත්වයක් උරුම කරදී තිබෙන්නේ නැවත ඉක්මනින් දරුවකු පිළිසිඳීමට ඇති අවකාශය මගහරවාලීමටයි.

    මවගේ පැත්ත මෙහෙම වුණාට පියාගේ පැත්ත මීට වඩා වෙනස්. මවට වගේම පියාටත් දරුවා එකසේ වටිනවා. මව වගේම පියාත් දරුවාට ඇති සෙනෙහසෙහි කිසිදු අඩුවක් නෑ. නමුත් මෙහි යම් ආකාරයක වෙනසක් පවතිනවා. ඒ තමයි මවට තමන්ගේ මුළු ලෝකයම දරුවා නිසා ලිංගික අවශ්‍යතා හීන වී ගියාට පියාට එහෙම වන්නේ නෑ.

    විවාහයක් කියන්නේ සමාජ විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක අවශ්‍යතාවක්. නමුත් දෙදෙනෙක් කායිකව එකතු වීම කියන්නේ ජීව විද්‍යාත්මක අවශ්‍යතාවක්. මෙලෙස දෙදෙනකු කායිකව එකතු වීම තුළ දරුවන් බිහිකිරීමට එහා ගිය මානසික අවශ්‍යතාවක් පවතිනවා. ඒ තමයි සතුට. මේ සතුට කියන දේ අඹු සැමියන්ට මග හැරෙන්නේ ගෙදර තිබෙන විවිධ ප්‍රශ්න නිසා. ඒවා ආර්ථික ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න වැනි ඕනෑම දෙයක් විය හැකියි. හොඳට සිතා බලන්න විවාහක අඹුසැමි යුවලක් නිතරම ගෙදරදි කතා කරන්නේ තමන්ට තියෙන ප්‍රශ්න ගැන නෙවෙයිද කියලා. නමුත් ඒ දෙදෙනා තමන්ගේ සතුට, තමන්ගේ අවශ්‍යතාවන් ආදී වශයෙන් වූ විවිධ හැඟීම් ගැන කතා කරන්න තමන්ගේ කාලයෙන් කොයිතරම් ප්‍රමාණයක් වෙන් කරනවද? ඔබ විවාහක නම් හොඳට කල්පනා කරලා බැලුවොත් ඔබටම වැටහේවි එහෙම දෙයක් වෙන්නේම නැති තරම් බව.


    හැඟීම්වලින් දෙදෙනෙක් දුරස් වන විට ඔවුන් එකිනෙකාව රුස්සන්නේ නැති තත්ත්වයට පත්වෙනවා. මෙහිදී දෙදෙනාටම දැනෙන්නේ තමන් තුළ නොරිස්සුමක් තිබෙන බව පමණයි. නමුත් ඒ නොරිස්සුමට හේතුව ඔවුන්ටම වැටහෙන්නේ නෑ. හරියටම කිව්වොත් අපට අපේ මානසික අවශ්‍යතාවන් ගැන නිවැරදි අවබෝධයක් නෑ වගේම අනෙකාගේ මානසික අවශ්‍යතාවන් ගැන අවබෝධයකුත් නෑ. ලිංගික එක්වීම්වලින් එකිනෙකාගෙන් හොඳින් තෘප්තියට පත්වන අඹුසැමියන් අතර පවා හැඟීම්වලින් බැඳී නැති අය සිටින බව කිව්වොත් ඔබ එය පිළිගන්නවාද? නමුත් ඒක සත්‍යයක්. ඒකට හේතුවක් තිබෙනවා.

    මානසික තෘප්තිය කියන දේ ලිංගික එක්වීම් තුළින්ම ලැබෙන දෙයක් නොවෙයි. “එයාව මට දැනෙනවා” කියලා කවුරු හරි අඹුසැමි යුවළකට එකිනෙකා ගැන කියන්න පුළුවන් නම් එතැන මානසික තෘප්තිය පවතිනවා.

    අපි බුද්ධිය මනින්නේ IQ (Intelligence Quotient) එකෙන් බව ඔබ දන්නවා. ඒ වගේම චිත්තවේගී බුද්ධිය (Emotional intelligence හෙවත් Emotional quotient) යනුවෙන් හැඟීම් පිළිබඳව මැන බලන ක්‍රමයකුත් තිබෙන බව සමහරවිට ඔබ නොදන්නවා ඇති. මේ EQ හෙවත් චිත්තවේගී බුද්ධිය අඩු වුණාම අපට තමන්ගේ හැඟීම් දැනෙන්නෙත් නෑ, ඒ වගේම අනික් අයගේ හැඟීම් දැනෙන්නෙත් නෑ. ඔබ ආදරය හරිහැටි විඳ තිබෙනවා නම් ඔබට ඔබේ හැඟීම් ගැන දැනෙනවා වගේම අනික් අයගේ ආදරය සහ හැඟීම් ද තේරුම් ගන්නට හැකි වෙනවා. හැඟීම් තුළින් තමයි බැඳීමක් ඇතිවන්නේ. හැඟීම් ගැන කතා නොකර බුද්ධිය ගැන කතා කරලා වැඩකුත් නෑ. ආදරය, දුක, සතුට, තරහ යන මේ හැම දෙයක්ම හැඟීම්. ඒ නිසා බුද්ධි මට්ටම ඉහළ ගිය පමණින් ම කෙනෙකුගේ ජීවිතයක් සාර්ථක වන්නේ නෑ. හොඳ සමාජ සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නට හැකි වන්නේ අනික් අයගේ හැඟීම් ගැන අවබෝධයක් තියෙනවා නම් විතරයි. මේක සමාජ ජීවිතයට වගේම පවුල් ජීවිතයටත් අදාළ යි.


    අපි නැවතත් පවුල් ජීවිතය පැත්තට හැරුණොත් සතුට, දුක, තරහ, කළකිරීම, ඊර්ෂ්‍යාව ආදී වශයෙන් වූ ඕනෑම හැඟීමක් තමන්ට දැනෙන්නේ මොන වගේ හේතූන් උඩද කියලා හඳුනා ගන්න යම් සැමියෙකුට හෝ බිරිඳකුට හැකියාව තියෙනවා නම්, තමන්ගේ සැමියාගේ හෝ බිරිඳගේ එවැනි හැඟීම් අවබෝධ කරගන්න ඔවුන් එකිනෙකාට හැකි වෙනවා. අනික් අයගේ හැඟීම්වලට සංවේදී නොවන්නේ චිත්තවේගී බුද්ධියක් නැති විටයි. අඹුසැමි දෙදෙනා අතර ඉතා යහපත් සම්බන්ධතාවක් තිබෙන විට දෙදෙනා අතර හැඟීම් බෙදා ගන්නට හැකි වෙනවා. අඹුසැමියන් දුක සැප බෙදා ගන්නවා කියන්නේ මේකට. යුවළක් එකිනෙකා අතර ආදරය වගේම දුකත් හුවමාරු කරගන්න ඕනේ. නමුත් බොහෝ විට සිදු වන්නේ තරහක්, වෛරයක් ඇතිවුණාම එම තරහ සහ වෛරී හැඟීම් හුවමාරු කර ගනිමින් ගැටුම් ඇති කර ගැනීම පමණයි. ආදරය දැනෙන විටත් එය දෙදෙනා අතර හුවමාරු කර ගන්නවා නම් මොන තරම් මිහිරි හැඟීම් ඒ දෙදෙනාට ඔවුනොවුන් කෙරෙහි ඇති වෙයිද?

    අපේ සමාජයේ බොහෝ දෙනෙක් ආදරය ගැන කතා කරන්නේ විවාහ වීමට පෙරයි. විවාහයෙන් පසු ආදරය ගැන කතා කරන එක අඩු වෙනවා වගේම විවාහකයන් බොහෝ දෙනෙක් එකිනෙකාට ආදරය පෙන්වන්නේද කායිකව එකතු වන අවස්ථාවල දී පමණයි. නමුත් දෙදෙනා තුළ චිත්තවේගී බැඳීම ඇති විට ඉතා මිහිරි සහ සුන්දර අයුරින් එකිනෙකාට තම ආදරය බෙදා හදාගන්න හැකි වෙනවා. පවුල් ජීවිතයක සාර්ථකත්වය තියෙන්නේ එතැන යි.

    මනෝ චිකිත්සක උපදෙස්-
    ප්‍රවීන මනෝචිකිත්සක ආචාර්ය සුරංග අමරකෝන්

    ඉන්දු පෙරේරා

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here