මාලිනිය අමරණීය කළ බ්‍රිස්බෙන් හි ‘පිච්චර් පිස්සෝ’

0
26

“එදා දවසේ මාලිනිය නැති වුණා කියලා අපි දැන ගත්තේ මුහුණු පොතින්. උපමාලිකා අක්කත් මමත් මාලිනී ෆොන්සේකා මහත්මිය නැති වුණා කියලා දැන ගත්තාම හරියට දුක්වුණා. ඇත්තම කිව්වොත් අපි ඇගේ ‘පිච්චර් පිස්සෝ. අපි කුඩා කාලේ ඉදලම ඇගේ චිත්‍රපට බැලූ අය. යොවුන් වියේදීත් එහෙමයි .අපි තවමත් ඇගේ චිත්‍රපට බලනවා. ඒ මතකය හරිම සුන්දරයි. මාලිනි අක්කා ඔස්ට්‍රේලියා ආව ගමන්වලදි අපට හමුවුණා. අපේ හිත්වල ඇය වෙනුවෙන් පුදුමාකාර ආදරයක් තියෙනවා.

ඒ ආදරේ කිසිදා වෙනස් වෙන්සේ නැහැ. මාලනී ෆොන්සේකා වෙනුවෙන් මොනවද කරන්නේ කියලා අපි දෙන්නා එදා කතා වුණා. අපි මෙහෙදී ලංකාවේ අය වෙනුවෙන් බොහෝ සමාජ සේවා වැඩ කරනවා. අපි විවිධ සංගම් නියෝජනය කරනවා. නමුත් අවසානයේ අපි දෙන්නා තීරණයකට ආවා ඇය වෙනුවෙන් ප්‍රසංගයක් තියලා ඒ ලැබෙන මුදල් වකුගඩු සංගමයට ලබාදෙන්න. ඇය අපේ සිනමාවට මහා බරක් තියෙන නිළියක්. සිනමාව කර්මාන්තයක් විදිහට ඉදිරියට ගෙන එන්න ඇගෙන් ලැබුණ සහය අපමණයි.

ඔන්න ඔය අරමුණුත් එක්ක තමයි අපි මේ ප්‍රසංගය සංවිධානය කළේ. ගීත ගයන්න තිස් දෙදෙනකු තෝරා ගත්තා. ඒ වගේම චිත්‍රපටවල ඒ ගීත ඇතුළත් ජවනිකා පිටුපස තිරයේ ප්‍රචාරය වුණා. එදා ඒ ප්‍රසංගයට 375ක පමණ පිරිසක් සහභාගි වුණා. එදා ප්‍රසංගයේ ශිල්පීන් හැඩවුණේ 60,70 දශකවල නළු නිළියන් හැඩවුණ විදිහට.

එදා තියපු ප්‍රසංගයට පැමිණි හැමෝම පැහැදුණා. ප්‍රසංගය අවසානයේ ලැබුණ මුදල් වකුගඩු සංගමයට දෙන්න අපට ඕන වුණා. ඒ වගේම අපිට ඕන වුණා මාලිනි මහත්මියගේ පවුලේ කෙනෙක් සම්බන්ධ කරගන්න. තරුණි පුවත්පතේ හිටපු කතුවරයකු වුණ ගාමිණී සමරසිංහ මහත්මයා තමයි අපට ඒ සම්බන්ධතාව හදලා දුන්නේ. ඔහුව අපට හඳුන්වලා දුන්නේ තිලානි විතානගේ සොයුරිය. මාලිනියගේ නංගිලා වන දමයන්ති ෆොන්සේකා හා ශ්‍රියානී ෆොන්සේකා සමඟ අපි කතා කළා.

දමයන්ති ඒ වෙලාවේ මාලිනිය වෙනුවෙන් පිළිරුවක් හදන්න සූදානම් වන බව කිව්වා. අපි කිව්වා පිළිරුව අපි හදලා දෙන්නම් කියලා. මාලනී අක්කාට ප්‍රතිකාර කළ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා හරහා වකුගඩු සංගමයටත්, මාලිනි අක්කා වෙනුවෙන් පිළිරුව කරන්නත් අපි මැදිහත් වුණේ එහෙමයි.

මේ කාර්යයයේදී ආසිරි බණ්ඩාර සහෝදරයා ලංකාවට ගිහිල්ලා භාරත වීරසිංහ කියන ප්‍රතිමා නිර්මාණ ශිල්පියාව හමුවුණා. මෙම ප්‍රතිමාව නිර්මාණය කරද්දි භාරත වීරසිංහ මහතා සමඟ කිහිප අවස්ථාවකම අපි කතා කළා. පසුගියදා බොරැල්ල කනත්තේදී මාලිනිය වෙනුවෙන් විවෘත කළේ අන්න ඒ පිළිරුව. මේ පිළිරුව තවත් දශක ගණනාවක් මේ මහපොළොව මත තියේවී. ඇය අපේ සිංහල සිනමාවේ හැමදාමත් ජීවමානයි.

මේ කාර්යයේදී විශේෂයෙන් මතක් කළ යුතුයි සංගීතය සැපයිමෙන් දායක වුණ සරත් හපුගොඩ, ආසරි බණ්ඩාර, ප්‍රියංග ප්‍රේමරත්න, උපමාලිකා කරුණාසේන යන අයව.“

මාලිනිය වෙනුවෙන් ඉදිකළ ඒ ප්‍රතිමාව වටා වූ කතාව වසර විසිපහක් තිස්සේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් හී වෙසෙන සිවිල් ඉංජිනේරුවරියක වන චන්ද්‍රකාන්ති පැවසුවේ එසේය.

“මාලිනී අක්කාට මම හැමදාමත් ආදරෙයි. ඇගේ වියෝව අපට දරාගන්න අමාරුයි. චන්ද්‍රකාන්ති නංගිටයි මටයි ඇය මියගියා කියලා දැන ගත්තාම එය දරාගන්න හරි අමාරු වුණා. මාලනීය වියෝ වී දවස් දෙකක් ඇතුළත තමයි මේ ප්‍රසංගය කරන්න, ඇය වෙනුවෙන් යමක් කරන්න සූදානම් වුණේ. ඇය වෙනුවෙන් කරන්න පුළුවන් දේ අපි කළා. ඒ තමයි අපේ ආදරය. අපි මේ හැමදේම කළේ මාලිනී අක්කා වෙනුවෙන්. බ්‍රිස්බෙන් රසික කැල තමයි ඇය වෙනුවෙන් මෙවැනි දෙයක් කරන්න එක්වුණේ. මේ කාර්යයයේදී අපිට උදවු කළ සැමට බොහෝම ස්තුතියි“

වෘත්තියෙන් ඉංජිනේරුවරියක වන උපමාලිකා කරුණාසේන එලෙස පැවසුවේ මාලිනිය වෙනුවෙන් ඇගේ සිතේ උපන් දුක කඳුළ සිනහව පෙරදැරිවය.

rasanduna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here