ශ්‍රී ලංකා නාමය රනින් බැබළවූ වෛද්‍යවරිය

0
23

මෙවර තුර්කියේ පැවැති Miss Aura International – 2026 ශ්‍රී ලාංකේය අපට සුවිශේෂී තරගයක් විය. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වුණු වෛද්‍ය දෙවීනා නවීක්ෂි අවසන් 20 දෙනා අතරට තේරී පත්වූ අතර හොඳම ජාතික ඇඳුමට හිමි රූ කිරුළ ද දිනා ගත්තාය. Miss Aura International තරග ඉතිහාසයේ ජයග්‍රාහී ශ්‍රී ලාංකේය නාමය රන් අකුරින් සනිටුහන් වුණු පළමු අවස්ථාව ද මෙයයි.

ශ්‍රී ලංකාව නියෝජනය කළ තරගකාරිනිය වෛද්‍යවරියක් වීම ද Miss Aura International – 2026 තරගය පුරා කැපී පෙනෙන්නට විය. Aura තරග ඉතිහාසයේ වෛද්‍යවරියක් තරග වැදුණු පළමු අවස්ථාව ලෙසද එය ඉතිහාසයට එක්වනු ඇත. ලාංකේය ඉතිහාසයේ සුවිශේෂී සංකේතයක් වන ගුරුලා සංකල්පය යොදා ගනිමින් ජයග්‍රාහී ජාතික ඇඳුම නිර්මාණය කරන ලද්දේ ඇඳුම් නිර්මාණකරණයේ ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් හිමිකරගත් වෙදගේ නාමල් විසිනි.

ජයග්‍රාහී කිරුළත් සමඟින් ලංකාවට පැමිණි දෙවීනා තම අත්දැකීම අප හා බෙදාගත්තාය.

Miss Aura International – 2026 පැජන්ට් එක මෙවර තුර්කියේ අන්තල්‍යා නගරයේ පැවැත්වුණේ 20 වැනි වරට. තරගය පැවැත්වුණේ මැයි 10 වැනිදා සිට 22 දක්වා.

“රටවල් හතළිහකට වඩා ඉදිරිපත් වෙලා හිටියා. ශ්‍රී ලංකාව නියෝජනය කළේ මං. Miss Aura International – 2026 කිරුළ හිමිවුණේ චෙක් රාජ්‍ය නියෝජනය කළ තරගකාරිනියට. මට අවසන් විසිදෙනා අතරට එන්න හැකියාව ලැබුණා. ශ්‍රී ලාංකේය තරගකාරිනියක් අවසන් 20 අතරට ආපු පළමු අවස්ථාවත් මේක. ඒක මට ලොකු සතුටක්. ඊට අමතරව හොඳම ජාතික ඇඳුමට හිමි රූ කිරුළ දිනාගැනීමේ හැකියාව ලැබුණා.

තරග ඉතිහාසයේ ඒ වගේ ජයග්‍රහණයක් ලබාගත් පළමු අවස්ථාවත් මේක. මගේ ජාතික පුහුණුකරු විදිහට කටයුතු කළේ දමිත් අංජු සර්. අපිට තිබුණේ ඉන්ටෙලිජන්ට් රවුන්ඩ් එක, ස්විමින් වෙයාර් රවුන්ඩ් එක වගේම කොස්ටියුම් රවුන්ඩ් එක. ඊට අමතරව ඔවුන්ගේ චැරිටි වැඩසටහනක් තිබුණා. ඒක පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල පුහුණුවක් වගේ.“

තම පළමු ජාත්‍යන්තර ජයග්‍රහණය ගැන දෙවීනා පැවසුවේ මෙවැන්නකි.

“ජාතික ඇඳුම නිර්මාණය කළේ වෙදගේ නාමල් අයියා. ඔහු දැනටමත් ජාත්‍යන්තර ඇඳුම් නිර්මාණයේ ජයග්‍රහණ රැසක් හිමිකරගෙන තියෙන කෙනෙක්. මට මෙහෙම නැෂනල් කොස්ටියුම් එකක් ඕන කිව්වම මුලින්ම ඔහු අදහස් කිහිපයක්ම ඉදිරිපත් කළා. ඒ අතරින් මං ගොඩක්ම කැමති වුණේ ගුරුලා කියන සංකල්පයට. අපේ ඉතිහාසයේ ගොඩක්ම කියවෙන පක්ෂියෙක්. අපි දෙන්නගෙම අදහස් අනුව නිර්මාණය වුණු ඇඳුමේ බර කිලෝ විසිතුනක් වුණා. තරගයේදී එය ඇඳගන්න සිදුවුණෙත් තනියම. ඇවිදින විදිහ, පෆෝම් කරන විදිහ ගැන නාමල් අයියා වගේම තරගයේ ජාතික අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරන දමිත් අංජු සර් කියල දුන්නා. ස්විමිං වෙයාර් රවුන්ඩ් එකට වගේම ඊවිනින් වෝක් එක පුහුණු කළෙත් සර්.“

හොඳම ජාතික ඇඳුම තේරීමේ තරගය එළිමහනේ පැවතුණු නිසා යම්තාක් දුරකට අභියෝගයක් වූ බව පැවසූ දෙවීනා කෙසේ හෝ ජයග්‍රහණය හිමිවීම ගැන තුටින් පසුවන්නීය.

“නැෂනල් කොස්ටියුම් රවුන්ඩ් එක තිබුණේ එළිමහන් තැනක. කිලෝ 23ක බරක් උස්සගෙන පෆෝම් කරන එක ලේසි වුණේ නැහැ. ඇඳුම ගොඩක් උස නිසා සුළං හමද්දී හිස කෙළින් තියාගන්න අමාරු වුණා. ඒ වගේම තටුවලට සුළං අල්ලන නිසා අත්තටු විහිදුවමින් පෆෝම් කරන්නත් අපහසු වුණා. ඒවා තමයි අභියෝග විදිහට මතුවුණේ. ජයග්‍රහණය හිමිවීම විශාල සතුටක්.“

මෙවන් සුවිශේෂී ජයග්‍රහණයක් උදෙසා උදවු උපකාර කළ පිරිස සිහිපත් කළ ඇය ඔවුන් සැමටම තම හෘදයාංගම ස්තුතිය පුද කළාය.

“විශේෂයෙන්ම මගේ පවුලේ අය මගේ මේ ජයග්‍රහණය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා. ඒ වගේම දමිත් අංජු සර් මට හැමදේම කියල දුන්නා. මට මේ හැම ජයග්‍රහණයකටම පදනම වැටුණු මගේ පාසල මාතර සුජාතා බාලිකාවත් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම කරාපිටිය මගේ වෛද්‍ය පීඨයේ යාළුවෝ. “ඔයාගෙ ආසාවනේ ඔයා ඒක කරන්න“ කියමින් මාව ධෛර්යමත් කළ ඩීන් සර්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා.“

මාතර සුජාතා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන දෙවීනා කරාපිටිය වෛද්‍ය පීඨයෙන් බිහිවූ වෛද්‍යවරියකි. වෛද්‍ය ශිෂ්‍යාවකව සිටියදී ශ්‍රී ලංකාවේ පැවැති Miss Diamond Queen International තරග ජයග්‍රහණයත් සමඟින් Miss Aura International – 2026 තරගයේ ශ්‍රී ලංකා නියෝජනය සඳහා සුදුසුකම් ලබාගත් ඇය ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකා නාමය රනින් බබළවන්නට සමත් වීම ලාංකේය අපටද ගෞරවනීය ආඩම්බරයකි.

rasanduna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here