බොහෝ දෙනෙක් හිතුවේ මගේ නමේ කොටසක් දාලා ‘නන්දනීය පෙම‘ ලිව්වා කියලා

0
4

“නන්දනීය පෙම සැඬ රළු

දියඹ වෙස් වලා

නින්ද පාවෙලා නෙතදර

නුඹ හරස් වෙලා”

ප්‍රවීණ ගායන ශිල්පි සේනානායක වේරලියැද්ද ගයන මේ ගීතය ලියන්නේ ප්‍රවීණ ගී පද රචිකා ලේඛිකා නන්දා උඩවත්තය. කලකට පෙර ලියැවුණු මේ ගීතය ගැන ඇය අදත් පසුවන්නේ සතුටිනි.

“ඒ, වේරලියැද්ද මහතා ගායන ක්ෂේත්‍රයට පැමිණි මුල්කාලය. මට සින්දු කිහිපයක්ම ලියන්නට අවස්ථාව ලැබුණා. ඒ කාලේ බොහෝ දෙනෙක් හිතුවේ මම මගේ නමෙන් කොටසක් දාලා ගීතය ලිව්වා කියලා. මගෙ හිතට ආව සැණින් මම පද පෙළ ලිව්වා. එහෙම නැතිව හිතලම මගෙ නම එතැනට යෙදුවේ නෑ. ඒ වචන එක්ක හරි අපූරුවට ‘නන්දනීය’ කියන වචනය ගැළපුණා. එපමණයි.

අදත් රසිකයෝ හරිම ආදරයෙන් මේ ගීතය විඳිනවා. මේ ගීතය ලියන කාලයේ මට කාර්යාල මට්ටමින් බොහෝ කලකිරීම් තිබුණා. එවැනි පසුබිමක සිටයි මම මේ ගීතය ලියන්නේ. ‘නන්දනීය පෙම’ කියන වචනය යෙදුවේ සතුට ගෙනදුන් ප්‍රේමය කියන අදහසින්. වේරලියැද්ද ගායන ශිල්පියාත් මේ පද පෙළට බොහෝම කැමැති වුණා. ඒ වගේම මම ඔහුට තවත් ගීත කිහිපයක් ලියුවා. ඒ ගීතත් ඉතාම ජනප්‍රිය වුණා.”

ඇය මේ ගීතයේ හිමිකාරිය බව ඇතැම් කෙනකු නොදන්නවා විය හැකිය. හේතුව කිසිම විටෙක ගී පද රචකයා පිළිබඳ නොලියැවෙන බැවිනි. වසර ගණනාවකට පසු නන්දා උඩවත්ත නම් වූ ඇය සමඟ අපි ඈ ගැන කතා කරන්නට සිතුවා. ඒ, මේ වන විට ඇය තවත් නිර්මාණ කාර්යයකට අතගසා සිටින බැවිනි.

“මම පසුගිය දවස්වල තවත් අලුත් ගීත දෙකක්ම රචනා කළා. එකක් බොදු බැති ගීතයක්. අනෙක් ගීතය ‘තාත්තා’ ගැන. සිය පුතු පැමිණෙන තුරු බලා සිටින වයෝවෘද්ධ තාත්තා කෙනකු ගැන කියැවෙන ‘ලෙඩ අප්පච්චි‘ ගීතය. මේ ගීත දෙකම සංගීත නිර්මාණය කළේ විශාරද අජිත් ජයවීර මල්ලි. ඔහු මට කිව්වා අක්කේ මේ ගීත දෙකම ඔයා ගයන්නකෝ කියලා. මම පාසල් වියේදි ගීත ගායනා කරලා තියෙනවා. හැමෝම මගෙ කටහඬ ඒ යුගයේ අගයලා තියෙනවා. මටත් හිතුණා ‘ලෙඩ අප්පච්චි’ කියන ගීතය ගයන්න. මේ වන විට ඒ ගීතය සඳහා හොඳ ඇගයීමක් ලැබෙනවා.“

රැකියාව කරන අතරතුරම තම නිර්මාණ හැකියාවන් ඔප කරගත් නන්දා නතාෂා පෙරේරා ළමා ගායිකාවට ‘රෑන් රෑන් සමනලි, වක්කඩ ළඟ වෙල් නියරේ‘ යන ගීත ලියන්නීය. ඇනෙස්ලි නානායක්කාර, වසන්තා තිලකාංගනි, ඒ.එල්.බී. කන්දෙපොළ, කුසුම් හේරත්, කාන්ති පෙරේරා ආදි ගායන ශිල්පීන්ට ද ගීත නිර්මාණය කරන්නීය. මේ වනවිට ඇය විසින් ගීත දෙසිය පනහක් පමණ රචනා කර ඇත.

කිවිඳියක ලෙස සිය නිර්මාණ දිවිය ඇරඹූ නන්දා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එක් වන්නේ 1979 වසරේදීය. ඒ, තාක්ෂණික නිලධාරිනියක ලෙසිනි.

“1979 ගුවන්විදුලි සංස්ථාවට බැඳුණට පස්සේ මම ක්‍රියාකාරි සහායිකාවක් ලෙස කටයුතු කරනවා. විවිධ වැඩසටහන්, කාන්තා වැඩසටහන් ආදියට එක්වන්න ලැබෙන්නේ තාක්ෂණික නිලධාරිනියක ලෙස. මම ඒ අතරම එකල ගුවන්විදුලියෙන් විකාශනය වුණු කාන්තා වැඩසටහන්වලට කවි, ගීත ලිව්වා. ඒවා ප්‍රචාරය වුණා. ඔය අතර 1990 අවුරුද්දේ මට රජරට සේවයට ස්ථාන මාරුවක් ලැබෙනවා. අන්න ඒ රජරටට ගිය ගමනෙදි තමයි මට මගේ නිර්මාණ කටයුතු වඩාත් සාර්ථක කර ගන්න ලැබෙන්නේ.

ඒ කාලේ රජරට සේවයේ අපේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ නියුටන් ගුණසේකර මහතා. ඔහු මට බොහෝ වැඩ පැවරුවා. කාව්‍ය වැඩසටහන්, ළමා වැඩසටහන්, බෞද්ධ වැඩසටහන් ආදි බොහෝ දේ කරන්නට එහිදී අවස්ථාව ලැබුණා. ඒ අතර තමයි මට ළමා ගීත බොහොමයක් ලියන්න ලැබුණේ.

මුලින්ම මම ළමා පොත් තුනක් කළා. ‘නුවණක මහිම, වමට ගිහින් ගෙටම ඇවිත්, අපූරු තෑග්ග‘ කියන පොත් ලියා පළකළා. එකල රජරට සේවයට කවි ලියූ අයගේ හොඳම නිර්මාණ එක්කර ‘පෑදි නදිය’ කාව්‍ය සංග්‍රහය පළකළා.”

“මම ගීත ලිව්වට කවදාවත් ගීතවලින් හම්බ කරල නැහැ. මට එහෙම වුවමනාවකුත් නැහැ. මට ඕන වුණේ මගේ හිතේ මතුවන අදහස් ලියලා ඒවා මගේ රසිකයන්ට අහන්න දෙන්න විතරයි. මේ වන විට නවකතා, කෙටිකතා, ළමා ගීත, ළමා පොත් දාසයක් පමණ ලියා පළකර තියෙනවා. 2023 වසරේ ‘පින්සිරිගේ ළමයි’ හා ‘සුළැඟිල්ලේ එල්ලී’ කියන පොත් දෙක කුලියාපිටියේදී ජනගත කළා. ‘පින්සිරිගෙ ළමයි’ පොතට වයඹ සාහිත්‍යය සම්මානය හිමිවුණා. කාර්යය බහුල ජීවිතයක් ගත කරමින් වුණත් නිර්මාණ කටයුතුවල නියැළෙන්න ලැබීම සතුටක්.” නන්දා සිය ජීවිතයේ ආපස්ස දෙස බලමින් පවසන්නීය.

“මගෙ අම්මා හෙට්ටිආරච්චිගේ සුමනාවතී. තාත්තා උඩවත්තගේ චාර්ලිස් අප්පුහාමි. මගේ පවුලේ සහෝදර සහෝදරියන් අට දෙනයි. මම පවුලේ හතරවැනියා. මම මුලින්ම ගියේ කුලියාපිටිය අනුක්කරේ ප්‍රාථමික විද්‍යාලයට. ඉන් පස්සේ නක්කාවත්ත මහා විද්‍යාලයට. අවසානයට ගියේ කිරින්දව විද්‍යාකර මහා විද්‍යාලයට. මම කලාවට යොමුවුණේ පාසල් වේදිකාවෙන්. විද්‍යාකර විද්‍යාලයේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගන්න කාලේම තමයි කැලෑ මලක් නවකතාව ලිව්වේ. නිර්මාණ කරන්න, ලියන්න, නිර්මාණ රසවිඳින්න මගේ පාසලෙන් මෙන්ම ගෙදර පරිසරයෙනුත් විශාල සහායක් ලැබුණා. ඒ නිසයි අද දක්වා මට මෙතරම් දුරක් එන්නට ලැබුණේ.”

සිය සැමියා, දරුවන් හා මව සමඟ නිවිසැනසිලි දිවියක් ගත කරන නන්දා ජීවිතයේ එදා මෙදා ගැන පවසන්නේ බොහෝ සතුටෙනි.

rasanduna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here