සරසවි ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි සියුමිණී ඔපයංගි

0
4

“ඉතින් අපි ආ දුර බොහෝමයි

දරාගෙන අපි අපිවම

හිතේ ගැඹුරුම තැනක ලිව්වා

මගේ ප්‍රේමය නුඹටම…..”

ඒ පහුගිය කාලය පුරා බොහෝ දෙනාගේ මුවඟ රැව්දුන් ජනප්‍රියම ගීතයක පද පෙළකි. මේ වන විට එය යූටියුබ් නැරඹුම් වාර මිලියන හත ඉක්මවා තිබීම ගීතයේ ජනප්‍රියත්වය අදටත් අඩුවක් නොවන බව හඟවන්නකි. ‘නුඹේ උණුසුම් හාදුවෙන්‘ ලෙස නම් කර ඇති ගීතය ‘ඉතින් අපි ආ දුර බොහෝමයි‘ ලෙස වීඩියෝ ක්ලිප්ස් ඔස්සේ ප්‍රචාරය වීමද ගීතය ජනප්‍රිය වීමට අමතර හේතුවක් වී ඇත. ළයාන්විත ගීත ගායනය නව පරපුරේ දක්ෂ ගායන ශිල්පිනියක වන සියුමිණී ඔපයංගිය. සරසවි ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායිකාවක ලෙස මේ වනවිට ඉතාම ජනප්‍රිය සියුමිණී අද අප හා කතාබහට එක්වූවාය.

ආදරයේ සියුම් තැන් පද පෙළකට කැටිකර තම සැමියාගේ උපන්දිනයට තිළිණ කිරීමට සිතූ හර්ෂණී එය හදවතට දැනෙන අයුරින් ගායනා කිරීමට තෝරාගෙන තිබුණේ ළයාන්විත හඬක් හිමි සියුමිණී ඔපයංගිය. ඒ ගැන සියුමිණී අප හා පැවසුවේ මෙවන් කතාවකි.

“නුඹේ උණුසුම් හාදුවෙන් ගීතය ලියන්නේ හර්ෂණී අධිකාරී අක්කා. හර්ෂණී අක්කට ඕන වෙලා තිබුණේ ඇගේ සැමියාගේ උපන්දිනයට පුදුම හිතෙන තෑග්ගක් විදිහට මේ ආදරණීය ගීතය තෑගි කරන්න. ඇය මට කතා කරද්දිත් ගීතයේ පද පෙළ ලියවිලා තිබුණා විතරයි. මෙහෙම පද පෙළක් තියෙනවා ඒක ගීතයක් බවට පත්කරලා සැමියාගේ උපන්දිනයට තෑග්ගක් විදිහට දෙන්න ඕන කියලයි ඇය මට කිව්වේ. ඇය මගේ ගීත රසවිඳලා මගේ හඬට ආස නිසයි මාව තෝරගෙන තිබුණේ.

ඊට පස්සේ තමයි ගීතය හැදුණේ. ගීතයට සංගීතය මුසු කළේ කපිල අපරැක්ක අංකල්. එදා උපන්දිනේ දවසේ ගීතය ගයලත් අවුරුද්දක් විතර අපි ගීතය ප්‍රසිද්ධ මාධ්‍යයේ දැම්මේ නැහැ. එහෙම දාන්න ඕන කියන අදහසක් තිබුණෙත් නැහැ. පස්සේ දවසක කපිල අංකල්ගෙ අදහසකට අනුව මියුසික් වීඩියෝ එකක් කරලා ගීතය රිලීස් කළා. ‘විෂුවල් විලේජ්‘ එකේ විෂුවල් එක කළේ ලෂේන් අයියා.

අපේ ආසාවට කළ එකක් නිසා විෂුවල් එකට හිටියෙත් මම. රිලීස් කරලා සති දෙක තුනක් යනකල් සාමාන්‍ය විදිහට ගීතය ඇහුණා. ඔහොම ටික ටික ඇහෙද්දි තමයි මේක ටික් ටොක් එකේ, ෆේස් බුක් එකේ පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් විදිහට යන්න ගත්තේ. පස්සේ දිගින් දිගටම සමාජ මාධ්‍යවල වයිරල් වෙන්න ගත්තා. පස්සෙ පස්සේ ‘හිතින්’ අපි ආ දුර බොහෝමයි කියන කොටසත් එක්ක විවිධ විදිහට වීඩියෝ නිර්මාණය බිහිවෙන්න පටන් ගත්තා.

ඒ ඔස්සේත් ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. හර්ෂණී අක්කා මේ පද පෙළ ලියල තිබුණේ එයාලගේ ආදරය ගැන කියන්න වුණත් සමහර අය ඒක විරහව පැත්තටත් යොදාගෙන තිබුණා. ඒ වගේම තවත් අය අම්මා, තාත්තගේ සෙනෙහසටත් යොදාගෙන තිබුණා.

අදටත් මගේ නම සඳහන් කරලා වීඩියෝ ක්ලිප්ස් වයිරල් වෙනවා. වැඩසටහනකට ගියත් අනිවාර්යයෙන්ම මේ ගීතය කියන්න ආරාධනා ලැබෙනවා. මගේ ගීතවල ස්වභාවයත් එක්ක එළිමහන් ප්‍රසංගවලට නම් ආරාධනා ලැබෙනවා අඩුයි. නමුත් ලංකාවේ හැම කැම්පස් එකකම පැවැත්වෙන ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. හිතාගන්න බැරි තරම් ප්‍රතිචාරත් ලැබෙනවා. ඒ ගැන හරිම සතුටුයි.“

සිරස වොයිස් ටීන් සීසන්- 1 ඔස්සේ ක්ෂේත්‍රය හඳුනාගත් සියුමිණී මේ දක්වා ආ ගමන විස්තර කළේ ඉමහත් සතුටකිනි.

“2020 වසරේ සිරස වොයිස් ටීන් සීසන් -1 තරගයේ අර්ධ අවසන් වටය දක්වා ආවා. තරගයෙන් ඉවත් වෙනවත් එක්කම ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ආරාධනයෙන් වලා තීරයෙන් එහා ගීතයට කවර් වර්ෂන් එකක් කළා. ඒක ගොඩක්ම ජනප්‍රිය වුණා. මං ක්ෂේත්‍රය හඳුනාගත්තේ ඒ හරහා. වලා තීරයෙන් එහා කවර් වර්ෂන් එක මේ වෙද්දි යූටියුබ් මිලියන 12 ඉක්මවා නරඹලා තියෙනවා. එවන් ප්‍රවීණයෙක් යටතේ මගේ ගමන ආරම්භ කරන්න ලැබීමම මගේ වාසනාවක්. ඊට පස්සේ මගේම ගීත දහයකට වඩා කරලා තියෙනවා. ගොඩක්ම ජනප්‍රිය වුණේ නුඹේ උණුසුම් හාදුවෙන් ගීතය. ඊට පස්සේ සංසාරේ පුරාවට, උදුලෝල, මා ඉන්නවා ගීතත් ජනප්‍රිය වුණා. සොයා එන්නෙමී ගීතය ලියලා මෙලඩි දැම්මේ මගේ තාත්තා විනේෂ් කරුණාතිලක. ඒ වගේම අයියත් එක්ක ‘දැවෙනවා‘ නමින් යුග ගීතයක් කළා.

මේ දිනවල රෝහණ වීරසිංහ සර් එක්ක මං ගීතයක් කරනවා. ඉතාම ඉක්මනින් ඒකත් අහන්න ලැබේවි. ඒ වගේම මට ගැළපෙන ගී පද රචනා රැසක් ලැබිල තියෙනවා. ඒවත් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා.“

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක වන සියුමිණීට ඇත්තේද කලාව හා බැඳුණු පවුල් පසුබිමකි.

“මම උසස් පෙළට කළෙත් සංගීතය. මේ අවුරුද්දේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරිලා ඉන්නවා. මගේ තාත්තා සංගීත ගුරුවරයෙක්. අම්මා චිත්‍ර ගුරුවරියක්. අයියත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ. අපේ පවුලම කලාවට සම්බන්ධයි.“

මෙවර රයිගම් ටෙලීස් සම්මාන උලෙළේ වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව බවට පත්වූ සියුමිණී පස් වසක ක්ෂේත්‍රයේ ලද අත්දැකීම් තම ගමනට පන්නරය කර ගත්තාය.

rasanduna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here