සයිබර් ලෝකයේ ශ්‍රී ලංකා නාමය රන් අකුරින් සටහන් කරමින් ශ්‍රී ලංකා පරිගණක හදිසිප්‍රතිචාර සංසදය එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි

0
26

ලෝක සයිබර් ආරක්ෂණ සංසදය මගින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල පැවැත්වුණේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ය. සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයට කාන්තාවන් අලුතින් පිවිසීම, ඔවුන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කිරීම සහ වෘත්තීය ඉදිරිගමන උදෙසා කැපවී ක්‍රියාකරන ජාත්‍යන්තර ආයතන ඇගයීම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණ විය.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී හිමිවූ මෙම ජාත්‍යන්තර සම්මානය, නිල වශයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසිප්‍රතිචාර සංසදය වෙත පිළිගැන්වීමේ විශේෂ උත්සවයක් පසුගියදා ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහිදී ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය, ඉංජිනේරු එරංග වීරරත්න එම ආයතනය වෙනුවෙන් මෙම සම්මානය නිල වශයෙන් භාර ගන්නා ලදී.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ටී. ආර්. වරුණ ශ්‍රී ධනපාල, ශ්‍රී ලංකා පරිගණක හදිසිප්‍රතිචාර සංසදයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කනිෂ්ක කරුණාසේන, එහි අධ්‍යක්ෂ නිරෝෂ් ආනන්ද සහ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු තිනුරි තිසේරා යන පිරිසද සහභාගී වූහ.

වර්තමාන ලෝකයේ සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ පවතින ප්‍රවීණයන්ගේ හිඟයට පිළියමක් ලෙසත්, කාන්තාවන්ගේ දායකත්වය වැඩිදියුණු කරමින් වඩාත් සමබර හා සක්‍රීය ඩිජිටල් බලකායක් නිර්මාණය කිරීමටත් ශ්‍රී ලංකාව ගන්නා මෙම උත්සාහය ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්වීම පැසසුම් කටයුතුය. ලෝක සයිබර් ආරක්ෂණ සංසදය සහ එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය එක්ව දියත් කරන දෙවසරක ගෝලීය වැඩසටහනට ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ සහයෝගය ද හිමිව ඇති අතර, එමගින් ප්‍රායෝගික වෘත්තීය මාර්ග සපයමින් සයිබර් ක්ෂේත්‍රයට පිවිසීමට කැමති ලොව පුරා කාන්තාවන්ට නව බලාපොරොත්තුවක් ලබා දෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here