නැගී එන රටවල කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය හර්ෂිතා සමරවික්‍රමට

0
13

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙම තරගාවලියට ප්‍රබල ක්‍රීඩිකා චමරි අතපත්තු එක් නොවනු ඇත. ඒ අනුව හර්ෂිතා සමරවික්‍රම නායකත්වයට පත්ව ඇති අතර, කවිෂා දිල්හාරි උපනායිකාව ලෙස කටයුතු කරනු ලබයි. චමරි අතපත්තු ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ස්වරූපය කෙබඳු වේදැයි අත්හදා බැලීමට මෙම තරගාවලිය හොඳ අවස්ථාවක් වනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.

චමරි අතපත්තුට අමතරව ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ සංචිතයේ සිටි හංසිමා කරුණාරත්න, අනුෂ්කා සංජීවනී, නිමාෂා මීපගේ, කාව්‍යා කාවින්දි සහ මිථාලි අයෝධ්‍යා යන ක්‍රීඩිකාවන් ද මෙම සංචිතයට ඇතුළත් කර නොමැත. ඔවුන් වෙනුවට සත්‍යා සන්දීපනී, රශ්මිකා සේව්‍වන්දි, මල්කි මදාරා සහ චේතනා විමුක්ති සංචිතයට කැඳවා ඇත. වයස අවුරුදු 37 සහ 35 පසුවන නිලක්ෂිකා සිල්වා සහ සුගන්දිකා කුමාරි හැරුණු විට වයස අවුරුදු 30 සීමාව පසුකර ඇති එකම ක්‍රීඩිකාව වන්නේ 31 හැවිරිදි හසිනි පෙරේරාය. සංචිතයේ සෙසු ක්‍රීඩිකාවන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 21ක් පමණ වන බැවින්, මෙම තරගාවලියට එක්වන වඩාත්ම තරුණ කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාව කැපී පෙනෙයි.

අවුරුදු 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් දැක්වූ දක්ෂතා නිසාවෙන් ශ්‍රී ලංකා වයස 17න් පහළ ක්‍රීඩිකා සංජනා කාවින්දිද ද චමුදි ප්‍රබෝධා ද සංචිතයේ සිටී. ඉමේෂ් මධුෂානි, විශ්මි ගුණරත්න, කවිෂා දිල්හාරි, හසිනි පෙරේරා, නිලක්ෂිකා සිල්වා, කෞෂිණී නුත්‍යංගනා සහ සත්‍යා සන්දීපනී පිතිකරණ අංශය ශක්තිමත් කරති. පන්දු යැවීමේ අංශයෙන් මල්කි මදාරා, චේතනා විමුක්ති සහ රශ්මිකා සේව්‍වන්දි වේගපන්දු යවන්නියන් ලෙස කණ්ඩායමට ඇතුළත් කර ඇත. සත්‍යා සන්දීපනී සහ නිලක්ෂිකා සිල්වාටද මාධ්‍යම වේගපන්දු යැවීමේ හැකියාව පවතී. සුගන්දිකා කුමාරි සහ චමුදි ප්‍රබෝධා දඟපන්දු යැවීමේ ප්‍රධාන කාර්යභාරය ඉටුකරන අතර, කවිෂා දිල්හාරි off break පන්දු යවන්නියක ලෙස සහාය දක්වනු ඇත.

නැඟී එන රටවල තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය

  1. හර්ෂිතා සමරවික්‍රම (නායිකා)
  2. කවිෂා දිල්හාරි( උපනායිකා)
  3. සංජනා කාවින්දි
  4. ඉමේෂා දුලානි
  5. හසිනි පෙරේරා
  6. විශ්මි ගුණරත්න
  7. නිලක්ෂිකා සිල්වා
  8. කෞෂිණී නුත්‍යංගනා
  9. සත්‍යා සන්දීපනී
  10. රශ්මිකා සේව්‍වන්දි
  11. සුගන්දිකා කුමාරි
  12. චමුදි ප්‍රබෝධා
  13. මල්කි මදාරා
  14. චේතනා විමුක්ති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here