ලබන වසරේ සිට 2 සහ 6 ශ්රේණි සඳහා නව විෂය මාලාවන් හඳුන්වා දීමට පියවර ගන්නා බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ අද (18) පැවැති බදුල්ල දිස්ත්රික් කාන්තා සම්මේලනයට එක්වෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්යවරිය සඳහන් කළේ, මෙරට සියලු දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වත්මන් රජය නව අධ්යාපන ක්රමවේදයක් සකස් කර ඇති බවයි. විභාග ඉලක්ක කරගත් සිසුන් වෙනුවට අනාගත අභියෝගයන්ට සාර්ථකව සහ විශ්වාසයෙන් මුහුණ දිය හැකි පරපුරක් බිහිකිරීම රජයේ ප්රධාන අරමුණ බවද ඇය අවධාරණය කළාය.
එමෙන්ම අධ්යාපන ක්ෂේත්රයේ ගුරු පුරප්පාඩු පිරවීම පිළිබඳව අදහස් දැක්වූ ඇය, ගුරුවරුන් 17,000 ක් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2026 නොවැම්බර් 20 වනදා ආරම්භ වන බව පැවසුවාය. ඊට අමතරව විශ්වවිද්යාල පද්ධතිය සඳහා අධ්යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් 2,000 ක් බඳවා ගැනීමට අනුමැතිය හිමිවී ඇති අතර, ලබන වසරේ පෙබරවාරි වන විට සමස්ත අධ්යාපන පද්ධතියටම නව ගුරුවරුන් 30,000 ක් පමණ බඳවා ගැනීමට සැලසුම් කර ඇත. පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහාද විශේෂ වැඩසටහනක් ක්රියාත්මක කරන බව අග්රාමාත්යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
සටහන | කල්පනී ෂමල්කා
මූලාශ්රය Adaderana.lk




