ජාත්‍යන්තර රූ රැජින වේදිකාවක ශ්‍රී ලංකා නාමය ලෙස ඔසවා තබමින්, පිලිපීනයේ ලැපු-ලැපු නගරයේ පැවැත්වුණු 43 වැනි Miss Asia Pacific International 2026 තරගාවලියේදී සන්දීපා සෙව්මිණි ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට සමත් වී තිබේ.
මෙහි වඩාත්ම කැපී පෙනෙන කාරණය වූයේ, ලෝකයේ විවිධ රටවලින් පැමිණි දක්ෂ තරගකාරියන් අභිබවා යමින් ‘Best in National Costume’ තරග අංශයෙන් විශේෂ සම්මානය ඇය විසින් දිනා ගැනීමයි. ශ්‍රී ලංකාවේ ජාතික සංකේතයක් වන මොනරාගේ අලංකාරය සහ ගම්භීරත්වය කැටි කරමින් ප්‍රසිද්ධ විලාසිතා නිර්මාණ ශිල්පී චානුක ද සිල්වා විසින් නිර්මාණය කරන ලද මෙම ඇඳුම, ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩලයේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේද දැඩි අවධානයට හා පැසසුමට ලක් වී තිබේ. මෙම ජයග්‍රහණයත් සමඟම ඇයට තරගාවලියේ මුල් Top 25 දෙනා අතරට සෘජුවම පිවිසීමේ අවස්ථාවද හිමි විය.
මෙම ජයග්‍රහණයට අමතරව, තරගාවලිය පුරා ඇය දැක්වූ දක්ෂතා සහ අන්තර්ජාලය ඔස්සේ ලැබුණු අතිමහත් ජනප්‍රියතාව මත ‘People’s Choice’ සහ ‘Rising Favorite’ යන උප සම්මාන දිනාගැනීමටද සන්දීපා සමත් වූවාය.
මීට දශක හතරකට වැඩි කාලයකට පෙර, 1981 වසරේදී රෝසි සේනානායක මහත්මිය විසින් Miss Asia Pacific කිරුළ ශ්‍රී ලංකාවට රැගෙන එමින් තැබූ ඓතිහාසික සන්ධිස්ථානය මෙහිදී සිහිපත් කරනු වටී. 1965 වසරේදී Ester Cheryl da Silva (1st Runner-up), 1982 දී Sharon de Jong (3rd Runner-up) සහ 2017 දී Hasini Samuel විසින් Darling of the Press සම්මානය ලබාගනිමින් මෙකී වේදිකාවේ තැබූ ශ්‍රී ලාංකේය සලකුණට තවත් පරිච්ඡේදයක් එක් කරමින්, වසර 45 ක විරාමයකින් පසු 2026 දී රටේ නම නැවතත් ජාත්‍යන්තරය හමුවේ බැබළවීමට සන්දීපාට හැකි වී තිබේ.
Missosology Sri Lanka ෆේස්බුක් පිටුව ඇසුරෙන්
සටහන | කල්පනී ෂමල්කා




