” අනුන් නිර්මාණය කරන අච්චුවලට වැටෙන්න මට ඕනෑ නැහැ. නායකත්වය කියන්නේ අනෙකාට අනුගත වීම නෙවෙයි, තමන්ගේ සුදුසුකම සහ හැකියාව ගැන විශ්වාසයෙන් ඉදිරියට ඒමයි! “- ඩීනා තිසේරා
රූ රැජින වේදිකාවෙන් ඇරඹි ගමනක්, වෛද්‍ය විද්‍යාව සහ මහජන සෞඛ්‍ය විෂයයන් ඔස්සේ ගොඩනැගී, අවසානයේ බ්‍රිතාන්‍යයේ සංක්‍රමණික ප්‍රතිපත්තිවලට පවා අභියෝග කරමින් ස්කොට්ලන්ත දේශපාලන ඉතිහාසය නැවත ලියන්නට තරම් ප්‍රබල විය හැකිද? එය සපථ කරන පිළිතුරක් වන්නේ ඩීනා තිසේරා යි.
වසර 15ක දීර්ඝ හා කටුක දේශපාලන ගමනකින් පසු, ස්කොට්ලන්තයේ ඇබඩීන් (Aberdeen) නගර සභාවට තේරී පත් වූ පළමු ආසියාතික කාන්තාව මෙන්ම පළමු ශ්‍රී ලාංකික නියෝජිතවරිය බවට පත්වෙමින් ඇය තැබූ වාර්තාව, ජාත්‍යන්තරයේ ශ්‍රී ලාංකේය නාමය ඉහළින්ම සටහන් කළ එකකි.
ඩීනාගේ කුඩා විය
හලාවත ප්‍රදේශයේ උපත ලැබූ ඩීනාගේ පියා ප්‍රකට වෛද්‍යවරයකු, ව්‍යවසායකයකු මෙන්ම සමාජසේවකයෙකි. ඇගේ මව රූ රැජිනක මෙන්ම සිනමා රංගන ශිල්පිනියකි. British School in Colombo හි අධ්‍යාපනය ලබා, පහසුකම් සහ වරප්‍රසාද පිරි පසුබිමක වැඩුනද, පියාගේ සමාජසේවා කටයුතු නිසා යුද්ධයේ අඳුරු සෙවනැලි සහ දිළිඳුකමේ යථාර්ථය ඇය කුඩා කල සිටම දෑසින් දුටුවාය.
“මා වටා විශාල පහසුකම් තිබුණත්, මා දුටුවේ දිළිඳුකමයි. පියා මට ඉගැන්වූයේ වරප්‍රසාදිත වීම ගැන වරදකාරී හැඟීමක් ඇති කරගත යුතු නැති බවත්, නමුත් ඒ සමඟ විශාල වගකීමක් පැවරෙන බවත්ය.”
ඩීනා මතකය ආවර්ජනය කරන්නේ එලෙසිනි.
දේශපාලනයට පාර කැපූ හැරවුම් ලක්ෂ්‍යය

ඩීනාගේ ජීවිතය වෙනස් කළ සිදුවීම සිදුවූයේ ඇයට වයස අවුරුදු 24දීය. ඇගේ පියාගේ අභාවය නිසා විශ්වවිද්‍යාල විභාගයට පෙනී සිටීමට ඇයට නොහැකි විය. ඇය සම්බන්ධයෙන් පියාගේ එකම සිහිනය වූයේ ඇගේ අධ්‍යාපනය සම්පූර්ණ කිරීම වුවද, විභාගයට පෙනී නොසිටීම නිසා ඇගේ උපාධිය ප්‍රමාද වන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම් දුන්නේය.
එහෙත් ඩීනා පසුබැස්සේ නැත. ඇය තනිවම විශ්වවිද්‍යාල පාලක මණ්ඩලය හමුවට ගොස් තමා වෙනුවෙන් තර්ක කළාය. සටන් කළාය. අවසානයේ ජයගත්තාය.
” එදා මට තේරුණා මං වගේම තමන් වෙනුවෙන් සටන් කරන්න කෙනෙක් නැතුව අසරණ වුණු තවත් දහස් ගණන් සිසුන් ඉන්නවා කියලා. මම මං වෙනුවෙන් කරපු සටන, අන් අය වෙනුවෙන් කරන සටනක් බවට පත්වුණේ එතැනින්.” ඩීනා පවසන්නීය.
ඇය ඒ ලැබූ ශක්තියෙන් ඇය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ උප සභාපතිවරිය ලෙස තේරී පත් වූවාය. පසුව බ්‍රිතාන්‍යයේ සංක්‍රමණික නීති නිසා ජාත්‍යන්තර සිසුන්ට සිදුවන අසාධාරණයන්ට එරෙහිව රට පුරා විශාල සංවිධානාත්මක ව්‍යාපාරයක් ගොඩනැගීමට ඇය මූලිකත්වය ගත්තාය.
රූ රැජිනක්, විද්‍යාඥවරියක් සහ දේශපාලනඥවරියක්

තමන්ගේ සිත්කළු පෙනුම සහ දේශපාලන පරිණතබව එකට ගෙන යා නොහැකි යැයි සිතන සමාජයට ඩීනා දුන්නේ අපූරු පිළිතුරකි. ‘Miss Sri Lanka for Miss World’ තරගයට එක්වූ ඇය, වෛද්‍ය විද්‍යාව (Medical Science) සහ ගෝලීය සෞඛ්‍යය (Global Health) පිළිබඳ උපාධි ලබා, මහජන සෞඛ්‍යය පිළිබඳ ආචාර්ය උපාධිය (PhD) දක්වා අධ්‍යාපනය ලැබුවාය.
” සමහර අය හිතනවා කාන්තාවක් වුණාම තමන්ගේ අලංකාරය හැංගිය යුතුයි කියලා. මට රූ රැජින තරගයකට යන්නත් පුළුවන්, ඒ වගේම රටක ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරන්නත් පුළුවන්!” ඩීනා පවසයි.
ඇබඩීන් විශ්වවිද්‍යාලයේදී ලේබර් පක්ෂයට (Labour Party) සම්බන්ධ වූ ඇය, වසර 15ක් පුරා ගෙයින් ගෙට යමින්, ජනතාව සංවිධානය කරමින්, පරාජයන් සහ ජයග්‍රහණ මැද ආ ගමන කෙළවර වූයේ 2022දී ඇබඩීන් නගර සභාවේ හිල්ටන්, වුඩ්සයිඩ් සහ ස්ටොකෙතිල් ආසන ජයග්‍රහණය කරමිනි.
“නායකත්වයට එකම පෙනුමක් නැත”

දේශපාලනයේ ඉහළටම යද්දී ඇයට තමන්ගේ සමේ පැහැය, ස්ත්‍රී පුරුෂ භාවය සහ අනන්‍යතාව නිසා වක්‍ර බාධාවන්ට මුහුණ දීමට සිදු විය. බොහෝ විට සුදුසුකම් සපිරි දීප්තිමත්ම තැනැත්තිය ඇය වුවද, නායකත්වයේ සාම්ප්‍රදායික පූර්ව විනිශ්චයන්ට ඇය අයත් වූයේ නැත.
අවුරුදු 39ක් වන ඩීනා තවමත් අවිවාහකය. සමාජයේ සම්ප්‍රදායික මතවාදවලට ඇය දෙන්නේ සෘජු පිළිතුරකි: “අවිවාහක බව කියන්නේ සිවිල් තත්ත්වයක් විතරයි. ඒක මගේ ජීවිතයේ සාර්ථකත්වය මනින Performance Review එකක් නෙවෙයි.” මේ ඩීනාගේ මතයයි.
අද වන විට ලේබර් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරිය මෙන්ම හිටපු අගමැති ගෝඩන් බ්‍රවුන්ගේ ‘Our Scottish Future’ කොමිසමේ උපදේශකවරියක ලෙසද ඇය කටයුතු කරන්නීය. ස්කොට්ලන්තයේ නැගී එන දේශපාලන තරු 35 අතරටත්, වසරේ දේශපාලනඥයා සම්මානයටත් ඇගේ නම යෝජනා විය.
තරුණ ශ්‍රී ලාංකික සහ සංක්‍රමණික කාන්තාවන්ට ඇයට දීමට ඇත්තේ එකම පණිවිඩයකි.
“තව කෙනෙකුට ඔයාව දකින ආකාරය ගැන තියෙන පූර්ව විනිශ්චයන් නිසා, ඔයාගේ අභිලාෂයන් සහ හීන කවදාවත් කුඩා කරගන්න එපා!”
ස්කොට්ලන්තයේ තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා වීම තමන්ට විශේෂ වන්නේ, ඊළඟට එන ශ්‍රී ලාංකිකයාට ‘පළමුවැනියා’ වීමට අවශ්‍ය නොවන නිසා බව ඇය පවසන්නීය.
“ස්කොට්ලන්ඩ්කාරයෙක් වෙන්න මට මගේ ශ්‍රී ලාංකිකකම නැති කරගන්න ඕන වුණේ නැහැ. දේශපාලනිකව බරපතල කෙනෙක් වෙන්න මගේ කාන්තා අභිමානය යටපත් කරන්න ඕන වුණෙත් නැහැ. එක කාලයක් තිබුණා මටත් මේ මේසයේ අසුනක් අයිතියි කියලා මම අනිත් අයට ඔප්පු කරන්න හදපු. ඒත් අද මම ඒ මේසයට යන්නේ මට ඒ අසුන හිමියි කියන පූර්ණ විශ්වාසයෙන්!”
ඩීනා අවසන් වශයෙන් පවසන්නීය.
The Island වෙබ් පිටුව ඇසුරෙන්
සටහන | කල්පනී ෂමල්කා




