අනුරාධපුර රෝහල් සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ් – සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙක් පෙනී නොසිටියි

0
21

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.


එදිනට සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ද අධිකරණය නියෝග කර තිබේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්, මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර ට තවදුරටත් නියෝග කර ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනී නොසිටියේය.  

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළේ ගල්නෑව නව නගරයේ ඩී.3 ඇල පාර පදිංචිකරුවෙකු වන නිලන්ත මඳුරංග රත්නායක නමැති හිටපු යුද හමුදා සෙබළෙකු මෙන්ම බෞද්ධ හිමිනමක ලෙස සිටි පුද්ගලයෙකි.

මෙම අපරාධය සිදුකිරීමෙන් අනතුරුව සැකකරු පොලීසිය හා විශේෂ කාර්ය බළකා ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබුවේ ගල්නෑව නිදිකුම්භායාය ප්‍රදේශයේදීය.

මේ අතර මෙම සැකකරුට නවාතැන් පහසුකම් ලබාදෙමින් රැකවරණය ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුගේ වැඩිමහල් සොහොයුරිය ද මෙමස 17වනදා දක්වා රිමාන්ඩ්  භාරයට පත්කර සිටින්නීය.

සැකකරු විසින් පැහැරගත් වෛද්‍යවරියගේ ජංගම දුරකථනය සොයා ගැනීමට මෙතෙක් පොලිස් කණ්ඩායම්වලට නොහැකි වූ බව වාර්තා වේ.

දුරකථනය සෙවීමේ විමර්ශන අතරතුරු සැකකරුගේ නිවසේ සිදුකල පරීක්ෂා කිරීමකදී පාත්තරයක් තුළ සඟවා තිබූ ජීව අත්බෝම්බයක්, සිවුරක් සහ වටාපතක් සොයාගෙ ඇති අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇත.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා වහාම ඉවත්කෙරේ

මේ අතර පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්.එම්.අයි.යූ. කරුණාරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ.

පොළොන්නරුව රෝහලේ වත්මන් රාජකාරිවලට අමතරව වෛද්‍ය කරුණාරත්න අනුරාධපුර ශික්ෂණ රෝහලේද කටයුතු ආවරණය කරනු ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් ඊයේ මෙම පත්වීම සිදුකර ඇත.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය දුලාන් සමරවීර වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමෙන් පසුව නව පත්වීම සිදුකර ඇති බව වාර්තා වේ.

අප කළ විමසීමකදී, වෛද්‍ය දුලාන් සමරවීර සඳහන් කළේ මේ පිළිබඳව කිසිවක් තමන් නොදන්නා බවයි.

theleader

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here