‘කාන්තාව අනුකම්පාව නොව අයිතිවාසිකම් සහ ගෞරවය හිමි සක්‍රීය හවුල්කරුවෙක්’ – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

0
43

ශ්‍රී ලාංකේය සමාජයේ සහ ආර්ථිකයේ සැබෑ ජීවය වන කාන්තාව, හුදු ප්‍රතිලාභියෙකු ලෙස පමණක් නොව රටේ සංවර්ධනයේ සක්‍රීය හවුල්කරුවෙකු ලෙස සලකා ඇයට හිමි ගෞරවය සහ අවස්ථා ලබා දීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  පවසයි.


2026 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙවර ප්‍රකාශයට පත් කර ඇති “Rights. Justice. Action. For ALL Women and Girls” (සියලු කාන්තාවන්ට සහ දැරියන්ට හිමි අයිතිවාසිකම් ලබාදීම, යුක්තිය ඉටු කිරීම හා ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වීම) යන ගෝලීය තේමාව අවධාරණය කරමින් ඇය පෙන්වා දෙන්නේ, කාන්තාව පවුල තුළ මෙන්ම සමාජය තුළ ඉටු කරන මෙහෙවර අද වන විට රටක අනාගතය තීරණය කරන තීරණාත්මක සාධකය බවට පත්ව ඇති බවයි.

රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් කාන්තාවන් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවත්, ගෘහණියක් ලෙස ඇය සපයන ආර්ථික දායකත්වය අගය කරමින් කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීමටත්, ස්වයං රැකියාවල නිරත වීමට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය පහසුකම් පුළුල් කිරීමටත් රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. 

එමෙන්ම පොදු ප්‍රවාහනයේදී, සේවා ස්ථානයේදී සහ පවුල තුළ කාන්තාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන නීතිමය රාමුව ශක්තිමත් කිරීම මෙන්ම ජාතික මට්ටමේ සිට ප්‍රාදේශීය මට්ටම දක්වා තීරණ ගන්නා ආයතන තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම රජයේ ප්‍රධාන අරමුණු අතර වන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

කාන්තාව යනු අනුකම්පාව බලාපොරොත්තු වන පිරිසක් නොව ඇය බුද්ධියෙන්, දරාගැනීමේ ශක්තියෙන් සහ නිර්මාණශීලිත්වයෙන් පිරිපුන් සමාජීය පාර්ශවකරුවෙකු බව පවසන අග්‍රාමාත්‍යවරිය, කාන්තාවකට බියෙන් සැකෙන් තොරව මාවතක ගමන් කළ හැකි, ඇයගේ දක්ෂතාවට නිසි ඇගයීමක් ලැබෙන සහ ගෞරවනීය ජීවිතයක් ගත කළ හැකි “පොහොසත් රටක්” නිර්මාණය කිරීම තම අරමුණ බව අවධාරණය කළාය.

සියලු ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ යහපත් සිහින සැබෑ වන සහ ඔවුන්ගේ අභිමානය ලොවට විදහා දක්වන නව යුගයක ආරම්භය ලෙස මෙම කාන්තා දිනය සැමරේවායි අග්‍රාමාත්‍යවරිය සිය සුබපැතුම් පණිවිඩය මගින් ප්‍රාර්ථනා කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here