සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලියේ අවසන් තරගය අද (30) රාත්‍රී 7.00ට තිරුවානන්තපුරම්හිදී පැවැත්වේ.
මේ වන විට සත්කාරක ඉන්දීය පිල 4-0ක් ලෙස තරගාවලිය ජය ගෙන සිටින බැවින් ශ්‍රී ලංකා පිලට අද 5-0ක අවමන් සහගත පරාජයකින් ගැලවීමේ සටනක නිරත වීමට සිදුව තිබේ.
මේ දෙපිල අතර තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලියක් පැවැත්වෙන දෙවැනි අවස්ථාව මෙය වන අතර, මින් පෙර දෙපිල අතර 2018 වසරේ තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලියක් පවත්වා තිබේ. එහිදී ඉන්දියාව 4-0ක ජයක් වාර්තා කර තිබුණේ එක් තරගයක් විසඳුමකින් තොරව නිමා වීම හේතුවෙනි. එබැවින් පූර්ණ පරාජයකින් වැළකීමට ශ්‍රී ලංකා පිලට අද තරගය ජය ගැනීම අනිවාර්ය වී තිබේ.
මේ අතර පිතිකාරිනියන්ගේ සටනක් බවට පත් වූ දෙපිල අතර සිවුවැනි විස්සයි20 තරගයෙන් ඉන්දීය පිලට ලකුණු 30ක ජයක් අත් විය. මේ තරග සංචාරයේදී පළමු වරට ප්‍රතිවාදීන්ට සටනක් දීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූ මේ තරගයේදී දෙපිලම සිය විස්සයි20 තරග බිමේ ඉහළම ලකුණු වාර්තා කිරීමට කැපී පෙනිණි.
තිරුවානන්තපුරම්හිදී පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල කඩුලු 2ක් දැවී රැස් කළ ලකුණු 221 හඹා ගිය ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 191ක් රැස් කළේය.
සිය 150 වැනි ජාත්‍යන්තර විස්සයි20 තරගයට එක් වූ නායිකා චමරි අතපත්තු ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමට සාර්ථක ආරම්භයක් දුන්නේ පන්දු 37කදී හතරේ සහ හයේ පහර 3 බැගින් එල්ල කරමින් ලකුණු 52ක් රැස් කරමිනි. එය ඇයගේ 14 වැනි විස්සයි20 අර්ධ ශතකය විය. පන්දු 33කින් ලකුණු 59ක් එක් කරමින් චමරිට අනගි සහායක් දීමට හසිනි පෙරේරා සමත් වූයේ පන්දු 20කින් ලකුණු 33ක් රැස් කරමිනි.
ඉන් නොනැවතුණු චමරි දෙවැනි කඩුල්ලට ඉමේෂා දුලානි (29) සමඟින් ද ලකුණු 57ක සබඳතාවක් ගොඩනැඟුවාය. හර්ෂිතා සමරවික්‍රම පන්දු 13කින් ලකුණු 20ක් සහ නිලක්ෂිකා ද සිල්වා පන්දු 11කින් නොදැවී ලකුණු 23ක් රැස් කළ ද ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවිණි. පන්දු යැවීමේදී විශ්නාවි ශර්මා සහ අරුන්දති රෙඩ්ඩි කඩුලු 2 බැගින් දවා ගත්හ.
ශ්‍රී ලංකා පිල මේ තරගයේදී රැස් කළ ලකුණු 191 විස්සයි20 ජාත්‍යන්තර පිටියේ රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව විය. පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල වෙනුවෙන් වාර්තාගත සබඳතාවක් ගොඩනැඟූ ස්මිත්‍රි මන්දනා සහ ෂෆාලි වර්මා පළමු කඩුල්ලට පන්දු 92කින් ලකුණු 162ක් රැස් කරමිනි.
මෙය ඉන්දීය කාන්තා විස්සයි20 ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැඟූ ඉහළම සබඳතාව විය.




