මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධාන කළ මධ්‍යම ආසියානු අවුරුදු 19න් පහළ කාන්තා වොලිබෝල් ශූරතාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.
කණ්ඩායම් 4ක සහභාගිත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති තරගාවලියේ තෙවැනි ස්ථානය වෙනුවෙන් සත්කාරක ශ්‍රී ලංකාව සහ මාලදිවයින තරග වැදුණු අතර, එහිදී වට 3-0ක පහසු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකි විය.
එම තරගයේ පළමු වටය ලකුණු 25-6ක් ලෙස පහසුවෙන් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දෙවැනි වට 25-11ක් සහ තෙවැනි වටයේදී 25-10ක් ලෙස ජයග්‍රහණ වාර්තා කළහ.
පෙරේදා පැවති අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී ප්‍රබල සටනක් දුන්නත් කිරිගිස්තානය හමුවේ වට 3-0කින් (26-24, 25-21, 25-15) පරාජය වීමට ශ්‍රී ලංකා පිලට සිදු විය. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම සඳහා වන අවසන් තරගය අහිමි වී ගියේය.
තරගාවලියේ ශූරතාව වෙනුවෙන් කිරිගිස්තානය සහ මෙවර තරගාවලියේ අපරාජිතයන් වූ නේපාලය තරග වැදුණු අතර, එහිදී වට 3-2ක ජයක් අත්කර ගැනීමට කිරිගිස්තානය සමත් විය. ඉතා උණුසුම් මුහුණුවරක් ගත් එම තරගයේ 22-25 පළමු වටය නේපාලය ජයගත් අතර, දෙවැනි සහ තෙවැනි වට කිරිගිස්තානය ජය ගත්තේ 25-20 සහ 25-21ක් ලෙසිනි. යළි සිවුවැනි වටයේදී ලකුණු 25-13ක් ලෙස ජය ගනිමින් නේපාලය තරගය සම කළ අතර, තීරණාත්මක 5 වැනි වටයේදී 15-11ක් ලෙස තරගයේ ජය තහවුරු කර ගැනීම කිරිගිස්තාන ක්‍රීඩිකාවෝ සමත් වූහ.




