අගමැතිනිය ‘ස්ත්‍රීවාදයේ අනාගතය: කලාව, ක්‍රියාකාරීත්වය සහ දකුණු ආසියානු කාන්තාව’ ප්‍රදර්ශනයට එක්වෙයි

0
76

කොළඹ  ජාතික කෞතුකාගාරයේ ලෝටස් කලාගාරයේ දී පැවති ඉතිහාසඥ ආචාර්ය අර්ෂියා ලොඛන්ද්වාලා ( Dr. Arshiya Lokhandwala) විසින් මෙහෙයවන ලද “ස්ත්‍රීවාදයේ අනාගතය: කලාව, ක්‍රියාකාරීත්වය සහ දකුණු ආසියානු කාන්තාව”

යන තේමාව මූලික කරගත් දකුණු ආසියාතික ස්ත්‍රීවාදී කලාකරුවන්ගේ නිර්මාණ ඇතුළත් කලා ප්‍රදර්ශනය නැරඹීම සඳහා සැප්තැම්බර් 26 වන දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්වූවා ය.

මෙම කලා ප්‍රදර්ශනය හරහා ස්ත්‍රීවාදයේ අනාගතය, ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතාවය, සමාජභාවය මත පදනම් වූ පද්ධතිමය හිංසනය යන කාරණා  ප්‍රශ්න කරන අතරම ස්ත්‍රී ශක්‍තිය, ස්වාධීනත්වය සහ සහයෝගීතාවය සැමරීමට ලක් කරයි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, බංගලාදේශය සහ පකිස්ථානය යන දකුණු ආසියානු රටවල් නියෝජනය කරමින් ස්ත්‍රීවාදී කලාකාරිනියන් එකොළොස් දෙනෙකුගේ නිර්මාණ මෙහි දී ප්‍රදර්ශනයට ලක්වන අතර ඔවුන් සිය රටවල් තුළ ස්ත්‍රීන් මුහුණ දෙන අර්බුද මෙම කලා නිර්මාණ තුළින් ඉදිරිපත් කර ඇත.

එමෙන් ම මෙම ප්‍රදර්ශනය ලොව රටවල් කිහිපයක ම ප්‍රදර්ශනය කිරීම සිදුවන අතර මින් පෙර නේපාලයේ කත්මණ්ඩු නුවර දී මෙය පවත්වා ඇත. ශ්‍රී ලංකාවේ දී මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් 26 වන දින සිට ඔක්තෝබර් 08වන දා දක්වා කොළඹ ජාතික කෞතුකාගාරයේ ලෝටස් කලාගාරයේ දී පැවැත්වෙනු ඇත.

මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනෝජා කස්තුරිආරච්චි අය ඇතුළුව දෙස් විදෙස් කලාකරුවන් සහ සම්භාවනීය අමුත්තන් පිරිසක් සම්බන්ධ වූහ.

theleader

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here