ජීවිතය යනු අප අපේක්ෂා කරන පරිදි සැමවිටම පහසු මාවතක් නොවේ. එහෙත්, නොසැලෙන උත්සාහය, සහ කැපවීම පවතී නම්, ඕනෑම අභියෝගයක් ජය ගනිමින් ස්වකීය අරමුණු සැබෑ කරගත හැකි බවට කදිම නිදසුනක් වන්නේ නිටා සිනම්පන් ගුවාන්සන් (Nita Zinampan Guanzon) ය.
එක්සත් අරාබි එමීර් රාජ්යයේ “Inspiring Filipino Educator in Inclusive Education 2026” සම්මානයෙන් පිදුම් ලැබූ ඇගේ මේ දිවිගමන පිටුපස ඇත්තේ දැඩි කැපවීමෙන් හා පරිශ්රමයෙන් ජයගත් අභියෝග රාශියකි.
වෙළඳපොළේ ප්ලාස්ටික් බෑග් අලෙවි කළ කුඩා කාලය
නිටාගේ කුඩා කාලය සුඛෝපභෝගී එකක් නොවීය. වයස අවුරුදු 7 වන විට පවා ඇය හිරු රශ්මිය නොතකා දෙමාපියන්ට වෙළඳපොළේ පලතුරු අලෙවි කිරීමට උදව් කළ අතර, අමතර ආදායමක් අපේක්ෂාවෙන් පාරිභෝගිකයන්ට ප්ලාස්ටික් බෑග් අලෙවි කළාය.
එම අත්දැකීම් ඇයට දැඩි කැපවීමේ අගය, පවුලේ වටිනාකම සහ කෘතඥතාව කියා දුන්නේය. දෙමාපියන්ගේ දුෂ්කරතා අවබෝධ කරගත් ඇය, උසස් අධ්යාපනය සඳහා ශිෂ්යත්වයක් ලබා ගැනීමට අධිෂ්ඨාන කර ගත්තාය. ඒ අනුව, පිලිපීනයේ අංක එකේ ගුරු පුහුණු ආයතනය වන PNU විශ්වවිද්යාලයෙන් විශිෂ්ට සාමාර්ථ සහිතව උපාධිය ලබා ගැනීමට ඇයට හැකි විය.
නව ආරම්භය

විවාහයෙන් පසු ඇගේ සැමියා අබුඩාබි හි රැකියාව සඳහා පිටත්ව ගිය අතර, නිටාට පිලිපීනයේ රැඳී සිටීමට සිදු විය. එලෙස වෙන්ව ජීවත් වීම අලුත විවාහ වූ යුවළකට දැඩි වේදනාවක් විය. දවසක් අබුඩාබි හි මුසාෆා උද්යානයේ ඇවිදිමින් සිටියදී ඇගේ සැමියා දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ තම බිරිඳ ඉක්මනින් තමා වෙත ගෙන්වා ගැනීමටත්, ඇයට එහි ගුරු රැකියාවක් ලබා දීමටත් අවස්ථාව සලසා දෙන ලෙසයි.
එම යාච්ඤාවෙන් අනතුරුව ඔහු ඉදිරියෙන් ගමන් කළ පාසල් බස් රථයක “Philippine National School” යන නාමය සටහන්ව තිබෙනු ඔහු දුටුවේය. පුදුමයකට මෙන්, නිටා එක්සත් අරාබි එමීර් රාජ්යයට පැමිණි පසු ඇයට ලැබුණු ප්රථම ගුරු රැකියාව වූයේද එම පාසලයි.
කුඩා පරිමාණයෙන් ව්යාපාරයක් ඇරඹීම
ගුරු රැකියාවක් ලැබුණද ජීවිතය පහසු නොවීය. ආර්ථික අභියෝග හමුවේ නිටා සහ ඇගේ සැමියා අමතර ආදායමක් අපේක්ෂාවෙන් ග්රිල් කළ කුකුළු මස් අලෙවි කිරීමේ කුඩා පරිමාණ ව්යාපාරයක් ආරම්භ කළහ.
දිවා කාලයේ පාසල්ගත වීමෙන් පසු උපකාරක පන්ති පවත්වා, රාත්රී කාලයේ කුකුළු මස් ඇණවුම් බෙදාහැරීමට යාම නිසා ඇය දැඩි ලෙස වෙහෙසට පත් වූවාය.
“අධික ශාරීරික වෙහෙස නිසා මා හඬා වැටුණු අවස්ථා අනන්තය. මගේ පුතු සමඟ ප්රමාණවත් කාලයක් ගත කිරීමට නොහැකි වීම මට දැඩි වේදනාවක් විය.”
යැයි නිටා අතීතය සිහිපත් කරයි.
එහෙත්, ඇගේ මවගේ සහ සැමියාගේ නොමසුරු සහයෝගය මත ඇය එම අභියෝගාත්මක සමය සාර්ථකව ජයගත්තාය.
අබුඩාබි හි පිහිටි Bateen World Academy නම් බ්රිතාන්ය පාසල අසලින් ගමන් කරන සෑම අවස්ථාවකම, කවදා හෝ දිනක එහි ඉගැන්වීමට අවස්ථාව ලැබෙනු ඇතැයි නිටා නිහඬව ප්රාර්ථනා කළාය. වර්තමානයේ ඇය එම පාසලේ Inclusion Teacher හෙවත් විශේෂ අධ්යාපන අවශ්යතා සහිත දරුවන්ට මඟපෙන්වන ගුරුවරියක ලෙස සේවය කරන ප්රථම පිලිපීන ජාතික ගුරුවරිය වන අතර, ඇගේ පුතුටද එම පාසලේම අධ්යාපනය ලැබීමට අවස්ථාව හිමිවී තිබේ.

විවිධ ඉගෙනුම් අවශ්යතා සහිත දරුවන්ගේ අභියෝග හඳුනා ගනිමින් ඔවුන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය කිරීමට ඇය නිරන්තරයෙන් කටයුතු කරයි. ඇයගේ එම සේවය අගයමින් 2026 වසරේ ” Inspiring Filipino Educator in Inclusive Education” සම්මානය ඇයට හිමිවිය.
” සෑම දෙයකටම නියමිත කාලයක් ඇත. මුල් ඇඳීමට කාලයක්, වර්ධනය වීමට කාලයක් මෙන්ම ඵල දැරීමටද කාලයක් පැමිණේ. එතෙක් විශ්වාසයෙන් හා නිහතමානීව ඔබේ ගමන ඉදිරියට ගෙන යන්න.”
- –නිටා ගුවාන්සන්
නිටාගේ ජීවිත කතාවෙන් පැහැදිලි වන්නේ, මූලික පසුබිම අමතක නොකර කැපවීමෙන් කටයුතු කළහොත්, අද දකින සිහින අනාගතයේදී සැබෑ කරගත හැකි බවයි.
සටහන | කල්පනී ෂමල්කා
මූලාශ්රය Theglobalfilipinomagazine වෙබ් පිටුව




