සම්ප්‍රදාය අභිභවන ස්වභාවයක පිහිටි ”අඩි පහයි අඟල් නෑ’

    0
    20

    නවකතාව තරමටම කෙටිකතාව ලාංකික පාඨකයන් අතර ප්‍රමුඛ හෝ ප්‍රසිද්ධ නොවුණත්, නිර්මාණාත්මක පක්ෂය අතින් බැලුවාම කෙටිකතාවේ නිර්මාණශීලීත්වය, ආකෘතිමය පර්‍යේෂණ සහ විවිධත්වය අතින් බලද්දි කෙටිකතාව ඉන්නෙ නවකතාව ඉක්මවාගිය තැනක කියලා හිතෙන තරමෙ අපූරු කෙටිකතා අපිට පහුගිය කාලසීමාව පුරාම දැකගන්නට ලැබුණා.

    හැබැයි ඒ සමහර කෙටිකතා නිර්මාණාත්මක අත්හදාබැලීම්වල කොච්චර ඉස්සරහට ගිහින්ද කීවොතින්, ඒවා සාමාන්‍ය පාඨකයන්ට කියවලා රසවිඳින්න, එහෙමත් නැත්නම් තේරුම් ගන්න පහසු නොවන තැනකට පත්වීමේ සම්භාවිතාවකුත් පාඨකයන්ට දැකගන්නට ලැබුණා.

    මෙහෙම කියන්නෙ දුරේන්ද්‍රා ඉන්දිකා පීරිස්. ඇය අපේ කාලයේ මුහුණු පොතේ ලියැවෙන කතා රසවිඳින පාඨකයින් අතර ඉතාම ජනප්‍රිය ලේඛිකාවක්. ඒ රහට ලියන්නට සමත් දක්ෂ ලේඛිකාවක් විදියට. ඇය ඉහත කී දෑ කියන්නෙ වත්මන් කෙටිකතා කෘති ගැන. එහෙම කියලා විතරක් නොනවතින ඇය තමන් කෙටිකතාවකින් හොයන රස තියෙන කෙටිකතා සංග්‍රහ කිහිපයක් රචනා කරනවා. 2025 අවුරුද්දෙ නිකුත් වෙච්චි ‘අඩි පහයි අඟල් නෑ’ කියන්නෙ ඉන් එකක්. ඒ කෙටිකතා සංග්‍රහය මෙවර (2026) රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම කෙටිකතා පොත සඳහා වන අවසන් නිර්දේශ තුන අතරට එන්න සමත්වෙනවා. ඒ කියන්නෙ දුරේන්ද්‍රා ගේ මේ නිර්මාණාත්මක වෑයම සම්මානිත වීමට තරම් උචිත කෙටිකතා සංග්‍රහයක්. ඒක නිසාම ඇය ගේ මෙම කෙටිකතා එකතුව හරිවිදියට කියැවීම තුළ ප්‍රාමාණිකයෙකුට අවශ්‍යනම් ලාංකීය කෙටිකතා කලාවේ ගමන්මග සහ විවිධත්වය ගැන හැදෑරීමකුත් කරන්න පුළුවන් වේවි.

    පොත ගැන ඒ පූර්ව හඳුනාගැනීම්වලින් එහාට ගිහින් ‘අඩි පහයි අඟල් නෑ’ කියන කෘතිය ඇත්තට ම රසවිඳගන්න ඇතිවුණු ආශාව නිසාම මම අක්කාගේ පොත් එකතුවේ තිබුණු මේ පොත කියවන්නට පටන් ගන්නවා. ඉතින් කියවලා ඉවරවුණු ඒ පොත ගැන මගේ කියැවීම තමයි මේ දැන් ඔයාලා කියවන්න යන්නෙ.

    මේ පොතේ කෙටිකතා දොළහක් අන්තර්ගතයි. ඒ දොළහම විශේෂිත, එහෙමත් නැත්නම් වත්මන් කෙටිකතා සම්ප්‍රදායට අභියෝග කරන නිර්මාණ බව තමයි පොත ගැන මගේ මුල්ම කියවීම. ඒ කෙටිකතා, නිර්මාණාත්මක වෑයමේදි සම්ප්‍රදාය අභිබවා යන ස්වභාවයක පිහිටන බවක් පෙන්නන බවට මුල්ම නිමිත්ත පහළ වෙන්නෙ පටුන දිහා බැලුවාම. එක් එක් කතාවට කතුවරිය තෝරාගන්නා නම් හරිම විශේෂයි. ‘බුදු පැටව් තැම්බීම’, ‘අඩි පහයි අඟල් නෑ’, ‘විලියොං ටාන්ස්පෝට් ජාතකය’, කළුයි කැතයි කොටයි මහතයි… ‘,’ බදාගෙන ඇඬුවත්…. ජීවිතේ කවියක්…’ වගේ නම් නිසාම මේ කතාවලින් කියන්න යන්නෙ මොනවද කියන කුතුහලය පොත කියවන්න ඉස්සරවෙලාම පාඨක හිතේ ජනිත කරවන්න පුළුවන් අන්දමේ විභවයක් ඇතිවෙලා තියෙනවා. එය කෙටිකතා පොතකට හොඳ ශක්තිමත් පාදමක්.

    කෙටිකතා දොළහ දොළොස් අකාරයකට ජීවිතේ නිල ඇල්ලීමක්. මහපොළොවෙ අපි නොදකින මවාගත්තු ජීවිත වල නෙවෙයි, පොළොවෙ පයගහලා ඉන්න, අපි දකින, අපිට මුණගැහෙන සැබෑ ජීවිතවල නිල ඇල්ලීමක්. ඒ කතා හැම එකක්ම ඔළුවට සමනල් ගැට වට්ටගන්නෙ නැතුව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසාම රසවිඳින්නත් පුළුවන්. රසවිඳගත්තට පස්සෙ සමහර කතා අපෙ පපු හූරගෙන යන තරම් බරට වදිනවා. ඒ වැදිල්ල එක්ක පොත ටිකක් අතේම තියාගෙන කියවපු කතාව ගැන කල්පනා කරන්න හිතෙනවා. අඩි පහයි අඟල් නෑ මට ගෙනාවෙ අන්න ඒ වගේ රසවිඳීමක්.
    පොතේ කතා අතරින් වැඩිපුරම මගේ හිතගත්තෙ ‘කළුයි, කැතයි, කොටයි, මහතයි’ කතාව. ඒකේ එන සම්පත්ගෙ අක්කා වෙනුවෙන් හිතේ කොණක් හිරිවැටිලා ගියේ එරික් එවාපු ලිවුම කියවපු සම්පත්, අක්කා වෙනුවෙන් ළිඳ ළඟ ඉඳලා අඬද්දි. ඊළඟට මගේ හිත වැඩිපුර ම අල්ලගත්තෙ ‘මේඩින් චයිනා’ කතාව. ඒකෙ ඉන්න ලී මිංග් ආදරය වෙනුවෙන් කොච්චරක්නං බලාගෙන ඉන්න ඇද්ද කියලා හිතෙද්දි. පවුල වෙනුවෙන්, ලොකු අයියා වෙනුවෙන් ජීවිතේ වගේම ආදරෙත් දුන්නු අඩි පහයි අඟල් නැති පොඩි අයියාත්, ලස්සන රවීන්ද්‍ර වෙනුවෙන් බලාගෙන ඉන්න, ඒත් ඒ බව නොදන්න ලසන්තිත්, කල්කදුරු තිත්ත ජීවිතේ වහංගු කරන් කවුළුවෙන් ලෝකයක් දැක හිනාවෙන කල්හාරියි එයාගෙ තිත්ත ඇත්ත දැනගෙන නොදැන සේ ඉන්න සියපතුත් මගේ හදවතේ තෙතමනයක්, කම්පනයක් ඇති කරන්නට සමත් වෙච්චි චරිත. රණමයුරියි, නිම්මායි කියන චරිත දෙකත් ඒ වගේම අපූරු චරිත දෙකක්. ඒ කතාව හාස්‍යය හරි අපූරුවට ගේන්න සමත් වෙන කතාවක්.

    අපි කෙස් පැළෙන විචාර මතවාද ඉදිරිපත් කරන කලාත්මක නිර්මාණවල ඇත්තම ඇත්‍ත දන්න අය ඒ විචාර ප්‍රතිචාර ගැන තුෂ්නීම්භූත වෙන විදිය අපූරුවට ඉදිරිපත් කරන්න ඒ කතාව සමත්වෙලා තිබුණා. ඒක නෙවේ, රවීන්ද්‍ර ලස්සනද? කියන කතාව ඉවර වෙන්නෙ අපිව කරකවලා අතෑරලා. අන්තිම පේළි කිහිපයෙ දි කතාව ගැන මින් පෙර අපි මවාගත්තු දේවල් ඔක්කොම කුඩුවෙලා යනවා. ඒක මරු!
    මේ කතා ඔක්කොම කතුවරිය අපිට ඉදිරිපත් කරන්නෙ සරල කථන භාෂාවෙන්. ඒ නිසාම කතුවරිය කියන්න යන කතාවන් එක්ක, ඒවායෙන් කියවෙන ජීවිත හැඩය එක්ක ඒකාත්මික වෙන්න කියවන්නාට හරිම පහසුවක් දැනෙනවා කියලා මට හිතෙනවා. භාෂාව ගැන කියද්දි තවත් මම දැකපු විශේෂයක් තමයි කතාවට අවශ්‍ය පරිසරයේ සැබෑව පසුබෑමකින් තොරව, වචනවලින් පවා එළියට දාන්න කතුවරිය නිබය වෙලා තිබුණු විදිය. සාමාන්‍යයෙන් කුණුහරුප කියලා පිළිගන්න, ඒත් යම් යම් සමාජ මට්ටම්වල දි නිරායාසයෙන් එළිබහින වචන ගෙඩිපිටින් ම තමන්ගෙ පාත්‍ර වර්ගයා ගේ දෙබස් අස්සට රිංගවන්න දුරේන්ද්‍රා ක්‍රියා කරලා තියෙන්නෙ යථාවාදී ජීවමාන ගුණය ඒ චරිත තුලට ගෙනැවිත් තාත්වික නිර්මාණයක් කරන්න. ඒක සාර්ථකයි. හැබැයි ඒක කෘතියක් තුළ නිසා තරමක් සීමාසහිත වුණානං හරි කියලත් වෙලාවකට හිතෙනවා. ඒ මගේ අදහස.

    තමන් ගෙ පෙරවදනෙ දි කතුවරිය කියන්නෙ ඇය කෙටිකතා රචනා කරන්නෙ පාඨකයා ආනන්දයෙන් ආනන්දයට රැගෙන යන්න බව. ඒක හරියට ම ඇය මේ කෙටිකතා එකතුව තුළ කරලා තියෙනවා. හැබැයි ඒකට පරිබාහිරව ගිහින් ආනන්දයෙන් ප්‍රඥාවට අපිව ගෙනියන කතා කිහිපයකුත් මේ එකතුවේ නැතුවා නෙවෙයි. අපිට එහෙම නොකර ඉන්නයි තිබුණෙ සහ මේඩින් චයිනා මට එහෙම දැණුනු කතා දෙකක්.

    පොත කියවලා අවසන් වෙද්දි මට හිතුණෙ කතුවරිය පෞද්ගලිකව කරපු කෙටිකතා පර්‍යේෂණය සාර්ථකයි කියලා. ඒ නිසා නෙ මේ කෙටිකතා මොළේ ගැට ගහෙන්නෙ නැතිව, අමුතුවෙන් විකේතනය කරගැනීමක් අවශ්‍ය වෙන්නෙ නැතිව රසවිඳගන්න හැකි තාලෙට ‘දුරේන්ද්‍රා ෆ්ලේවර් එකට’ පාඨකයන් අතට ලැබුණෙ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here