සත්ව හඬ නඟන මිනිස් දරුවෝ | ඒ.ජී. රේණුකා දමයන්ති

    0
    11

    වානර හඬ නඟන ටාසන් (Tarzan) හෝ වනාන්තරයේ සතුන් සමඟ හැදී වැඩුණු මොව්ග්ලි (Mowgli) වැනි රොමැන්තික චරිත ලෝක ප්‍රකට ප්‍රබන්ධ සාහිත්‍යයට එක්ව ඇති බව අපි දනිමු.

    නමුත්, මිනිස් දරුවන් සත්ව හඬ නැඟීම සහ සත්ව හැසිරීම් ප්‍රදර්ශනය කිරීම පිළිබඳ සිදුවීම් මුළුමනින් ම මනඃකල්පිත ඒවා නොවේ. ළමා මනෝවිද්‍යාව, පරිසරවේදය සහ භාෂා ප්‍රවේශය (Language Acquisition) පිළිබඳ සිද්ධාන්තයන්ට අනුව, කුඩා දරුවන් භාෂාව ඉගෙන ගන්නේ සහ ශබ්ද පිට කිරීමට හුරු වන්නේ තමන්ට නිරන්තරයෙන් ඇසෙන ශබ්ද, ශ්‍රවණ උත්තේජනය (Auditory Stimulation) මඟින් ග්‍රහණය කර ගෙන ඒවා අනුකරණය (Imitation) කිරීමෙනි.

    බහ තෝරන වියේ දරුවන් අප නොසිතන වචන කොටස් එක් කර ගනිමින් ගිරවුන් මෙන් දොඩමලු වනු අපි දැක ඇත්තෙමු. නමුත් එබඳු පරිසර සංවේදීතාවක් නොමැති, සමාජයීය සන්නිවේදනයට බාධා පමුණුවන ඕටිසම් (Autism) තත්ත්වයෙන් පෙළෙන දරුවන් හට ස්වාභාවිකව බහ තේරීමට අවකාශයක් නොමැති වීම මත ඔවුහු මුවින් විවිධ අර්ථ විරහිත ශබ්ද හා සත්ව නාදයන්ට සමාන හඬවල් නඟති. නමුත් ඒවා සමනය කොට එවන් දරුවන්ගේ ද භාෂාමය කුසලතා වර්ධනය කෙරෙන නවීන ප්‍රතිකාර සහ චිකිත්සක ක්‍රම මේ වන විට අප රටේ ද ඇති බව සතුටින් කිව යුතුව තිබේ.

    එහෙත් එවන් සුවිශේෂී වෛද්‍යමය තත්ත්වයක් නොමැති සාමාන්‍ය දරුවන් වෙතින් ද මෙවන් සත්ව හඬ නිකුත් වන අවස්ථා තිබේ. උදාහරණයක් ලෙස, කුකුළු ගොවිපළක් ආශ්‍රිතව හැදී වැඩෙන සිඟිත්තකුට උදෑසන සිට රාත්‍රී වන තුරුම විවිධ ස්වරවලින් යුත් කුකුළු නාදයන් ඉතා ඉහළ සංඛ්‍යාතයකින් ඇසෙන්නට ලැබෙන අතර, දරුවාගේ මොළය මේවා නිරන්තරයෙන් ග්‍රහණය කර ගනී. එහි ප්‍රතිඵලයක් ලෙස තම බහ තෝරන අවධියේදී (Babbling Stage) ස්වාභාවිකවම එම ශබ්ද තමන්ගේ ශබ්ද මාලාවට එක් කර ගැනීමට දරුවා පෙළඹේ. කුකුළෙකුගේ හැඬලීම වැනි නාද සරල, රිද්මයානුකූල සහ උස් ස්වරයකින් යුක්ත වන නිසා, වැඩිහිටියන්ගේ සංකීර්ණ වචනවලට වඩා දරුවකුට ග්‍රහණය කර ගැනීමට සහ ශබ්ද නඟා සෙල්ලම් කිරීමට (Vocal Play) ඉතා පහසු ය. තවද, දරුවා තමා අවට දකින සතුන් සමඟ සන්නිවේදනය කිරීමට සහ ඔවුන්ගේ අවධානය දිනා ගැනීමට උත්සාහ කිරීමේදී මෙම ශබ්ද සංකේතාත්මක භාෂාවක් ලෙස උපයෝගී කර ගන්නා අතර, එය දරුවාගේ සංජානන වර්ධනයේ (Cognitive Development) වැදගත් අවස්ථාවක් පෙන්නුම් කරයි. ඉන් දරුවකුගේ බහ තෝරන අවධිය කොතරම් වැදගත් ද යන්න අපට සිතා ගත හැක.

    මානව විද්‍යාත්මක සහ භාෂාත්මක පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ, වනාන්තර ආශ්‍රිතව හෝ ස්වාභාවික පරිසරයන්හි සතුන් සමඟ හැදී වැඩෙන දරුවන් මිනිස් භාෂාවට පෙර තමන්ට ඇසෙන සත්ව නාද ඉතා නිවැරදිව අනුකරණය කරන බවයි. එය දරුවාගේ ශ්‍රවණ සහ ස්වර තන්තු ක්‍රියාකාරීත්වයේ මනා වර්ධනයක් පෙන්නුම් කරන සාධකයකි. සාමාන්‍ය තත්ත්වයන් යටතේ, පසුකාලීනව දරුවා වැඩිහිටියන්ගේ නිවැරදි වචන ශ්‍රවණය කිරීමත් සමඟ, මෙම සත්ව ශබ්ද ක්‍රමයෙන් මඟහැරී සාමාන්‍ය මානව භාෂාවට හුරුවීම සිදුවේ.

    මෞග්ලි(සිනමා සිත්තමකි)

    කෙසේ වෙතත්, මිනිස් ඇසුරෙන් සම්පූර්ණයෙන්ම හුදෙකලා වී සතුන් අතර හෝ අතිශය දරුණු ලෙස සිරකර තබනු ලැබූ වනචාරී දරුවන් (Feral Children) පිළිබඳ සැබෑ ලෝකයේ වාර්තා වන සිදුවීම් මීට වඩා බෙහෙවින් වෙනස් මෙන් ම අතිශය ඛේදනීය ස්වරූපයක් ගනී. වනචාරී දරුවන් යනු ඉතා කුඩා අවදියේ සිටම මිනිස් රැකවරණය, සමාජයීය හැසිරීම් සහ භාෂාව පිළිබඳ තීරණාත්මක අත්දැකීම් අහිමි වූ කොටසක් වන අතර, මොවුන් පොදුවේ වර්ග දෙකකට අයත් වේ. එනම්, වනාන්තරයේ සතුන් සමඟ ජීවත් වෙමින් දිවි ගලවා ගත් දරුවන් සහ තමන්ගේම භාරකරුවන් විසින් දැඩි ලෙස අපයෝජනයට හා නොසලකා හැරීමට ලක් කරමින් සිරකර තබා සිටි දරුවන් ය.

    මෙවැනි වනචාරී දරුවන් නැවත සමාජයට මුදා හළ විට පර්යේෂකයන් විසින් ඔවුන් තුළ කැපී පෙනෙන ශාරීරික හා මනෝවිද්‍යාත්මක ලක්ෂණ රැසක් නිරීක්ෂණය කර ඇත. ඉන් ප්‍රධානතම ලක්ෂණය වන්නේ දරුණු භාෂා දුබලතාවයි; මොවුන්ගෙන් බහුතරයක් මිනිස් කථනය ප්‍රගුණ කිරීමට දැඩි ලෙස වෙහෙසෙන අතර, බොහෝ විට සන්නිවේදනය කරන්නේ කෙඳිරිලි, විවිධ ක්ලික් ශබ්ද (Clicks) හෝ ඉඟි මඟින් පමණි. එමෙන් ම, හතරගාතෙන් ඇවිදීම, බිරීම, කුකුළන් මෙන් කෑගැසීම (Clucking) හෝ අමු මස් අනුභවයට දැඩි කැමැත්තක් දැක්වීම වැනි තමන් සමඟ දිවි ගලවා ගැනීමට උපකාර වූ සතුන්ගේ හැසිරීම් මොවුන් තුළ දක්නට ලැබේ. මීට අමතරව, මොවුන් සාමාන්‍ය දරුවන් මෙන් අධික සීතලට හෝ උෂ්ණත්වයට අතිශය සංවේදීතාවක් නොදක්වන වෙනස් වූ සංවේදන ග්‍රහණයන් පෙන්නුම් කරන අතර, මුල් ළමාවියේ සංවර්ධන අන්තර්ක්‍රියා අහිමි වීම නිසා මූලික සමාජ සම්මතයන්ට හුරුවීමට, ඇඳුම් පැළඳුම් භාවිතයට හෝ මිනිසුන් සමඟ හැඟීම්බර සබැඳියාවන් ඇති කර ගැනීමට ඔවුහු දැඩි ලෙස පසුබට වෙති. දරුවන්ගේ අධ්‍යාපනික කුසලතා, මතක ශක්තිය හා කියැවීමේ රුචිය වර්ධනය කරන ජාත්‍යන්තර අධ්‍යාපනික වැඩසටහනක් වන “EduBlox Online Tutor” හි අධ්‍යාපනඥයින් විසින් සම්පාදනය කරන ලද සවිස්තරාත්මක ලැයිස්තු ඇතුළු සැබෑ ඓතිහාසික වාර්තා 15ක් මඟින් මෙම ළමා මානසික සංවර්ධන අවනතිය මනාව පැහැදිලි කර තිබේ.

    ටාසන් (සිනමා සිත්තමකි)

    සැබෑ ලෝකයේ කැපී පෙනෙන එවැනි ඓතිහාසික සිදුවීම් කිහිපයක් ලෙස 1797 දී වයස අවුරුදු 12 දී පමණ ප්‍රංශ වනාන්තරයකින් හමුවූ “ඇවෙරොන්හි වික්ටර්” (Victor of Aveyron) පෙන්වා දිය හැකිය. ඔහුව සමාජානුයෝජනය කිරීමට වෛද්‍යවරුන් වසර ගණනාවක් දැඩි වෙහෙසක් ගත්ත ද, ඔහුගේ භාෂා හැකියාව ප්‍රගුණ කළ හැකි වූයේ මූලික වචන කිහිපයකට පමණි. එමෙන් ම 1970 දී ඇමරිකා එක්සත් ජනපදයෙන් හමුවූ “ජීනි” (Genie) ගේ සිදුවීම දරුණු ලෙස සිරකර තැබීම සම්බන්ධයෙන් වඩාත්ම සවිස්තරාත්මකව අධ්‍යයනය කරන ලද අවස්ථාවකි. අපයෝජනකාරී පියෙකු විසින් දශකයකට වැඩි කාලයක් කිසිවෙකු සමඟ කතා කිරීමට ඉඩ නොදී කාමරයක සිරකර තබා සිටි “ජීනි”ගේ සිදුවීම, භාෂාව ඉගෙනීම සඳහා ළමාවියේ පවතින තීරණාත්මක කාලසීමාව පිළිබඳ වාග් විද්‍යාවට වැදගත් දත්ත සපයා තිබේ. තවත් සුවිශේෂී සිදුවීමක් වන්නේ 1991 දී යුක්රේනයෙන් හමුවූ “ඔක්සානා මලයා” (Oksana Malaya) නම් දැරියගේ කතාවයි. නොසලකා හරින ලද දෙමාපියන් විසින් කුඩා අවදියේදීම බලු කූඩුවක දමා ගිය ඇය සැබවින්ම හැදී වැඩුණේ සුනඛයන් ඇසුරේ වන අතර, ඇයව හමුවන විට ඇය දිව ගියේ හතරගාතෙන් වන අතර බල්ලන් මෙන් හතිලෑම සහ බිරීම සිදු කළා ය.

    ඔක්සානා මලයා

    මෙම වනචාරී දරුවන්ගේ සිදුවීම් මනෝවිද්‍යාඥයින්ට සහ වාග් විද්‍යාඥයින්ට අතිශය වැදගත් වන්නේ, ඔවුන් ස්වභාවය සහ පෝෂණය (Nature versus Nurture) එනම් ජානමය උරුමය සහ බාහිර පරිසරය පිළිබඳ විවාදය දෙස බැලීමට ඇති කවුළුවක් බඳු වන බැවිනි. මිනිසෙකුට චතුර ලෙස භාෂාව හැසිරවීමට නම්, මුල් ළමාවියේදී එම භාෂාවට නිරාවරණය විය යුතු දැඩි ජීව විද්‍යාත්මක කාල රාමුවක් පවතින බව පවසන තීරණාත්මක කාලසීමාව පිළිබඳ උපකල්පනයට (The Critical Period Hypothesis) මොවුන්ගේ සිදුවීම් විශාල පිටිවහලක් දක්වයි. වනචාරී දරුවන්ට මුල් ළමාවියේ පවතින මෙම ස්වර්ණමය කාලසීමාව මඟහැරී යන බැවින්, පසුකාලීන ජීවිතයේදී කොතරම් උත්සාහ කළ ද සංකීර්ණ භාෂා ව්‍යුහයන් සහ සමාජයීය සබඳතා සම්පූර්ණයෙන්ම ග්‍රහණය කර ගැනීමට ඔවුන්ගේ මොළයට නොහැකි වන බව මෙමඟින් මනාව තහවුරු වේ. මේවා ද වැඩිහිටියන් ලෙස අප දැන සිටිය යුතුම වේ.

    ඒ.ජී. රේණුකා දමයන්ති

    vinivida.lk

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here