අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ අද (16) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත වුවද, තම ගැටලු සඳහා නිසි සහ ස්ථිරසාර විසඳුම් ලැබෙන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරන බව විශ්වවිද්‍යාලීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කරයි. වර්තමාන ආණ්ඩුවෙන් සිය ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා මෙතෙක් සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පෙන්වා දෙන එම සංගමය, විසඳුම් නොමැති සාකච්ඡාවලින් කිසිදු ඵලක් නොමැති බවද අවධාරණය කරයි.
“පැහැදිලි විසඳුමක් ලැබෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවන්නේ නෑ”
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් විශ්වවිද්‍යාලීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා මෙසේ පැවසීය.
“මේ වෙද්දි ආණ්ඩුව පැත්තෙන් මේ ගැටලු නිරාකරණයට සාධනීය විසඳුමක් ලබාදෙන බවක් අපිට පෙන්න නෑ. හැබැයි රැස්වීමක් දීලා තියෙනවා අගමැතිතුමිය එක්ක. අපි ඒකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පසුගිය සෙනසුරාදා පැවති සියලුම නියෝජිත සංගම්වලින් ඒකමතිකව තීරණය කරලා තියෙනවා නිසි විසඳුමක් ලැබෙන තුරු මේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරන්න සහ ඉදිරියට ගෙනියන්න. විසඳුමක් නැති සාකච්ඡාවලින් කිසිම ඵලක් නෑ. අපි සාකච්ඡාවට විවෘතයි. නමුත් පැහැදිලි විසඳුමක් ලැබෙන තුරු මේ වෘත්තීය ක්‍රියාමාර්ග කිසිසේත්ම අත්හිටුවන්න සුදානම් නෑ කියන දේ අපි ආණ්ඩුවට කියනවා.”
දිවයින පුරා 46,000ක ගුරු හිඟයක්!
මේ අතර, දිවයින පුරා පාසැල්වල දැවැන්ත 46,000ක ගුරු හිඟයක් පවතින බව ලංකා ගුරු සංගමය බරපතල අනාවරණයක් කරයි. රජයේ පාසල්වල පවතින මෙම ගුරු හිඟය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බරපතල ලෙස කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බව පෙන්වා දෙන එම සංගමය, බලධාරීන්ගේ දැඩි උදාසීනත්වය මෙයට හේතු වී ඇති බවට චෝදනා කරයි.
විභාග ප්‍රතිඵල ප්‍රමාදයි
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ගුරුවරුන් බඳවා ගැනීම සඳහා මීට පෙර පවත්වන ලද තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා ආණ්ඩුව මේ වන තෙක් කිසිදු විධිමත් පියවරක් ගෙන නොමැති බවය. මෙම බඳවා ගැනීම් කඩිනමින් සිදු කර පාසල්වල පවතින ගුරු හිඟයට වගකිවයුතු විසඳුමක් ලබා දෙන ලෙස ගුරු සංගම් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.




