2021 වසරේ පැවති ‘ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ’ අවසන් මහා තරගයේදී වේදිකාව මතදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයට තුවාල සිදුකළ බවට ගොනුකළ නඩුවෙන්, හිටපු ලෝක විවාහක රූ රැජිනක වන කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍රන් නිදහස් කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ඊයේ (14) මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.
තීන්දුව ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, විත්තිකාරියන්ට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති චෝදනා කිසිවක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවයි. ඒ අනුව, අදාළ නඩුවෙන් විත්තිකාරියන් දෙදෙනා මුදාහරින ලෙස නියෝග කෙරිණි.
මෙම සිද්ධියට අදාළව චෝදනා ලබා සිටි මෝස්තර නිරූපණ ශිල්පිනී චූලා පත්මේන්ද්‍රන් මියගොස් ඇති බැවින්, අධිකරණය හමුවේ ඇය වෙනුවෙන් ඇයගේ ඇපකාරිය පෙනී සිටියාය. මීට වසර කිහිපයකට පෙර මෙරට පමණක් නොව ජාත්‍යන්තරයෙහිද දැඩි කතාබහට ලක් වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.




