බැටළු පැටවුන්ගේ කෑගැසීම: නිහඬතාව බිඳ දැමූ කාන්තාව

    0
    13

    ගැහැනියෙක්ට සිද්ද වෙන්න පුළුවන් නරකම දේ තමයි ගැහැනියකගේ කැමත්තක් නැතුව පිරිමියෙක්ගේ ශුක්‍රාණු ගැහැණු ශරීරයේ තවරණ එක . පන්සල් පල්ලිවල පූජකයෝ කුඩා දරුවන්ගේ ශරීර මත ඔවුන්ගේ ගඳ ගහන ශුක්‍රාණු තවරනවා. බස්වල කෝච්චිවල ගැහැණුන්ගේ ශරීර මත පිරිමි ශුක්‍රාණු තවරනවා.යුද්ධෙකදි උනත් සතුරු පාර්ශවය යටත් කරගත්තම පිරිමි කරන්නේ ගැහැණුන්ගේ ශරීර මත ශුක්‍රාණු තවරන එක . පන්සලකදි පල්ලියකදි පිරිමි ඔවුන්ගේ සිවිල් බලය පාවිචි කරනවා. ඔවුන් දන්නවා මේ ” බලහත්කාරි ශුක්‍රාණු තැවරීම” ට පස්සේ එන සමාජ ප්‍රතික්‍රියාවන්ට එරෙහිව ආගමික බලය පාවිච්චි කරන්න පුළුවන් කියලා. බස් රථයකදි තමන්ගේ ලිංගය පෙන්නන පිරිමියෙක් ට ගුටි කන්න සිද්ද වෙද්දි පන්සලක බලවත් භික්ෂුවකට පුළුවන් තමන්ගේ ලිංගය පෙන්නලා සිවුරෙන් සියල්ලම වහලා දාන්න. යුද්ධෙකදි මේ බලහත්කාරය සිද්ද වෙන්නේ සතුරාව අපහාසයට පත් කරන්න. යුද්ධ භූමියකදිත් පූජක භූමියකදිත් පිරිමි දන්නවා මේ බලහත්කාරයට එරෙහි ප්‍රතික්‍රියා පාලනය කරන්න පුළුවන් කියලා.

    Silence of the lambs චිත්‍රටය පටන් ගන්නෙම ” බලහත්කාරි ශුක්‍රාණු තැවරීමකින් ” .

    චිත්‍රපටය ආරම්භ වෙන්නේ ශීත සෘතුවක ආසන්න කාලයකින්. මුළු වටාපිටාවම පිරිලා තියෙන්නේ අඳුරු අළු පාටකින්. චිත්‍රපටය පුරාම මේ අඳුරු පරිසරය දකින්න පුළුවන්. මේ අඳුරු අළු පාට චිත්‍රපටයේ දකින්න තියන මරණය , හුදකලාව එක්ක ඉතාම සමීපව ගලාගන යනවා. ක්ලැරිස් ස්ටාර්ලින් FBI ආයනයේ ඉතාම දීප්තිමත් ශිෂ්‍යාවක්. ඇයව අපට මුලින්ම දකින්න ලැබෙන්නේ මේ අඳුරු අළු පරිසරයේ දහඩිය වගුරවමින් දිව යන දර්ශනයකින්. ඇය මේ පරිසරයේ දුවගන යනකොට පිරිමින්ගේ ගිජු ඇස් ඇය වෙත යොමුවෙන හැටි අපිට දකින්න පුළුවන් .

    FBi ආයතනයේ ” චර්‍යා විද්‍යා ඒකකයේ ” ප්‍රධානියාගෙන් ක්ලැරිස්ට නියෝගයක් ලැබෙනවා. ඒ තමයි ” බෆලෝ බිල්” කියන දාම ඝාතකයා සොයා ගැනීමට කුමනාකාරයේ හෝ හෝඩුවක් ලබා ගැනීමට ” ඩොක්ටර් හැනිබල් ” සම්මුඛ සාකච්ඡාවට ලක් කරන්න . මේ පළමු ගමනෙදීම ක්ලැරිස්ගේ මුහුණට මිග් කියන සිරකාරයා ශුක්‍රාණු ප්‍රහාරයක් එල්ල කරනවා. මේ චිත්‍රපටයේ ප්‍රධානම තේමාවක් තමයි පිරිමියා විසින් ගැහැණිය මතට හෙළන බලහත්කාරය. ඒක බලහත්කාරයෙන් වෙන්න පුළුවන්. වාචිකව සහ ශාරිරික චලනයන් මඟින් වෙන්න පුළුවන්.

    සයිලන්ස් ඔෆ් ද ලෑම්බ්ස් චිත්‍රටයේ ප්‍රධාන චරිත තුනයි .

    ආධුනික FBI නිලධාරිනි ක්ලැරිස් ස්‍ටාර්ලින්

    බැල්ටිමෝර් සිරගෙදර සිටින මනෝචිකිත්සකයකු , මිනීමැරුවෙකු වෙන ඩොක්ටර් හැනිබල්

    බෆලෝ බිල් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන දාම ඝාතකයා

    සිනමා ඉතිහාසයේ වඩාත්ම බලසම්පන්න ,දක්ෂ , බුද්ධිමත්, බිහිසුණු අපරාධකරුවෙකු ලෙස හැඳින්වෙන්නේ ඩොක්ටර් හැනිබල් ය . මේ ප්‍රබන්ධීය බලසම්ප්න්න දුෂ්ටයා උපන්නේ 1933 ට ආසන්න කාලයක ලිතුවේනියාවේ වංශවත් පවුලකයි. හැනිබල්ට අවුරුදු අටේදි ඔහුගෙ සහෝදරිය මීෂා ඝාතනයට ලක්වන අතට ඉන් අනතුරුව එක්සත් ජනපදයට පළා එයි . මනෝ විද්‍යාවේ ප්‍රමාණික විද්වතෙකු වන හැනිබල් සංගීතය ,චිත්‍ර කලාව, සාහිත්‍ය සහ සූපවේදයේද රසිකයෙක් .අන් දාම ඝාතයකයන්‍ට වඩා දැනුමෙන් පරිපූර්ණ වෙච්ච හැනිබල්ගේ විශේෂ්ත්වය තමයි ඔහුගේ ගොදුරු ආහාරයට ගැනීම .

    හැනිබල් ශිෂ්ටත්වය සහ නපුර එකවර නියෝජනය කරනවා. සාහිත්‍යට සංගීතය ට වගේම ඔහු මිනිමැරීමටත් ආශා කරනවා . ඒ ඉතාම කෲර විදිහට.

    ක්ලැරිස් සහ අපි හැනිබල්ව දකිද්දි ඔහු ඉන්නේ හරියට සිරකුටියේ මධ්‍යයේ. ඒ ඔහු විසින් හිතාමතාම සිද්ද කරන දෙයක්. ඔහු දන්නවා තමන්ගේ ශරීරය හැසිරවීම මඟින් කොහමද බලය එළියට විකාශනය කරන්නේ කියලා. හැනිබල්ට පුළුවන් වෙනවා ක්ලැරිස්ගේ සුවඳ විලවුන් වර්ගය පවා නිශ්චිතවම අනුමාන කරන්න . හැනිබල් ගේ චරිතය දිග හැරෙන්නේ මොරියාටියානු ක්‍රමයකට. හැනිබල් ඔහුගේ දැනුම ඉතාම දක්ෂ විදිහට පාවිච්චි කරනවා අන් අය හැසිරවීමට සහ අපරාධ කිරීමට .

    හැනිබල් සහ ක්ලැරිස්ගේ සංවාදවලදි ඔහු ක්ලැරිස්ව මානසික හැසිරවීමකට උත්සහ කරනවා. හැනිබල් සෘජු උත්තර වෙනුවට උපමා සහ මනෝ විශ්ලේෂණයන් ක්ලැරිස් හට ලබා දෙනවා. හැනිබල් , බෆලෝ බිල් ගේ තොරතුරු වෙනුවෙන් ක්ලැරිස්ගේ ළමා කාලයේ විස්තර ඉල්ලා සිටිනවා. ක්ලැරිස්ගේ ළමා කාලය පිළිබඳ සංවාදයකදි හැනිබල් මෙහෙම අහනවා.

    ” ඔයා හිතනවද එක බැටළු පැටියෙක් බේරගත්‍තම ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳෙනවා කියලා “

    හැනිබල් මෙතනදි කියනවා එක වින්දිතයෙකුගේ ප්‍රශ්නයක් විසඳීමෙන් මහා ප්‍රශ්නයට කිසිදු බලපෑමක් වෙන්නේ නෑ කියලා.

    හැනිබල්ගේ චරිතය ඉතාම සංකීර්ණයි . එක පැත්තකින් ඔහුට කලාව සහ දාර්ශනය ගැන විශිෂ්ට දැනුමක් තියනවා. තව පැත්තකින් ඔහු තමන්ගේ ගොදුරු ආහාරයට ගන්නවා. මෙතනදි ඉතාම වැදගත් අදහසක් මතුවෙනවා. ඒ තමයි දැනුම පිළිබඳව ප්‍රමාණික විද්වතෙකුට පුළුවන් අති භයානක අපරාධකරුවෙක් වෙන්න . බෆලෝ බිල් ” අපාරාධයේ ” ප්‍රාථමික බව නියෝජනය කරනකොට ඩොක්ටර් හැනිබල් ” අපරාධයේ ” දියුණු සංකීර්ණභාවය නියෝජනය කරනවා .

    බෆලෝ බිල් මුලින්ම තම ගොදුර ලෙස කාන්තාවක් තෝරාගන්නවා . ඉන් පස්සේ නිරාහාරව සිරකරලා මරලා දානවා . ඊළඟට බෆලෝ බිල් තමන්ගේ ගොදුරේ සම කපා ගන්නවා. මෙහෙම කපා ගත්ත සමෙන් ඔහු වෙනම ඇඳුමක් මහනවා . ඉන් පස්සේ මළ සිරුරේ මුඛයේ සළබයෙක් රඳවලා මළ සිරුර ගං ඉවුරකට ගිහින් දානවා . මේ තමයි බෆලෝ බිල් ගේ ඝාතනයන් සිද්ද වෙන ක්‍රමය.

    බෆලෝ බිල් අනන්‍යතා අර්බුධයට ඉතා දැඩිව ලක්වෙලා ඉන්න පුද්ගලයෙක්. තමන්ගේ ලිංගික සංක්‍රාන්තිය බෆලෝ බිල් තේරුම් ගනිමින් ඉන්නේ ඉතාම විනාශකාරි විදිහට . එක වෙලාවක බෆලෝ බිල් තමන්ගේ සිරුර ගැහැනියක සේ හැඩ ගන්වමින් කණ්නාඩිය ඉදිරියට එනවා. එහෙම ඇවිත තමන්ගේ පිරිමි ලිංගය සඟවගන ගැහැනියක් සේ ඔහුව දකින්නට උත්සහ කරනවා. ලිංගික පරිවර්තනය විසින් බෆලෝ බිල් තමන්ගේ ඇතුලේ අනන්‍යතා අර්බුධයක් හදා ගන්නවා. කුඩා කාලයේ ලිංගික දිශානතිය වෙනස් වීම විසින් සමාජය විසින් එම පුද්ගලයන් අපහාසයට පත්කිරීම් , නොසලකා හැරීම් ,අත් හැර දැමීම් ඇතිකිරීම නිසා ඔවුන් තුල විශාල විදිහට අනන්‍යතා අර්බුධ ඇති කරන්න පුළුවන්.

    බෆලෝ බිල් තමන්ගේ ලිංගික දිශානතිය වෙනස් වීම තේරුම් ගනිමින් සිටින්නේ ගැහැණුන්ව මරා දැමීම සහ ඔවුන්ගේ සම ලබා ගැනීම තුලින්. තමන්ගේ ලිංගික පරිවර්තනය ඔහු බාහිර සමාජයට ප්‍රක්ෂේපණය කරන්නේ සළබයා මඟින්. සළබයා කියන්න්නේ පරිවර්තනය වෙන සතෙක්. බෆලෝ බිල් තමන්ගේ ගොදුරු ඇතුලට සළබයෙක් දාන්නේ මේ නිසා . ඔහු බාහිර සමාජයට දෙන්න හදන පණිවිඩය තමයි තමන්ගේ ලිංගික පරිවර්තනය සහ නිදහස .

    ෆෙඩ්‍රික් නීට්ෂේ ඔහුගේ Beyond Good and Evil කෘතියෙදි මෙහෙම කියනවා.

    ” ඔබ ආගාධය දෙස දිගු වේලාවක් බැලුවහොත් ආගාධය ඔබ දෙස බැලිය හැක”

    නපුර සහ අඳුර සමඟ ගනුදෙනු කිරීමෙදි අප පරිස්සම් සහගත විය යුතුය. ක්ලැරිස්ට සිද්ද වෙනවා හැනිබල් සහ බෆලෝ බිල් කියන නපුරු ආත්ම දෙකත් සමඟ ගනුදෙනු කරන්න . ක්ලැරිස් මෙතනදි නියෝජනය කරන්නේ පීඩිත ගැහැනුකම. මේ චිත්‍රපටය පුරාම අපිට දකින්න පුළුවන් පිරිමි මධ්‍යයේ සහ ක්ලැරිස්ව වටේ වෘත්තාකාරව ඉන්න හැටි. ඩොක්ටර් හැනිබල් ඉන්නේ ඔහුගේ සිරකුටියේ මධ්‍යයේ. ක්ලැරිස් මළ සිරුර පරීක්ෂා කරන්න යද්දි ඇය වටේ ඉන්නේ පොලිස් නිලදාරියෝ. බොහෝමයක් රූපරාමු යොදාගන්නේ ක්ලැරිස්ගේ පීඩිතභාවය සහ හුදකලාව පෙන්නන්න.නමුත් අවසානයේ මේ බිහිසුණු අපරාධකරුවා හොයාගන අර පිරිමි චරිත පරාජයට පත් කරලා දානවා.

    ක්ලැරිස් මේ චිත්‍රපටයෙදි වින්දිතයගේ අසරණභාවය නියෝජනය කරනවා සහ ඒ පීඩිත භාවයට එරෙහිව සටන් කරනවා. ක්ලැරිස්ගේ ළමා කාලය හුදකලාවෙන් සහ අසරණභාවයෙන් පිරුණු එකක්. කුඩා කාලයෙම පියා මිය යෑමත් එක්ක ක්ලැරිස් අනාථ භාවයට පත් වෙනවා. ඇයට රැකවරණය ලබන්න සිද්ද වෙන්නේ පියාගේ ඥාතියෙක්ගේ නිවසක. ඔවුන්ට විශාල ගොවිපළක් තියනවා . දවසක් වේදනාත්මක කෑ ගැසීමක් ඇහිලා අවදිවෙන ක්ලැරිස් දකිනවා බැටළුවන්ව මරා දැමීමට රැගෙන යන හැටි. මේ සිද්දියෙන් කම්පනයට පත්වෙන කුඩා ක්ලැරිස් එතනින් එක බැටළුවෙකු බේරගන ගොවිපළෙන් ඈතට යනවා.

    මේ සිදුවීමෙන් ඉපදිච්ච කම්පනය ක්ලැරිස්ගෙන් මේ චිත්‍රපටය පුරාම දකින්න පුළුවන්. වින්දිතයගේ අසරණභාවය සහ ඊට එරහිව සටන් කිරීමට ඇති නොහැකියාව කියන මේ අදහස ඉතාම ප්‍රබලව ගොඩනඟනවා මේ චිත්‍රපටය ඇතුලේ .

    පීඩිතභාවයට සහ නපුරට එරෙහිව සටන් කරන්න විශාල වීරයෙක් වෙන්න ඕනී නෑ. ක්ලැරිස් තමන්ගේ ඇතුලාන්තයේ වේදනාව, භය සමඟ සටන් කරමින් නපුරට එරෙහිව සටන් කරනවා. ජයග්‍රහණය කරනවා. අද දවසේ පවා පන්සලේ පල්ලියේ නපුරට එරෙහිව බැටළු පැටියන්ගේ නිහඬතාවයෙන් සිටියහොත් සිදුවන්නේ ඔවුන්ගේ ගඳ ගසන ශුක්‍රාණු සිරුරු පුරා තවරා ගැනීමටයි. සළබයාගේ සිර කූඩු බිඳ දමා නිදහස ලබාගත හැක්කේ ක්ලැරිස් මෙන් සටන් වැදීමෙන් පමණයි .

    උපුටා ගැනීම Anu Bandara ෆේස් බුක් පිටුවෙන්

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here