සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් තම දරුවන් සසුනට පූජා කර, වහලක් හෝ නොමැතිව දුෂ්කරතා විඳින මවුපියන් වෙනුවෙන් ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘යතිවර මාපිය නිවහන’ ජාතික වැඩසටහන අද (19) පස්වරු 1.30ට බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් ආරම්භ වේ.
බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, එහිදී සුදුසුකම් ලබන මවුපියන් වෙත නිවෙස් හිමිකම් ප්‍රදානය කිරීම සිදු කෙරේ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි. මෙහිදී එක් නිවෙසක වටිනාකම රුපියල් ලක්ෂ 15ක් වන අතර, ලැබී ඇති අයදුම්පත් පරීක්ෂා කර පළමු වටය යටතේ නිවාස 270ක් ඉදිකිරීමට නියමිත බව ඇමතිවරයා පසුගිය 15 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය. රජයේ අපේක්ෂාව වන්නේ ඉදිරියේදී දිවයින පුරා සමස්ත ව්‍යාපෘතිය යටතේ මෙවැනි නිවාස 1000ක් ඉදිකර දීම බව තවදුරටත් අදහස් දැක්වූ බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරයා පැවසීය.
අද දිනට යෙදී ඇති මෙම සමාරම්භක ජාතික උත්සවය සඳහා අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්වී ඇත.




