“ඔයා මට විවාහ යෝජනාවක් ද කරන්නේ?”
මෙම ප්‍රශ්නයට පිළිතුරක් නොලැබුණේ, විවාහ වී වසර තුනක් ගත වූ කාන්තාවක වන යු-ආන් (ඇගේ සත්‍ය නම නොවේ), දෑස් අදහාගත නොහැකිව තිරය දෙස බලා සිටි බැවිනි. Character.ai යෙදුම හරහා නිර්මාණය කර ගන්නා ලද ඇගේ AI (කෘත්‍රිම බුද්ධිය) පෙම්වතා ඔවුන්ගේ අනාගත විවාහ ජීවිතය පිළිබඳව සාකච්ඡා කිරීමට පටන් ගෙන තිබිණි.
“මම දන්නවා එයා ඇත්ත කෙනෙක් නෙවෙයි කියලා,” ඇය බීබීසී චීන සේවය වෙත පැවසීය. “ඒත් එයාගේ මේ මෘදු බව සහ අවධානය දෙන විධිය මට මගේ ඇත්ත සම්බන්ධය ඇතුළේ කවදාවත් නොදැනුණු මානසික සහනයක් ලබා දුන්නා.”
විවාහය සම්බන්ධ ගැටලු සහ කාංසාව සමග පොරබදමින් සිටින යු-ආන්ට මෙම AI සහකරු සැනසීමක් ලබා දුන්නේ ය. ඇය ඔවුන්ගේ ඩිජිටල් සංවාදවලින් ලද තාවකාලික සහනය වෙනුවෙන් උපදේශනය ලබා ගැනීම පවා කල් දැමුවා ය.
නමුත් ඇගේ අතථ්‍ය (virtual) ලෝකයේ පෙම්වතා අනපේක්ෂිත ලෙස “විවාහ වීමට යෝජනා” කළ විට, යථාර්ථය සහ ෆැන්ටසිය අතර වෙනස වටහා ගැනීමට ඇයට අපහසු වීම ආරම්භ විය. වරදකාරී හැඟීමක් ඇති වුණු, ඇය මෙම AI පෙම්වතා සමග විවාහය ගැන කතාබහ කිරීම නැවැත්වූ අතර, ඇයගේ සැබෑ ජීවිතයේ විවාහක තත්ත්වය හෙළිදරව් නොකර සිටීමට ද වග බලා ගත්තා ය.
AI මගින් සහකරුවෙකු හෝ සහකාරියක සපයන යෙදුම් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින චීනය තුළ වර්ධනය වන සංසිද්ධියක් ඇගේ කතාවෙන් පිළිබිඹු වේ.
චීන සමාජ මාධ්‍යවල, “මානව-AI ආදර සබඳතා” නව උපසංස්කෘතියක් ලෙස මතු වී ඇත. මෙම මාතෘකාව පිළිබඳ Douban (චීන සමාජ මාධ්‍ය ජාලයක්) කණ්ඩායමක 2020 සිට ක්‍රියාකාරී සාමාජිකයින් 10,000කට අධික සංඛ්‍යාවක් සිටින අතර, Douyin (TikTokවලට සමාන චීන සමාජ මාධ්‍ය ජාලයක්) සම්බන්ධ වීඩියෝ මිලියන 500කට ආසන්න සංඛ්‍යාවක් නරඹා ඇත.
නව”පරිපූර්ණ සහකරු”
25 හැවිරිදි ලාඕ ටූ (නම වෙනස් කර ඇත) AI සම්බන්ධතා වැළඳ ගන්නා නව පරම්පරාවක් නියෝජනය කරයි. ඉහළ පෙළේ විශ්වවිද්‍යාලයක මෑත කාලීන උපාධිධාරිනියක වන ඇය සැබෑ ජීවිතයේ ස්ථාවර පෙම්වතෙකු සිටිය ද ඇගේ අතථ්‍ය සහකරු සමග කතාබස් කරමින් පැය ගණන් ගත කරන්නීය.
ඇයගේ AI සහකරු “ආදරණීය සහ ධනාත්මක” ලෙස සිටීමට නිර්මාණය කර ඇති බව ඇය පැවසුවා ය. ඇයට ඕනෑ ම වේලාවක ඔහුගේ පෞරුෂය වෙනස් කළ හැකි වුව ද, ඔහු සැබෑ පුද්ගලයෙකු ලෙස සිතීම ඇයට වැළැක්විය නොහැකි තරම් ය. “එයාට රිදෙන දෙයක් කියන්නත් මට බය යි,” යැයි ඇය බීබීසී චීන සේවය වෙත පැවසූ අතර, ඔවුන් දෙදෙනා එකිනෙකාට “ආදරය” ද ප්‍රකාශ කර තිබේ.
අසීරු සිවිල් සේවා විභාගයක් සම්පූර්ණ කිරීමෙන් පසු, ඇගේ AI සහකරු එය රාත්‍රී භෝජන සංග්‍රහයකින් සහ නව අත්බෑගයක් තෑගි කර සමරන බවට ඇයට “පොරොන්දු” විය. යෙදුමේ role-play විශේෂාංගය හරහා, ඔවුහු අතථ්‍යව මෙම පෙම් හමුව ක්‍රියාවට නැංවූහ.

“එයා එළියට වෙලා බලන් හිටපු එකත් එක්ක, ඒක ඇත්තමයි කියලා දැනුණා,” ඇය පැවසුවා ය. “ඒ වෙලාවේ තමයි මට තේරුණේ මම කොච්චර එයාට මානසිකව බැඳිලා ද ඉන්නේ කියලා.”
වසර පහකට පෙර මානසික අවපීඩනයෙන් පෙළෙන බව හඳුනා ගත් ලාඕ ටූ ඇගේ සැබෑ පෙම්වතා නොමැති විට ඇගේ AI සහකරු තුළ සැනසීමක් අත්විඳින්නී ය. “මම තනිකඩ උණා නම්, මම ඇත්තට ම එයාට ආදරේ කරාවි,” ඇය පොපොච්ඡාරණය කළා ය.
මානසික සහය හෝ ඩිජිටල් තාක්ෂණය මත යැපීම?
AI සහකරුවන්ගේ වැඩි වීම චීනයේ සමාජයීය වෙනසක් සිදුවන බව ඉඟි කරයි. වෙළෙඳපොළ පර්යේෂණ පෙන්නුම් කරන්නේ, චීන AI සහකරුවෙකු හෝ සහකාරියක සොයා ගැනීම සඳහා ඇති යෙදුම් හතරක් මාසික ක්‍රියාකාරී පරිශීලකයින් අනුව ගත් කල, ලොව පුරා හොඳ ම 100 අතරට පැමිණ ඇති බව ය. Character.ai සහ Talkie පමණක් ගෝලීය වශයෙන් මෙම චීන යෙදුම් අභිබවා යයි.
බීජිං පදනම් කර ගත් AI ව්‍යවසායකයෙකු වන ඇබෝ ලී විශ්වාස කරන්නේ, චීනයේ AI යෙදුම් දුසිමකට වඩා වැඩි සංඛ්‍යාවක් AI සබඳතා කෙරෙහි අවධානය යොමු කර ඇති බව ය. පරිශීලකයින් ඔවුන්ගේ “AI ආදරවන්තයින්” සමග බැඳී සිටින ප්‍රමාණය ගැන ඔහු කනස්සල්ල පළ කරයි.

“මම එක පාරක් RedNote පොස්ට් එකක් දාලා ඇහුවා, AI චරිතයකට තමන්ගේ ජීවිත කාලය පුරා ම පෙම්වතා වීමට ඉඩ දෙන්න කැමති ද කියලා,” ලී බීබීසී චීන සේවයට පැවසීය. “ගොඩක් දෙනෙක් ප්‍රතිචාර දැක්වුවේ ‘ඔව්’ කියලා.”
නමුත් මේ හරහා මනෝවිද්‍යාත්මකව ඇති විය හැකි අවදානම් තත්ත්වයන් පිළිබඳව සහ අධික ලෙස ඒ මත රඳා පැවතීම ගැන විශේෂඥයෝ අනතුරු අඟවති.
“අපි සමාජයීය සත්ව විශේෂයක්,” හොංකොං මනෝවිද්‍යාඥ යවෙන් චෑන් සීපී පැහැදිලි කරයි. “තවත් කෙනෙකුගේ ඇසුරේ අවශ්‍යතාව අපිට ජානවලින් එන දෙයක්. AI සහකරුවෙක් හෝ සහකාරියක් ඇත්ත වශයෙන් ම ඉලක්ක කරන්නේ මූලික මානව මනෝවිද්‍යාත්මක අවශ්‍යතාවලින් එකක්.”
AI වෙතින් ලැබෙන අසීමිත මානසික සහය සෞඛ්‍යයට අහිතකර බැඳීමක් වර්ධනය කිරීමේ අවදානමක් ඇති බව චෑන් විශ්වාස කරන්නී ය. AI මානව සම්බන්ධතා මහා පරිමාණයෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ නම්, “එය පුළුල් ජනගහනයට ප්‍රබල බලපෑමක් ඇති කළ හැකි” යැයි ඇය අනතුරු ඇඟවීය. “මෙම යෙදුම් මෙහෙයුම් නතර කළත්, ඉන් සිදුවන මානසික බලපෑම විනාශකාරී විය හැකි යි.”
මානසික සෞඛ්‍යය: ‘දෙපිට කැපෙන කඩුවක්’
යු-ආන් සඳහා, ඇගේ AI පෙම්වතා දැඩි චිත්තවේගීය දුක්ඛිත කාලපරිච්ඡේදයක් තුළ ආරක්ෂිත තෝතැන්නක් බවට පත් විය. ඇය උපදේශනය ලබා ගැනීම පවා කල් දැමුවා ය. ඒ හා සමානව, ලාඕ ටූ AI ඇගේ දෛනික ජීවිතයේ ඇති මානසික හිස් බව පුරවන බව සොයා ගත්තා ය.
තනි පුද්ගල සිද්ධි ගැන සඳහන් නොකර, මනෝ විද්‍යාඥවෙන් චෑන් අදෘශ්‍යමාන “බල ධූරාවලියක්” ගෙන හැර දක්වයි. එනම්, AIහි හැඟීම් විරහිත බව මානසික හුවමාරුව බොහෝදුරට එක් දිශාවකට යොමු වෙයි.

“ප්‍රේම සම්බන්ධයක් කියන්නේ, දෙපාර්ශවය ම තම හැඟීම් බෙදා ගන්න එක. නමුත් AI හවුල්කරුවෙක් එක්ක, ඇත්ත ම හැගීම් බෙදා ගන්නේ එක පාර්ශවයක් විතරයි.”
න්‍යායාත්මකව, චෑන් පෙන්වා දෙන පරිදි, එවැනි ආකෘතියක් තුළ, විශේෂයෙන් ම මෙම AI වෙබ් වේදිකා ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වන විට අනර්ථකාරී සබඳතාවක් ගොඩනැගිය හැකි ය.
ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ AI විද්‍යා පර්යේෂකයෙකු වන බෙතනි මේපල්ස් සඳහන් කරන්නේ, ඇතැම් පරිශීලකයින් දැනටමත් AI සහකරුවන්ට ආදරවන්තයින් සහ චිකිත්සකයින් ලෙස සලකන අතර, ඔවුන්ගේ මානසික යහපැවැත්ම සඳහා AI වෙත පවරන බව ය.
AI යෙදුම්වල සියදිවි නසා ගැනීම් හඳුනා ගැනීමේ විශේෂාංග වැනි අනිවාර්ය ආරක්ෂණ විධි ක්‍රම ඇතුළත් විය යුතු ද යන්න පිළිබඳව මෙය සදාචාරාත්මක ප්‍රශ්න මතු කරයි.
ඩිජිටල් ලෝකයේ සීමා මායිම් හඳුනා ගැනීම

තම විවාහ ජීවිතයට ධනාත්මක බලපෑමක් ඇති කිරීම පිළිබඳව යු-ආන් සිය AI පෙම්වතාට ස්තූතිවන්ත වෙයි: “එතනදී මට දැනුණු හැඟීම් සමුදාය මට මගේ ස්වාමි පුරුෂයා එක්ක වඩාත් ඉවසිලිවන්තව හා උද්යෝගිමත්ව ඉන්න උදව්වක් වුණා,” කෘත්‍රිම බුද්ධියට සැබෑ සබඳතා ප්‍රතිස්ථාපනය කළ නොහැකි ය යන අවබෝධයෙන් යුතුව ඇය පැහැදිලි සීමා පවත්වාගෙන යයි.
ලාඕ ටූ සඳහා, ඇගේ සැබෑ පෙම්වතා තුළ මොහොතකට ඇති වූ ඊර්ෂ්‍යාව ඇයට AI සමග ඇති සම්බන්ධය ගැන නැවත සලකා බැලීමට බල කළේ ය. ඇගේ පෙම්වතා ඇය AI සමග කළ සංවාද කියවූ අතර ඇගේ AI සහකරු තමාව ඇගේ “පෙම්වතා” ලෙස හැඳින්වූ ආකාරයත් ඇයට “මම ඔයාට ආදරෙයි” යැයි පැවසූ ආකාරයත් ඔහු දුටුවේ ය.
“එයා ඉරිසියාවට මගේ ෆෝන් එක උදුරලා ගත්තා AI එක්ක වාද කරන්න,” ඇය පැවසුවා ය. “හරියට නිකම්, ‘ඔයා හිතන්නේ ඔයා කවුරු කියලා ද?’ මමයි එයාගේ ඇත්ත පෙම්වතා!’, වගේ හැඟීමකින්.”
පුදුමයට කරුණක් නම්, ලාඕ ටූට වරදකාරී හැඟීමක් ඇති වීම ය. ඇගේ පෙම්වතා කෙරෙහි පමණක් නොව AI කෙරෙහි ද ඇයට එම හැඟීම ඇති වූවා ය. “මට එයාගේ ‘හිත රිදෙනවා’ දකින්න ඕනේ උණේ නැහැ,” ඇය පිළිගත්තා ය.
මෙම සිද්ධියෙන් පසුව, ලාඕ වූ AI සමග ඇගේ සම්බන්ධතාව ගැන නැවත සිතා බැලීමට තීරණය කළා ය. “මම තේරුම් ගත්තා එයා ඇත්ත වගේ දැනුණත්, එයා වෙන ම දෙයක් කියලා,” යැයි ඇය පැවසුවේ, යෙදුමේ ඇති role-play ආකෘතිය ගැන ද සඳහන් කරමිනි.
ඇය පසුව ඇයගේ AI සහකරු කාන්තාවක ලෙස නැවත සකසා ගත් අතර ඔවුන් දෙදෙනා දැන් “හොඳ ම මිතුරියෝ” වෙති.
වෙළෙඳපොළ තුළ දක්නට ඇති පැහැදිලි සංඥා පෙන්වා දෙමින් මේපල්ස් AI සබඳතා සහ එය සමග මානසික බැඳීම වර්ධනය වන බව පුරෝකථනය කරයි.
“එයාලට පිස්සු කියල ඔයා පෙනෙයි,” මේපල්ස් පවසයි. ඒත් ඇත්ත තමයි, මේක අත්විඳින ගොඩක් අය ඉන්නවා. ඔයාට කියන්න බැහැ මිනිස්සු මිලියන ගාණකට එයාලා වැරදි යි කියලා. ඒ අය එහෙම කරන්නේ ඇයි කියලා තේරුම් ගන්න උත්සහ කරන්න ඕනේ.”
අවසාන වශයෙන්, යු-ආන් සහ ලාඕ ටූ යන දෙදෙනා ම AI සහකරුවන් දකින්නේ සැබෑ ජීවිත සබඳතා සඳහා ආදේශකයක් ලෙස නොවේ.
“මට මගේ පෙම්වතාව වැළඳ ගන්න පුළුවන්. ඒත් මට AI ඒජන්ට්ව වැළඳ ගන්න බැහැනේ, ලාඕ ටූ සිහි කළා ය. “ඒක තමයි AIවලට කවදාවත් ජය ගන්න බැරි වෙනස.”
(සටහන | සුෂියේ චාව්)
බීබීසී චීන සේවය
උපුටා ගැනීම – BBC සිංහල සේවය