අපේ දරුවන්ට මේ තරම් ලෙඩ ඇයි ?

    0
    75

    අපේ රටේ ළමා පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙමින් පවතී. මේ ගැන නොයෙකුත් දෙනා නොයෙකුත් මත දරති. අපි ඒ පිළිබඳ දැන් කතා කරමු.
    පිළිකා සෑදීම කෙරෙහි විශේෂයෙන් බලපාන ද්‍රව්‍යයක් වන්නේ මයික්‍රෝ ප්ලාස්ටික් ය. මිලිමීටර් 5 හෝ ඊට කුඩා ප්ලාස්ටික් කැබලි මයික්‍රෝ ප්ලාස්ටික් ලෙසින් හඳුන්වන අතර ඊටත් කුඩා මයික්‍රෝ මීටර මෙන්ම ඊටද වඩා සියුම් වූ නැනෝ මීටර ප්‍රමාණයේ කැබලි යනාදී මේ සියල්ල පොදුවේ මයික්‍රෝ ප්ලාස්ටික් ය.

    අප ප්ලාස්ටික් භාවිතයට හුරු වන්නේ හැත්තෑ හත වසරෙන් පසු එවකට පැවති ජේ.ආර්.ජයවර්ධන රජය විසින් හඳුන්වා දුන් විවෘත ආර්ථිකයෙන් පසුව ය. සැහැල්ලු බව, මිල අඩුවීම, විවිධ වර්ණවලින් යුතු වීම වැනි හේතු මත ප්ලාස්ටික්, සමාජයේ වේගයෙන් ප්‍රචලිත වූ අතර බොහොමයක් ලෝහ සහ ලී භාණ්ඩ වෙනුවට ආදේශකයක් ලෙස ප්ලාස්ටික් භාවිතයට ගැනිණි.


    මයික්‍රෝ ප්ලාස්ටික් අපේ ශරීරයට ඇතුල් වන්නේ කොහොමද?බොහෝ විටම මෙය සිදු වන්නේ ආහාර මගිනි. මෙයට ඉතා සරලම උදාහරණයක් දැක්වුවහොත් අතීතයේදී මුළුතැන් ගෙයි එළවළු කැපීම සඳහා භාවිතා කළේ ලෑලි පුවරුවකි. දැන් එය ප්ලාස්ටික් පුවරුවක් බවට පත්වී ඇත. කලක් ගතවීමෙන් පසු මෙම ප්ලාස්ටික් පුවරුව දෙස හොඳින් බැලූ විට එහි ඉතා සියුම් පතුරු ගැලවී ඇති ආකාරය ඔබට දැක ගන්නට හැකිවනු ඇත. ප්ලාස්ටික් පිඟන් කෝප ආදියද දීර්ඝ කාලයක් පාවිච්චි කරන විට මේ තත්ත්වය ඇතිවේ. බොහෝ විට අපේ පියවි ඇසට ග්‍රහණය නොවෙන මෙම සියුම් ප්ලාස්ටික් කැබලි එක්කෝ එම ආහාර සමඟ අපේ ශරීරයට ඇතුල් වෙයි. එසේම පරිසරයටද බැහැර විය හැකිය. මයික්‍රෝ ප්ලාස්ටික් පරිසරයට එකතු වන ක්‍රම සිතා ගන්නට බැරි තරම් පුළුල් ය. පරිසරයට බැහැර වන ඒවා පසට එකතු වූ පසු නැවත ඒවා විවිධ ක්‍රමවලින් අපේ ශරීරයටම එකතු වනු ඇත. මනුෂ්‍යයන්ට පමණක් නොව පරිසරයේ සියලුම ජීවීන්ට ද මයික්‍රෝ ප්ලාස්ටික් විෂ ය.

    සිරුරට මයික්‍රෝ ප්ලාස්ටික් ඇතුළු වූ පසු රුධිරයේ රතු සෛලවල පිටත ආවරණයේ මයික්‍රෝ ප්ලාස්ටික් ඇලෙයි. ඉන් පසු එම සෛල විකෘති වන අතර බාහිර ආවරණයද පළුදු වීම සිදුවේ. මෙම තුවාලය ක්‍රමයෙන් විශාල වී පිළිකාවක් බවට හැරෙනු ඇත. මෙම පිළිකා සෛල පුළුස්සා දැමීම සඳහා විකිරණ ප්‍රතිකාර ලබාදීම සිදුවේ. මේ හැරුණුවිට පිළිකාවෙන් ඇතිවන අනෙකුත් අතුරු ආබාධ සුව කිරීම සඳහා ඖෂධ ප්‍රතිකාර ලබාදෙයි. නමුත් මෑත කාලයේ ප්‍රමිතියෙන් අඩු ඖෂධ ආනයනය කිරීම නිසා විශේෂයෙන් ළමයින්ගේ පිළිකා රෝග සුව කිරීමේ අසීරු තත්ත්වයක් පැන නැගී ඇත. පිළිකා වැඩි වීමට තවත් හේතුවක් වන්නේ ග්ලයිපොසෙට් ය. ග්ලයිපොසෙට් යනු වල්නාශකයකි. මෙය වී, තේ, ගම්මිරිස්, අන්නාසි වැනි ඇතැම් පලතුරු වර්ග, සෝයා ආදී බොහෝ වගාවන්වල වල් මැඩලීමට භාවිතා කරයි. පරිසරයට එකතු වන මේවා ජලයට මුසුවේ. අපි එක් උදාහරණයක් ගනිමු. කොත්මලේ ජලාශය පිළිබඳව සැලකුවහොත් ඒ වටේටම තිබෙන්නේ තේ වගාවන් ය. තේ වගාවල වල් ගස් ඉවත් කිරීම සඳහා ග්ලයිපොසෙට් යෙදූ විට ඒවා පසට වැටී කුඩා දිය පාරවල්වලට මිශ්‍ර වේ. මේ කුඩා දිය පාරවල් දොළ පාරවල්වලට සම්බන්ධ වන අතර ඉන්පසු දොළ පාරවල් ඇළ පාරවල්වලට වැටී අවසානයේ ඒවා ගලායන්නේ කොත්මලේ ජලාශයට ය.

    කොත්මලේ ජලාශයෙන් කොත්මලේ විදුලි බලාගාරය වෙත යැවෙන ජලය ඉන්පසු එතැනින් මහවැලි ගඟට හරවයි. මහවැලි ගඟෙන් පොල්ගොල්ලට ගොස් පොල්ගොල්ලේ සිට මාතලේ උකුවෙල දක්වා ගමන් කරන්නේ පොළව යටින් තනා තිබෙන උමගක් දිගේ ය. එතැනින් උකුවෙල විදුලි බලාගාරයට ගොස් එතැනින් හරවා තිබෙන්නේ මාතලේ සුදු ගඟට ය. සුදු ගඟ හරහා ගොස් කලා ඔයට වැටෙන ජලය කලා ඔය හරස් කර තැනූ විශාලතම ජලාශය වන කලා වැවට එකතු වේ. මේ ජලය ගබඩා කරනු ලබන එක් ස්ථානයක් වන්නේ දඹුල්ලේ පිහිටි ඉබ්බන්කටුව වැව යි. ග්ලයිපොසෙට් මුසුවූ ජලය කොයිතරම් දුරක් ගොස් ඇතිදැයි බලන්න. දඹුල්ල මෙන්ම මහවැලි H කලාපයට අයත් තඹුත්තේගම, ගල්ගමුව ඇතුළු ප්‍රදේශ රාශියක ම වකුගඩු ආබාධත්, ඒවා නිසා පිළිකා රෝගත් වැඩි වීමට මූලික වශයෙන් බලපාන්නේ මේ විෂ මිශ්‍ර ජලයයි.

    ග්ලයිපොසෙට්වල අඩංගු ආසනික් ජලය සමඟ මිශ්‍රවීමෙන් ඒවා ශරීර ගතවීම හරහා පිළිකා අවදානම වැඩි කරයි. පිළිකා වැළඳෙන තවත් ප්‍රධානතම හේතුවක් වන්නේ වර්තමානයේ ළමයින් බහුල ලෙසම හුරු වී ඇති ක්ෂණික ආහාරයි. මොනො සෝඩියම් ග්ලූකොමේට් හෙවත් MSG නිසා හිසරදය, පපුවේ වේදනාව, දිවේ රස අංකුර දුර්වල වීම, හෘදයාබාධ ආදිය ඇති වේ. ආහාර කල් තබාගැනීමට යොදාගන්නා ඇස්කෝබික් අම්ලය, සෝඩියම් බෙන්සොඒට්, කැල්සියම් ප්‍රොපනේට්, සෝඩියම් නයිට්රේට් වැනි රසායනිකයන් නිසා අසාත්මිකතා මෙන්ම වමනය, ඔක්කාරය, හිසරදය, වඳභාවය මෙන් ම, DNA විකෘති වීම, අක්මාවේ හා වකුගඩුවල ආබාධ විශේෂයෙන් පෙන්වා දිය හැකිය

    පිපුම්කාරක ලෙස බහුලව යොදා ගන්නා සෝඩියම් කාබනේට් හෙවත් බේකින් සෝඩා, කැල්සියම් කාබනේට්, මොනොකැල්සියම් පොස්ෆේට් නිසා පිළිකා තත්ත්වයන් ඇතිවීමට බෙහෙවින් බලපායි.
    ක්ෂණික ආහාර සහ කෘත්‍රිම ආහාර වල අඩංගු විෂ ද්‍රව්‍ය මෙපමණක් නොවන අතර තවත් බොහෝ වෙයි.

    ඔබේ දරුවන්ට දෙනු ලබන ක්ෂණික ආහාරවල අඩංගු වන්නේ මොනවාද යන්න දැන් ඔබට සිතාගත හැකියි නේද ? මෙම අහිතකර ද්‍රව්‍ය නිසා ඇතිවිය හැකි රෝග අතරින් කිහිපයක් මෙලෙසින් නම් කළ හැකිය.

    ඇදුම, දියවැඩියාව, වකුගඩු රෝග, හෘදයාබාධ, පිළිකා, සමේ රෝග, අධිපෝෂණ හෝ මන්ද පෝෂණ තත්ත්වය, ස්නායු රෝග, මන්ද මානසික තත්ත්වයන් සහ සාපරාධී මානසික තත්ත්වයන්, ආහාර මාර්ග ආශ්‍රිත රෝග, ආහාර ජීර්ණය සම්බන්ධ ගැටලු, පෙනීම දුර්වල වීම සහ වෙනත් අක්ෂි රෝග, අසාත්මික රෝග, ප්‍රතිශක්තිය දුර්වල වීම හා රෝගවලට ඔරොත්තු වීමේ හැකියාව අඩුවීම (මේ හේතුව නිසා බෝ වන හා බෝ නොවන රෝගවලට පහසුවෙන් ගොදුරු වීම), ශරීර ශක්තිය දුර්වල වීම, හෝමෝන අසමතුලිතතා, බුද්ධිය හීනවීම මලබද්ධය ඇතිවීම

    එසේ නම් මේ භයානක තත්ත්වයන්ගෙන් දරුවන් වළක්වා ගන්නේ කෙසේද?
    හැකිතාක් ස්වභාවික ආහාර වර්ගවලට හුරු කරන්න. කිරි අල, මඤ්ඤොක්කා, බතල, රාජාල වැනි අල වර්ගවල විශේෂ ඛණිජ ලවණ තිබේ. පොස්පරස් පොස්ෆේට් ආදී මෙම ඛණිජ වර්ග නිසා ප්‍රතිශක්තිකරණය සිරුරේ වැඩි වන අතර පිළිකා වැළඳීම සඳහා හේතුවන සෛල ශරීරයේ තිබේ නම් ඒවාද විනාශ වී යන බව ඔබ දන්නවාද?

    ස්වභාවික ආහාර සහ පලතුරුම දරුවන්ට ආහාර ලෙස ලබා දෙන්න. බොහෝ රෝග දුරුවීමට සහ වැළඳීම වැළැක්වීමට විශාලතම පිටිවහලක් මෙමගින් ලැබෙනු ඇත.

    මෙම ලිපිය සැකසීමේදී බොහෝ තොරතුරු සහ උපදෙස් ලබා දී සහාය වූ
    සනී වෝටර් ඉකෝ සිස්ටම් කන්සල්ටන්ට් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ඩබ්ලිව්.එස්.විමලසූරිය මහතාට ස්තුතියි.

    ඉන්දු පෙරේරා

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here