ආණ්ඩුව නීති විරෝධී පොරොන්දු පවා දෙමින් ජනතාව රවටනවා – නිරෝෂා අතුකෝරාළ

0
46

මැතිවරණ සමයේ බඩු මල්ලක් ලබා දීම නීති විරෝධී බව දැන දැන ම ආණ්ඩුව බොරු කියා ජනතාව රැවටුවා යැයි සමගි ජනබලවේගයේ බියගම ආසනයේ සංවිධායිකා, හිටපු පළාත් සභා මන්ත්‍රීනි නිරෝෂා අතුකෝරාළ පැවසුවා ය.


ඇය එම අදහස් පළ කළේ පසු ගිය 11වන දින සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුව අමතමින් වැඩි දුරටත් අදහස් දැක්වූ නිරෝෂා අතුකෝරාළ…

අවුරුදු සමයෙත් බඩු මිල ඉහළයි

‘‘වර්තමාන ආණ්ඩුව බලයට එන්නේ ජනතාවට මුළාවට පත්කරලා. පැය විසි හතරෙන් දේවල් වෙනස් කරනවා කිව්වා. රට වෙනස් කරන්න බලය පමණක් ලබාදෙන්න කිව්වා. නමුත් එහෙම කියපු ආණ්ඩුව තවම කිසිදු දෙයක් සිදුකරලා නෑ. ඒ වගේ ම බලය ලබාගෙනත් ආණ්ඩුව බොරු කියනවා. ආණ්ඩුවේ එක ඇමැතිවරයෙක් එක කතාවක් කියනවා, තවත් ඇමැතිවරයෙක් තවත් කතාවක් කියනවා.  

නලින් හේවගේ ඇමැතිවරයා කියනවා ඔවුන් රට භාර ගත්තේ මිලියන 20 ක සංචිතයක් තිබුණෙ කියලා. නමුත් නලින්ද ජයතිස්ස ඇමැතිවරයා කියනවා රට භාරගන්න විට බිලියන 5.99 ක සංචිත තිබුණා කියලා. ඒ වගේම ඔහු කියනවා 2025 මාර්තු මාසය වෙද්දි බිලියන 6 පැනලා සංචිත ප්‍රමාණයක් තිබෙනවා කියලා.  ආණ්ඩුවේ ඇමැතිවරු අද විහිළුවක් බවට පත්වෙලා තිබෙනවා.

 ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි කරනවා කියලා කිව්වා. නමුත් වැඩි කරපු වැටුප රාජ්‍ය සේවකයින්ගෙන් පිරිසකට ලැබිලා නෑ.

ඒ වගේම අවුරුද්දට රුපියල් 2500 ක බඩු මල්ලක් දෙනවා කියලා ආණ්ඩුව ප්‍රකාශ කළා.  නමුත් ආණ්ඩුව දන්නවා මැතිවරණ සමයක් නිසා ඒ ආකාරයට බඩු මල්ලක් දෙන්න නොහැකියි කියලා. කෙසේ නමුත් බඩු මල්ල ලබා දීම මැතිවරණ කොමිසම තහනම් කළා.

සිංහල හා හින්දු  අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිසිවක මිල අඩු කරන්න ආණ්ඩුව කටයුතු කරලා නෑ. අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. කෙසේ හෝ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල යම් ප්‍රමාණයකින් හෝ අඩු කරන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. එලෙස ජනතවාට සහනයක් ලබාදෙන්නැයි අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

දූෂණ වංචා ෆයිල් කැබ් එක හොරු අරගෙන…?


පාස්කු ප්‍රහාරය සිදුවෙලා වසර 6 ක් ගත වි තිබෙනවා. ජාතික ජන බලවේග ආණ්ඩුව ප්‍රකාශ කළා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතිය හමුවට ගෙනැවිත් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වවලට සාධාරණය ඉටු කරනවා කියලා.  නමුත් අද වනතුරු ඒ වෙනුවෙන් කිසිවක් සිදුකරලා නෑ. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපතිවරයා අප්‍රේල් 21 විශේෂ ප්‍රකාශයක් කරනවා කියලා කියනවා. අප්‍රේල් 21 වනතුරු සිටිය යුතු නෑ ඒ ප්‍රකාශය කරන්න. රටට විහිළු සපයන්න එපා කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ජාතික ජනබලවේගය විපක්ෂයේ ඉන්න කාලයේ කිව්වා කැබ් එකක් පිරින්නෙ දුෂණ වංචා පිළිබඳව ෆයිල් තිබෙනවා කියලා. නමුත් අපිට දැන් ප්‍රශ්නයක් මතුවෙනවා මේ කැබ් එක හොරු උස්සලා ද ? නැතිනම් ඒ ෆයිල්වල නම තියන ඇමැතිවරයා හෝ මන්ත්‍රිවරයා උස්සලා ද කියලා.  මේ ෆයිල්වලට වෙච්ච දෙයක් නෑ. හොරකමට තිත තියලා රටේ ජනතාවගෙන් හොරකම් කරපු මුදල් නැවත ලබා ගන්නවා කියලා තමයි මාලිමාව මැතිවරණ වේදිකාවල කිව්වේ. නමුත් ඒ මුදල් නැවත රජයට ලබාගන්න වර්තමාන ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නෑ.

හොරු අල්ලන්න තමයි මාලිමා ආණ්ඩුවට ජනතාව බලය දුන්නේ. කෙසේ නමුත් තවමත් රටේ හොරකම සිදුවෙනවා. අදත් රාජ්‍ය සේවය තුළ හොරකම් සිදුවෙනවා. ඒවා තවම නතර වෙලා නෑ. රට ගොඩනගන්න නම් රාජ්‍ය දේපළ සොරකම් කළ පිරිස නීතිය හමුවට ගෙන ආ යුතුයි ඒ වගේම සොරකම නතර කිරීමට පියවර ගත යුතුයි. පසුගිය 76 වසර තුළ සිදුවුණ ඒ ක්‍රියාවලි යම තමයි අදටත් සිදුවෙන්නේ. ඒ ක්‍රියාවලියේ කිසිදු වෙනසක් නෑ. වර්තමාන ආණ්ඩුව බහුතර බලයක් ජනතාව ලබාදුන්නේ පෙර පැවැති ආණ්ඩු කරපු වැඩ ටික කරන්න නෙවෙයි.

පොලිසියට නියාමනයක්…

තවමත් සිටින්නේ වැඩබලන පොලිස්පතිවරයෙක්. තවමත් ස්ථිර පොලිස්පතිවරයෙක් නෑ. වැලිකඩ පොලිසිය තුළ තරුණයෙක් ඝාතනය වෙනවා. රටේ ජනතාව මාලිමාවට ඡන්දය දුන්නේ මේ කටයුතු වෙනස් කරන්න. නීතියට අනුව දඩුවම් කරන්න. අපි ඊට විරුද්ධ වෙන්නේ නෑ. නමුත් පොලිසිය ජනතාවගේ ජිවිත සමග සෙල්ලම් කරන ක්‍රමය වහාම නතර කළ යුතුයි. පොලිසිය නියාමනයක් කළ යුතුයි. පොලිසියේ විනය සැදිය යුතුයි.  

රටේ නීතිය සාමය ආරක්ෂා කරනවා කියලා තමයි ජනාධිපතිවරයා බලය ගත්තේ. නමුත් අද පොලිසිය තුළ සිදුවන දේවල් පිළිබඳව අපි කණගාටු වෙනවා. යම් කිසි ආණ්ඩුවකින් වරදක් සිදුවෙලා තිබෙනවානම් ඒවාට සම්බන්ධ පිරිස් වෙත දඬුවම් දෙන්න. අපි ඒවාට විරුද්ධ නෑ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ සිදුකළ ඝාතනවලින් ද රටේ යම් පිරිසකට අසාධාරණයක් සිදුවුණා. ඒවාටත් සාධාරණයක් ඉටු විය යුතුයි.  බිමල් රත්නායක ඇමැතිවරයා බටලන්ද සිද්ධියෙන් මියගිය පිරිසට සාධාරණය ඉල්ලනවා. ඒ දේවල් වගේ 88 89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇති කළ භිෂණය නිසා මිය ගිය පිරිසටත් සාධාරණයක් කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ නිසා සියලු දෙනාටම සාධාරණයක් සිදුවිය යුතුයි.’’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here